2012-03-09

 

දස කතාව පුරුදු වෙමු....

දස කතාව පුරුදු වෙමු....

කව්රුත් දස කතාව අතහැරගන්ට එපා. මොකද... දසකතාව කියන එක නිවන් මගට උවමනාම දෙයක්. ඒක නිවන පිණිස නොමේරු අපේ සිත, මේරීම පිණිස පුරුදු කළ යුතුම දෙයක්. එතකොට දස කතාවෙන් බැහැරව අපේ දහම් දැණුම දියුණු කරගන්ට, අපේ සිත සංවර කරගන්ට අමාරුයි. ඒක කරගන්ට බෑ.

ඊලඟට කළ්‍යාණ යහලුවන් සමඟ වාසය කරන්ට කියලයි, බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්නෙ. ඒ කළ්‍යාණ යහළුවන් ඇසුරේ වාසය කිරීමට දස කතාව අපිට උවමනා වෙනවා. දස කතාවෙන් තමයි ඒ කළ්‍යාණ යහළුවන් එකිනෙකාව බන්දන්නෙ. එකිනෙකා කිරීයි දියයි එකතුවුනා වගේ මිත්‍ර ශීලී‍්‍රව වාසය කරන්ට කියලනෙ බුදුරජාණන් වහන්සෙ අපට අනුශාසනා කලේ. ඒ විදිහට කිරියි දියයි එකතුවුනා වගේ මිත්‍රව බැ‍ඳෙන්ට, ඒ වගේ මිත්‍ර ශීලී බවක් ගොඩනැගෙන්ට දසකතාව උවමනා කරනවා. දස කතාව තුළ තමයි ඒක සිද්ධවෙන්නෙ.

හැබැයි ඒ දස කතාව කියන එක වරදවා ගන්ට එපා. අපි හරියට දස කතාව පවත්වනවා නම්, දස කතාවෙ යෙදෙනවා නම් ඒ තුළ ශාසනය රැකෙනව. පිරිස අසමඟි වෙන්නෙ නෑ. පිරිස එක රෑනට ගොනුවෙනව. අන්න ඒක දස කතාවෙන් කෙරෙන දෙයක්. පිරිස වෙන් වෙලා බෙදිල යනව නම් එතන දසකතාව නෙවෙයි සිද්ද වෙන්නෙ. දස කතාව වේශයෙන් වෙනත් නුසුදුසු දෙයක් තමයි ඇති වෙලා තියෙනව. ඒක මතක තියා ගන්න.

ඒනිසා කවුරුත් දස කතාව පුරුදු වෙන්න. දස කතාව තුල සිදු වෙන්ට ඕනැ සමඟි සම්පන්න පිරිසක් විදිහට එකතු වීම. සමඟි සම්පන්න පිරිසක් විදිහට එකතු නොවෙනවා නම් ඒක දස කතාවක් බවට පත්වෙලා යන්නෙ නෑ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!