2012-03-23

 

විවෘතභාවය තේරුම් ගනිමු.

විවෘතභාවය තේරුම් ගනිමු.

බුදු රජාණන් වහන්සේ අපිට කියා දෙනවා සට කපට මයා නැති කෙනෙක්, අවංක කෙනෙක්, සෘජු ගති තියෙන වීරියවන්ත කෙනෙක්, බුදුරජාණන් වහන්සේ ලඟට පැමිණුනොත් සතියකින් මේ ධර්මය අවබෝධ කරන්ට කියා දෙන්ට පුළුවන් කියල. ඒවගේ කෙනෙකුට දවසකිනුත් මේ ධර්මය අවබෝධ කරන්ට කියා දෙන්ට පුළුවන් කියල කියාදෙනවා. ඒ විදියට, බුදු රජාණන් වහන්සේ මේ ධර්මයේ තියෙන සංදිට්ඨික බව, අකාලික බව, ඒ වගේම අර්ථ සහිත බව අපට කියා දෙනවා. එතකොට අපි තුළ සෘජු භාවය, අවංක භාවය නැති වුනොත් අපිට මේ ධර්මයෙන් පිහිට, පිළිසරණ ලබාගන්ට බැරිව යනව.

ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි, කොතෙක් දුරට විවෘත විය යුතුද..? කියන එක. දැන් අපි විවෘත විය යුතුයි කියල කියනව. විවෘත භාවය අපි ඇති කරගත යුතුයි කියල කියනවා. කොච්චර දුරට අපි විවෘත භාවයට පත් විය යුතුද? කොහොමද විවෘත භාවයට පත්වෙන්නෙ?

මතක තියා ගන්න, අපේ හිතේ ඇතිවන හැම හැඟීමක් ම විවෘත කළයුතු නැහැ. අපේ හිතේ ඇතිවෙනවා නොයෙකුත් අදහස්, ඒ ඔක්කොම කිව යුතු නැහැ. අපි හිතමු හිතට රාගයක් එනව. රාගය අපු පමණින් ඒක කිව යුතු නැහැ. අපේ හිතට ද්වේශයක් එනව. ඒක විවෘත කළ යුතුද? ද්වේශය ආපු පමණින් ඒක විවෘත කළ යුතු නැහැ. හිතේ අකුසලයක් හටගත්ත පමණින් ඒක විවෘත කරන්ට ඕනැ නැහැ. ඒකට මොකක්ද කරන්ට ඕනැ? ඒක සිහියෙන් ඉඳල අඳුරගන්ට ඕනැ. මේ රාගය, මේ පටිඝය ඒ විදිහට ඒ අකුසලය අඳුර ගන්ට ඕන. අඳුරගෙන ඒක දුරු කිරීමට කටයුතු කරන්ට ඕනැ. අකුසලය ආපු පමණින් කාටවත් කියන්ට අවශ්‍යය නැහැ. මතක තියා ගන්න.

හිතට අකුසලයක් ආව. අපි විසින් කළ යුත්තෙ මොකක්ද? අපි ඒක අඳුරගන්ට ඕනැ. ඊට පස්සෙ ඒ අකුසලය දුරුකිරීම පිණිස අපි තුළ කැමැත්ත උපදවාගෙන, ඒක දුරු කිරීම පිණිස වෑයම් කරන්ට ඕනැ. ඒක කාටවත් කියන්ට ඕනැ වෙන්නෙ නෑ. හැබැයි... අපිට ඒ එන අකුසලය දුරුකරගන්ට බැරි නම්, ඒ කියන්නෙ අපි වෑයම් කරනව, දුරු කරගන්ට බෑ. දුරුකරන්ට තේරෙන්නෙ නෑ. ඒ අකුසලයෙන් හිත යටවෙලාම ගිහිල්ල. කිසි දෙයක් කරගන්න බැරි මට්ටමට හිත අකර්මණ්‍යය වෙලා යනව නම්, අකර්මන්‍යය කියල කියන්නෙ කිසි දෙයක් කරගන්ට බෑ, හිත යටවෙලා ගිහිල්ල. අන්න එතකොට ඉක්මනින් හෙලි කළ යුතුයි. එතකොට සඟවගෙන ඉඳීම නොකළ යුතු මයි. එතකොට ඉක්මනින් ඒක විවෘත කළ යුත්තෙ කාටද? ඒක කළ්‍යාණ මිත‍්‍රයාට විවෘත කළ යුතුයි. ඒකත් හැමෝටම කියාගෙන යන්නෙ නෑ. හැමෝටම කියාගෙන ගියොත් එහෙම මොකද වෙන්නෙ? සුදුසු පිළිතුරක් ලැබෙන්නෙ නෑ. තිබුනට වඩා ඒක අවුලක් බවට, සංකීර්ණ දෙයක් බවට පත්වෙලා යන්ට පුළුවන්. ඒ නිසා තමයි සුදුසු කෙනෙකුට ඒක ප‍්‍රකාශ කළ යුත්තේ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!