2012-03-02

 

අර්බුධ හටනොගැනීමට නම්

අර්බුධ හටනොගැනීමට නම්

ප්‍රශ්න ඇති නොවී තියෙන් නෑ ලෝකයේ. ප්‍රශ්න ඇති නොවෙනවා නම්, ප්‍රශ්න ඇති වෙන්නෙ නැත්නම්, අපට නිවන් දැකීමක් ඕන වෙන්නෙ නෑ. ඇයි..? ප්‍රශ්නයක් නොමැති නිසා . ප්‍රශ්න ඇති වෙන්නෙ නැත්නම් අපට, දහම් කතාවක් ඕන වෙන්නෙත් නෑ , කල්‍යාණ මිත්‍ර ඇසුර ඕන වෙන්නෙත් නෑ, ගුරුවරු ඇසුරේ ඉන්ට ඕන වෙන්නෙත් නෑ. ඇයි..? ප්‍රශ්නයක් නොමැති නිසා . ඒවගේම තමයි, ප්‍රශ්න ඇති වෙන්නෙ නැත්නම්, ලෝකයට බුදුවරු පහළ වෙන්ට ඕන වෙන්නෙත් නෑ .

ඒනිසා මේක තේරුම් අරගෙන, ප්‍රශ්න ඇතිවීම ඉදිරියේ අපි කළබල නොවිය යුතුයි. නමුත් ගොඩාක් අය ප්‍රශ්නයක් ඇති වුනාම "ප්‍රශ්නයක්, ගැටළුවක්" කියල, ඒ ප්‍රශ්නය ඉදිරියේ කළබල වෙනවා. නමුත් ප්‍රශ්න ඉදිරියේ අපි කළබල වෙන්ට හොඳ නෑ. මොකද...? ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසඳුමක් තියෙනවා. මේ ප්‍රශ්න ඇතිවීම කියන්නේ සාමාන්‍ය ස්වභාවය.

එතකොට, ඇයි ප්‍රශ්න ඇති වෙන්නෙ? ඒකට එක හේතුවක් තමයි, එකිනෙකා ගැන අන්‍යෝන්‍ය වශයෙන් හිතෛශී බවක් නෑ. එතකොටත් ප්‍රශ්න ඇති වෙනවා. මිත්‍රශීලී බව අඩු වුනාම ප්‍රශ්න ඇති වෙනවා.

ඒවගේම, යම් කාරණාවක් "මම තමයි දන්නෙ. මම කියන එකම තමයි හරි" කියල හිතන එක. "මේකමයි හරි. මේකම පිළිගතයුතුයි සියලු දෙනා. මගේ දේම ඔක්කොම පිළිගන්ට ඕන" කියල මේවගේ අදහස් වලින් යුක්ත වෙනකොටත් ප්‍රශ්න ඇති වෙනවා.

ඊලගට, හරියට යමක් දන්නෙ නැති වුනාමත් ප්‍රශ්න ඇතිවෙනවා.

ඊළඟ එක තමයි, වැඩිහිටි අවවාදයකට නැමෙන්නෙ නැතිකම. යම් අවවාදයක් දුන්නම ඒකට නැවෙන්නෙ නැත්නම් ගැටළු ඇති වෙනවා. ප්‍රශ්න ඇතිවෙනවා.

ඊළඟ දේ තමයි අන් අයගේ අදහසට නැමෙන්න අකමැතිකම. ඔන්න ඔයවගේ කරුණු මත තමයි ප්‍රශ්න ඇති වෙන්නෙ.

ඊළඟට බලන්න, ප්‍රශ්නක් විසඳෙන්නෙ නැතුව දිගින් දිගටම ගියොත් ඒක අපට, සතුට ඇති වීම පිණිස පවතින් නෑ නේද? එමනිසා අපි ප්‍රශ්න ඇති නොවන විධියට කටයුතු කරන්ට ඕන.

ප්‍රශ්න ඇති නොවන විධියට කටයුතු කරන්නේ කොහොමද? අපි අර ප්‍රශ්න ඇතිවෙන දේවල් අපෙන් දුරුකරගන්ට ඕන.

"මමම තමයි දන්නෙ, මටම තමයි තේරෙන්නෙ, මම කියන දේම ඇසිය යුතුයි." මේ ආදී අදහස් අපේ සිත්වල එන්ට පුළුවන්. ඒවගේ අදහස් අපේ සිත්වල තියෙන්ට පුළුවන්. නැතිවෙන්ට බෑ. ආන්න ඒවා දැකල අපි දුරු කරගන්ට ඕන.

ඊළඟට තව කෙනෙකුගේ අදහසට ඇහුම්කන් දෙන්ට ඕන. තව කෙනෙක් මොකක්ද කියන්නෙ කියල ඇහුම්කන් දෙන්ට අපට පුළුවන්කම තියෙන්ට ඕන. ආන්න ඒ වගේ අඩුපාඩුකම් අපි හදාගන්ට ඕන.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!