හයිටි සරණාගතයන්ට ආධාර පිණිස 17,000 ක අමෙරිකානු භට හමුදාවක්

හයිටි සරණාගතයන්ට ආධාර පිණිස 17,000 ක අමෙරිකානු භට හමුදාවක්

හයිටි භූමිකම්පාවෙන් විපතට පත් සරණාගතයන්ට ආධාර කිරීම සඳහා 17,000 ක අමෙරිකන් භට හමුදාවක් යොදවා තිබේ.

මොවුහු කලින් ප්‍රධාන බස් නැවතුම්පොළක් සුන්බුන් මධ්‍යයේ ඉදිකරගත් වායු සමීකරණය කළ කූඩාරමක් තුළ සිට ක්‍රියාත්මක වෙති.

ලෝක ආහාර වැඩසටහන යටතේ ආහාර බෙදාදීමේ මධ්‍යස්ථාන 16 ක් පිහිටුවා ඇත. ඉතාම අසරණ තත්ත්වයට පත් හයිටි ජනතාව මෙම මධ්‍යස්ථාන අසල රැස්කමින් ආහාර ලබා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටි බව වාර්තා වේ.

අමෙරිකන් සෙබලුන් ආහාර බෙදාදීමේ කටයුතුවල නිරතව සිටිති. සැඩ හිරුරැස් සහිත කාලගුණයද ඔවුන් තවදුරටත් පීඩාවට පත්කරන බව වාර්තා වේ.

සරණාගතයන්ට ආධාර ලබාදීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා හිටපු අමෙරිකන් ජනාධිපති බිල් ක්ලින්ටන්ද හයිටි අගනගරයට පැමිණ සිටී. විපතට පත් අයට ආහාර ලබාදීමට මධ්‍යස්ථාන 16 ක් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ක්ලින්ටන් පවසා තිබේ.

උන්හිටි තැන් අහිමි වූ සංඛ්‍යාව මිලියනයක් ඉක්මවයි. මොවුන් අතර සිටින ළමයින් පැහැරගෙන යාමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වෙමින් පවතී.

ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ මෙහෙයුම් සඳහා අමෙරිකන් හමුදාව විශාල වශයෙන් අනුයුක්ත කිරීමට අවශ්‍ය නිසා, හයිටි සහනාධාර කටයුතු සඳහා යොදවා ඇති බලඇණි මාර්තු වනවිට ඉවත්කර ගැනීමට අපේක්ෂිතය.

මොවුන් ඉවත්ව යාමෙන් අනතුරුව අමෙරිකන් සහ ජාත්‍යන්තර මානව හිතවාදී ක්‍රියාකාරීන් මෙම කටයුතුවලට මැදිහත්වනු ඇතැයි අපේක්ෂිතය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා