න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා පණ ගන්වන්න චීන කොමියුනිස්ට් පක්ෂ

න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා පණ ගන්වන්න චීන කොමියුනිස්ට් පක්ෂ
නායකයෙක් උතුරු කොරියාවට යයි

න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ සාකච්ඡාවලට උතුරු කොරියාව යළිත් කැඳවා ගැනීමේ අරමුණ ඇතිව, චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයෙක් ඉකුත් සෙනසුරාදා උතුරු කොරියාවට පැමිණ සිටී. ඔහු ලබන අඟහරුවාදා දක්වා එහි රැඳී සිටිනු ඇත.

මිසයිල සහ න්‍යෂ්ටික පරීක්ෂණ සිදුකිරීම නිසා, ජගත් සංවිධානය විසින් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පනවන ලදී.

චීනයේ මැදිහත්වීම යටතේ 2003 සිට ආරම්භ වූ න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා දැනට අත්හිටුවා තිබේ. මෙම සාකච්ඡා යළි ආරම්භ කළ යුතු බවට චීන ජනාධිපති නෝ ජින්ටාන්ගේ පණිවුඩයක් උතුරු කොරියානු නායක දෙවන කිම් ජොං වෙත මොහු රැගෙන විත් ඇති බව දකුණු කොරියානු මාධ්‍ය පවසයි.

අතරමග ඇනහිට ඇති සාකච්ඡාවලට යළි පැමිණෙන ලෙස ඉල්ලමින් උතුරු කොරියාවට දැඩි ජාත්‍යන්තර බලපෑම් එල්ලවෙමින් පවතී. දකුණු කොරියාව, චීනය, ජපානය, ඇමෙරිකාව සහ රුසියාව මෙම සාකච්ඡාවේ පාර්ශ්වයකරුවන් ය.

උතුරු කොරියානු නායකයා හමුවීමට ප්‍රථම දකුණු කොරියානු බලධාරීන් හමුවීම සඳහා ජගත් මහ ලේකම් බැන් කී මුන් විසින් ඉහළ පෙළේ දේශපාලනික නායකයෙක් දකුණු කොරියාවට ඉකුත් සෙනසුරාදා එවා තිබේ.

හය පාර්ශවිය සාකච්ඡාවට යළි පැමිණීමට උතුරු කොරියාව ප්‍රතිපත්තිමය වශයෙන් එකඟවී ඇත. එහෙත්, ඔවුන් විසින් දකුණු කොරියාව සහ ඇමෙරිකාව ප්‍රතික්ෂේප කළ කොන්දේසි දෙකක් ඉදිරිපත් කර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා