2012-04-20

 

කරුණාව උපදවා ගනිමු.....

කරුණාව උපදවා ගනිමු.....

තව කෙනෙකුගේ වචනයක් නිසා තමන්ට හිත් වේදනාවක් එනව නම්, ඒ වෙලාවට කල්පනා කරන්න ඒ වචනය නිසා මගේ හිත තැළුනේ යම් සේද, මගෙ හිතට දුකක් පීඩාවක් කනගාටුවක් ඇතිවුණේ යම් සේද, අන්න ඒ වගේ මගේ වචනය නිසා තව කෙනෙකුටත් ඒ විදිහට දුක් පීඩා ඇතිවෙන්ට පුළුවන් කියල. ඒ නිසා මගේ අතින් කවදාවත් අන්න ඒ වගේ තව කෙනෙකුගේ හිතට කරදරයක් වෙන විදිහේ පීඩාවක් වෙන විදිහේ වචනයක් පිටවෙන්ට දෙන්ට හොඳ නෑ කියල කල්පනා කරන්න.

ඒ විදිහට තමයි අපි හිතාමතා සංවර විය යුත්තේ. තමාව උපමාවට අරගෙන තව කෙනෙකුගෙ වචනයක් නිසා මම පීඩාවට පත්වුණා. එහෙනම් මගේ වචනය නිසා තව කෙනෙක් පීඩාවට පත්වෙන්ට හොඳ නෑ කියල හිතන්න.

එහෙනම් අපි විහිලු තහලු කරන්ට හොඳ නෑ. තව කෙනෙකුගෙ හිත රිදෙන වචන කතා කරන්ට හොඳ නෑ කියල අපි හිතා මතා සංවර වෙන්ට ඕනැ. හිතා මතා තමන්ව උපමා කරගැනීම තමයි තියෙන්නෙ. එතකොට ටික කලක් හැමෝම ඒ විදිහට කල්පනා කළොත් එහෙම එකිනෙකාට විහිළු තහළු කරගන්න ස්වභාවයන් නිකම්ම නැතිවෙලා යයි. එතකොට පිරිස සමගියෙන් ඉඳියි.

එතකොට අපි කවුරු කවුරුත් හැම කෙනෙක් ගැනම කරුණාව උපද්දගෙන තමයි වාසය කරන්නෙ. ඇයි එයා කල්පනා කරනව තව කෙනෙකුගේ වචනයක් නිසා මට දුකක් ඇතිවුණා නම් මගෙ වචනය නිසා තව කෙනෙකුට දුකක් ඇතිවෙන්ට පුළුවන් කියල. ඒ නිසා අපි තුළ අන් අයගේ දුකට අකමැති බවක් උපදිනව. එනිසා තමාව උපමාවට අරගෙන කල්පනා කරපුවාම අන් අයගේ දුකට අපි අකමැති වෙනව.

"නරක වචනයක් කතා කෙරුවොත් තව කෙනෙකුට අපහසුවක් ඇතිවෙයි ඒක හොඳ නෑ" කියල කල්පනා කරන කෙනා, අන් අයගේ දුකට අකමැතියි. එහෙනම් අන් අයගේ දුකට අකමැතියි කියල කියන්නෙ මොකක්ද? කරුණාව. එයාට කරුණාව උපදිනව. කරුණාව උපදින කෙනා රළු වචන සැර වචන විහිළු තහළු අතහරිනව. ඊලඟට උසුළු විසුළු කිරීම්, සාමාන්‍යය සමාජයේ "හින්ට් ගහනව" කියල කියන්නෙ, අන්න ඒව අතහරිනව. ධර්මය පාවිච්චි කරල "හින්ට්" ගහන්න පුළුවන්.

දේශනාවක් දක්වමින් තව කෙනෙකුට "හින්ට්" ගහන්න පුළුවන්. දේශනාවක් දක්වමින් තව කෙනෙකුට හිත රිදෙන විදිහට, හිත බි‍ඳෙන විදිහට, කනස්සල්ල දුක ඇතිවෙන විදිහට, ධර්ම කාරණයක් ඉස්මතු කරල පෙන්වන්ට පුළුවන්. එහෙම සිද්ධවෙන්න පුළුවන්. එහෙම වෙන්නේ තව කෙනෙකුට දුක ඇතිවෙනවා කියන එක තේරුම් ගන්ට බැරි කම නිසා. ඒ විදිහට තව කෙනෙකුට දුක ඇතිවෙනවා කියන එක තේරුම් ගන්නේ තමා උපමා කරල බැලුවොත් විතරයි.

තව කෙනෙකුගේ ක්‍රියාවක් නිසා අපිට හිතට පීඩාවක් දුකක් කනස්සල්ලක් උපදිනව නම් සාමාන්‍ය කෙනා කල්පනා කරන්නෙ අරය වැරදියි, මට "හින්ට්" ගැහුව, එහෙම නැත්නම් මට විහිළු කළා, මට පහර දෙනව කියල. එහෙම කල්පනා කිරීමෙන් අපි තුළ මොකක්ද හට ගන්නෙ? පටිඝය හටගන්නව නේද? එතකොට අපිට සංසාරයෙන් නිදහස් වීමක් කරා යනව කියන එක අහිමි වෙනව. එතකොට කවදාවත් විහිළු තහළු කිරීම් අපෙන් අයින් වෙලා යයිද? ඒව අයින් වෙලා යන්නෙත් නෑ.

එතකොට එකට එක කිරීම තමයි හටගන්නෙ. එක්කෙනෙක් විහිළු තහළු කරන කොට අපිත් ඒකට ප්‍රතිඋත්තර දෙන්ට පටන් ගන්නව. එතකොට අඬදබර. වචන නැමැති ආයුධවලින් විද ගන්නවා කියන්නෙ අන්න ඒකට. එතකොට අසමගිය කරා ම යනව.

කෙනෙක් නරක වචනයක් කතා කරන්ට පුළුවන්. සැර වචනයක් වුණත් අපිට කතා කරන්ට පුළුවන්. තව කෙනෙක් අපිට විහිළු තහළු කරන්ට පුළුවන්. ඒ වගේ පරිසරයක ඉඳගෙන අපි කොහොමද ධර්මයට යන්නෙ? සියලු දෙනා ම තමා උපමාවට අරන් කල්පනා කරන්ට පුරුදුවෙන්න.

යම් කෙනෙක්ගේ වචනයක් නිසා අපේ හිත තැළුන නම්, තැවුණ නම් දුකට පත්වුණා නම්, ඉක්මනින් ම සිහිය උපද්දගන්න. ඒ වචනය නිසා මගේ හිත දුකට පත්වුණා. එහෙනම් මගේ වචනයක් නිසා අන් අය දුකට පත් නොවිය යුතුයි. එහෙනම් මම ඒකාන්තයෙන් ම තව කෙනෙක්ගේ හිත පලුදුවෙන වචන තව කෙනෙක්ගේ හිත තැවෙන වචන තව කෙනෙක්ගේ හිතට දුක ඇතිකරන වචන පාවිච්චි කරන්ට හොඳ නෑ කියල කල්පනා කරන්න.

එතකොට ඒ වචනය ප්‍රකාශ කරන ස්වභාවය අනුව තමයි ඒ අපහසුකම් ඇතිවෙන්නෙ. එකම වචනය උච්චාරණය කරන ස්වභාවය, ඒක ඉස්මතු කරල පෙන්වන ස්වභාවය අනුව කෙනෙක්ගේ හිත තැවිල යනව. ඒකයි මම කිව්වෙ ධර්මය වුණත් මතුකරල කෙනෙකුට හිත රිදෙන විදිහට කතා කරන්ට පුළුවන් කියල. ඒ නිසා අපි බලන්ට ඕනැ ඒ කතාකරන වචනය නෙවෙයි. ඒ වචනය භාවිතා කරන ස්වභාවය නිසා හිත රිදෙනව ද? හිතට කණගාටුව උපදිනව ද? කියල. ඒක බලන්නෙ තමා තුළින් ම යි. අනිත් අයගෙ වචන නිසා මගේ හිත රිදෙනවද කියල බලන්නෙ. තමා තමා ම කල්පනා කරල බලන්ට ඕනැ.

එහෙනම් අන්න ඒ වගේ "මම එහෙම නොකළ යුතුයි" කියල තමන් සංවර වෙන්ට කල්පනා කරන්න. එතකොට හැමෝම එහෙම කල්පනා කරන කොට හැමෝම අතරින් ඒ නරක වචන, තව කෙනෙකුගේ හිත රිදෙන වචන දුරුවෙලා යනව. ඒ වගේ ම එකිනෙකා තුළ අන් අය කෙරෙහි කරුණාව උපදින්ට පටන් ගන්නව.

එතකොට අපි කවුරුත් කුසලයට නැඹුරු වූ සිතින් වාසය කරන අය බවට පත්වෙනව. දුකට අකමැති වගේ ම එකිනෙකාගේ සැපට කැමති අය බවට පත්වෙන්ට පුළුවන්කම තිබෙනව. ඒ නරක වචන අත හැරල හොඳ වචන කතා කරන්ට පුරුදුවෙන්න. අනුන්ගෙ හිත තැවෙන වචන අනුන්ගේ හිතට දුක ඇතිවෙන වචන පාවිච්චි කිරීමට අපි අකමැති වෙනකොට අපි කැමති වෙනව හොඳ වචන කතා කරන්න. නිරායාසයෙන් ම අපි හොඳ වචන වලට නැඹුරු වෙනවා.

තව කෙනෙක් හොඳට කතා කරනව දැකල සතුටක් එනකොට කල්පනා කරන්න මට මේ හොඳ වචන මිහිරියි සුවයක් තියෙනව. එහෙනම් මමත් හොඳ වචන කතා කරන්න ඕනැ. එතකොට ඒ සැපට කැමති .... හොඳ වචන කතා කරන කොට අන් අයගේ සැපට කැමතියි. අන් අයගේ සැපට කැමති කෙනා හොඳ වචන කතා කරන්න පුරුදු වෙනව.

තව කෙනෙකුට තැවෙන්නෙ නැති දුක ඇතිවෙන්නෙ නැති විදිහට වචන කතා කරන්න පුරුදුවෙනව, හැසිරෙන්න පුරුදුවෙනව එතකොට අපි තුළ මුදිතා ගුණය පිහිටුවා ගන්න පුළුවන් කම තියෙනව.

ඒ නිසා ඒ විදිහට තමා උපමාවට අරගෙන කල්පනා කරන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!