2012-02-17

 

සිහියෙන් වාසය කරමු

සිහියෙන් වාසය කරමු

විශේෂයෙන් මෙත් සිතින් වාසය කරන්ට පුරුදු වෙන්න. මෛත‍්‍රී වඩන එක අතහැරගන්ට එපා. බහුල වශයෙන් මෙත් සිතින් වාසය කරන්ට පුරුදුවෙන්න. ඒ වගේම අනිත්‍යය ආයතන භාවනා වඩන්නත් පුරුදුවෙන්න. අනිත් හැම වෙලාවෙම සම්පජඤ්ඤය හුරුකරන්න. ඔය කරුණු තුන බහුලව පුරුදු කරගන්න උත්සහ කරන්න.

වාඩිවෙලා භාවනා නොකරන හැම වෙලාවෙම සම්පජඤ්ඤය හොඳට හුරු කරගන්න. සම්පජඤ්ඤය හුරු කරගැනීමෙන්ම " අපිට භාවනා කරන්න අමාරුයි" කියන කාරණය නැතිවෙලා යනවා. සම්පජඤ්ඤය හුරු කරනවා කියන එකත් කළබලයට කරන්ට බෑ. ඒක ටික ටික හුරුකරගන්න. එතකොට අපි ආයාසයකින් තොරව සංසුන් අය බවට පත්වෙනවා .

එහෙම නැත්නම් බලහත් කාරයෙන් සංසුන් වෙන්ට ගියොත්, බලහත් කාරයෙන් නිහඩව ඉන්ට ගියොත් ඒක අපිට අමාරුයි. හරියට අර හුලං පිරුණු රබර් බෝලයක් වතුර අස්සෙ ඔබල තියෙනවා වගේ. ඒ බෝලය, අපේ අත අතහැරිය ගමන් උඩට එනවා වගේ තමයි බලහත් කාරයෙන් කට වහගෙන කතානොකර ඉන්න එක.

ඒක ටික දවසක් තියෙයි. ඊට පස්සෙ අමාරුයි. ඒ නිසා අපි ආයාසයකින් පාලනය නොවන අය බවට පත්වෙන්ට ඕනැ. හිතා මතා තමා තුළම පාළනය ඇතිකරගන්ට ඕන.

ඒ සදහා අපිට හොඳම උපකාරය ලැබෙන්නෙ සතිපට්ඨානය තුළ පමනයි. වෙන දෙයක් තුල එබදු දෙයක් නෑ. සතිපට්ඨානය තුළ පමණමයි අපිට සැබෑ පාලනයක් (සංවරයක්) ඇති කරගන්ට පුළුවන් වෙන්නෙ. ඒ නිසා අපි විසින් සතිපට්ඨානය තුල වාසයකරන්ට පුරුදුවෙන්ට ඕනැ. ඒකට පහසුයි සති සම්පජඤ්ඤය හුරු කර ගත්තොත්.

අපි ආරම්භයේ ඉදලම සති සම්පජඤඤය හුරුකරගන්ට ඕනැ. ඒක, අපි තද නින්දෙ නැති අනිත් හැම වෙලාවෙම කරගන්ට පුරුදුවෙන්ට ඕනැ.ඒ වගේම තමයි මෙත් සිතින් වාසය කිරීමත්. ඒ වගේම තමයි යමක් අනිත්‍යය වශයෙන් දකින්ට අපි තුළ පුරුද්දක් තියෙන්ට ඕනැ. එතකොට අපිට සංසුන් ජීවිතයක් ඇතිකරගන්ට පුළුවන්කම තියෙනව.

ඒ කරුණු තුනවත් අඩුගානෙ පුරුදුවෙන්න. සති සම්පජඤ්ඤය , මෛත‍්‍රිය, ආයතන අනිත්‍යය විදිහට වඩන්න පුළුවන් කම. අඩුගානෙ ඒ කරුණු තුනවත් අපි පුරුදු වුනොත් බොහොම සංසුන්ව අපිට වාසය කරන්ට පුළුවන්කම තියෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!