2009-02-04

දෙවැනි නිදහස් අරගලයට අනාගත සංවාදයක්

දෙවැනි නිදහස් අරගලයට අනාගත සංවාදයක්

වර්තමානය හා අනාගතය යා කරන ප‍්‍රබන්ධයෙකි
වැල්වැටිතුරේ උපන්
ප‍්‍රභාකරන් නම් මුෂ්ඨි ප‍්‍රහාරකයා
1972 සිට ශී‍්‍ර ලංකාවේ බොක්සිං කිරුළ
හිමිකරගෙන සිටියේ ය.
ඔහු ජේ. ආර්. ජයවර්ධන බිම හෙළී ය.
රජීව් ගාන්ධිට හා ආර්. ප්‍රේමදාසට
යළි නොනැඟිටින්නට පහර දුන්නේ ය
ඩී. බී. විජේතුංග , චන්ද්‍රිකා කුමාරතුංග,
රනිල් වික‍්‍රමසිංහ රවුම් දෙක - තුනෙන්
දුර්වල කෙළේ ය.
එහෙත්, මහින්ද රාජපක්‍ෂ සමඟ
ඔහු සෙල්ලම් කෙළේ එක වටයක් පමණි.
නොනවත්වා පහරකෑමට ලක් වූ
ප‍්‍රභාකරන් බොක්සිං වළල්ලෙන්
ඉවතට විසිවුණේ ය.
දැන් ඔහු පෙ‍්‍ර්ක්ෂකාගාරයේත් නැත.
දුටු කෙනකු වෙතොත් ; දන්වන්න !
කාලය :- කි‍්‍ර. ව. 2056 පෙබරවාරි 04
ස්ථානය :- ශී‍්‍ර ලංකාව - මුලතිව් නගරය

මුල්ලාවේලී හෙවත් මුලතිව් නගරය හදිසියෙන් අවදිව සිටී. ප‍්‍රදේශය පුරා ඇති කලබලයෙන් දිස්වන්නේ අද විශේෂ දිනයක් බව ය. මුලතිව් සිට ති‍්‍රකුණාමලය හෙවත් ගෝකණ්ණ කරා දිවෙන මංතීරු හතරකින් යුත් අධිවේගී මාර්ගය දෙපස ධජ - පතාක දක්නට ලැබේ. එහි කළපුවට ආසන්න පැත්තේ මහල් විස්සකින් සමන්විත අංක 430/1 නම් වූ මහජන නිවස්නයක් ඇත. දහවැනි මහලේ 10/8/ඒ කාමරය නූතන කාර්යාලයයෙකි. චන්ද්‍රිකා තාක්ෂණයට අදාළ සූක්ෂ්ම මෙවලම් කිහිපයකින් අලංකෘත වූ කාමරයෙහි තරුණ යුවළක් සිටිති.

යුවතිය කළු පැහැති කෙටි ගවුමකින් සැරැසී සිටින අතර කොලරය සුදු පැහැතිය. ඇගේ හිසෙහි වූ ආවරණයට සෘජුව සම්බන්ධ වූ කුඩා මයික‍්‍රෆෝනයක් මුඛයට එල්ල වී තිබේ. පුරුෂයා සැප පහසු අසුනකට බර දී සුරතෙහි අති නවීන සන්නිවේදන උපකරණයක් සහිත ව කිසිවක් අපේක්ෂාවෙන් සිටී. සුන්දර යුවතිය ඔහු ගේ ලේකම්වරිය යැයි අනුමාන කළ හැකි ය.

(පුරුෂයාට ඉදිරියෙන් ඇති මොනිටරයෙහි සංඥාවක් සමඟ කිසිවක් සටහන් වේ.

“ වේලාව පෙ.ව. 7.32 යි. තව විනාඩි තුනකින් ඔබ ගේ දේශනය ආරම්භ කරන්න ! ස්තූතියි.

යර00007 - පාලක

පුරුෂයා ගේ හිසට ඉහළින් තිරය දෙස එබී බැලූ යුවතිය තම සන්නිවේදන උපකරණයෙහි කිසිවක් සටහන් කර ගත්තා ය. “ ස්තුතියි ! “ කියූ පුරුෂයා ඇයට සිනහවකින් සංග‍්‍රහ කෙළේ ය.

ඔහු තත්පර කිහිපයක් දෑස් පියාගෙන සිටියේය. තමන් බරපතළ වගකීමක් ඉටු කිරීමට යන බවත්, මුළු ලෝකය ම ඒ කෙරෙහි අවධානයෙන් සිටින බවත් ඔහුට සිහිපත් විය. කාලය අනුව දේශනය ඉතා කෙටි විය යුතුය. ශී‍්‍ර ලංකාවේ අභිමානය හා ප්‍රෞඪත්වය එහි රැ¼ඳී තිබිය යුතුය. තරුණ පරම්පරාව තමාගෙන් කුමන ප‍්‍රශ්න විචාරන්නේදැ’යි විමසිලිමත් වීමට ඔහු උත්සාහ කෙළේ ය.

යුවතිය අතින් සංඥාවක් නිකුත් කළාය. ඒ සමඟ ම තිරයෙහි යමක් සටහන් වේ.

“ වේලාව පෙ.ව. 7.34 යි. තව විනාඩියකින් ඔබ ගේ දේශනය ආරම්භ කරන්න , ඔබට ජය ! ස්තූතියි.

යර00007 - පාලක

යුවතිය බොත්තමක් ඔබා මයික‍්‍රෆෝනය කි‍්‍රයාත්මක කෙළේය. පුරුෂයා ගේ මුහුණෙහි තැතිගැන්මක ස්වරූපයක් දක්නට ලැබේ. එහෙත් ඔහු දේශනය ආරම්භ කෙළේ ය.

සියලු දෙනාට ම සුබ දවසක් !

මම මහාචාර්ය ෂ්‍යාම් කනපතිපිල්ලේ පුරවැසි අංකය 202604063 - ඉ. ඹ් දේශනයේ මාතෘකාව ශී‍්‍ර ලංකාවේ නිදහස මගේ දේශනය ඉතා සංක්ෂිප්තයි. සංකල්ප හා රූපක සහිතයි. දේශනය පැවැත්වෙන අතර පුරවැසි අංකය සඳහන් කිරීමෙන් චන්ද්‍රිකා පණිවිඩ ඔස්සේ ප‍්‍රශ්න ඇසීමේ අවස්ථාව තිබේ. ඊට පිළිතුරු සැපැයීමට මම බැඳී සිටිමි.

පළමුව නිදහස යනු කවරේදැ’යි සඳහන් කිරීමට කැමැත්තෙමි. නිදහස යනු සංකල්පයකි. එහෙත් එය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස සැලකේ. මගේ විග‍්‍රහයට අනුව මිනිසා දියුණුවීම සඳහා ඉතිහාසය පුරා කළ අරගලය නිදහසේ අරගලයයි. මීට අදාළ අතීත නිර්වචන ගණනාවක් තිබේ. අන්තර්ජාලය ඔස්සේ ඔබට ඒවා හඳුනාගන්නට පුළුවන්.

ඉන්දියාවේ අසහාය නායකයා ලෙස සලකන මහත්මා ගාන්ධිතුමා නිදහස යනු මිනිසාගෙන් කිසිකලෙක දුරස් කළ නොහැකි ඔහු ගේ ප‍්‍රාණ වායුව යැයි වරක් ප‍්‍රකාශ කළා. අමෙරිකාවේ ප‍්‍රකට ජනාධිපතිවරයකු වූ ඒබ‍්‍රහම් ලින්කන් මිනිසා මිනිසාගේ ම වහලෙක් නො විය යුතු යැයි කියා තිබෙනවා. එය නිදහසට අත්‍යන්තයෙන්ම අදාළ කියමනක්.

සදාචාර වර්ධනය

ශී‍්‍ර ලංකාව මගේ මවුබිම. එය ස්වාධීන රාජ්‍යයක්. අප කිසිවකුටත් යටත් නැහැ. අප ගේ ආර්ථිකය ගෝලීකරණ වෙළෙඳ විජ්ජාවලින් අඩපණ කරන්න බෑ. දැනට වාර්ෂික ආර්ථික වෘද්ධිය 15%කට වැඩී. ලොව මෙබඳු රාජ්‍යයන් ඇත්තේ ස්වල්පයයි. අද අප ලබා තිබෙන ආර්ථික දියුණුවත්, සදාචාර වර්ධනයත් පදනම් වන්නේ නිදහසේ අරගලය මත යි. එය පැහැදිලි කිරීම මගේ යුතුකමක්.

ශී‍්‍ර ලංකාවේ නිදහස් අරගලයේ ප‍්‍රධාන අවස්ථා දෙකක් දකින්නට ලැබෙනවා. පළමු අරගලය නිමාවන්නේ 1948 පෙබරවාරි 04 දා. එදා අධිරාජ්‍යවාදී පාලනයෙන් ශී‍්‍ර ලංකාව නිදහස් වුණා. එහෙත් අධිරාජ්‍යවාදී බලපෑමෙන් නිදහස් වුණේ නැහැ. ශී‍්‍ර ලංකාව දෙවන වරට නිදහස ලැබුවේ 2009 පෙබරවාරි 04 දා ඉන්පසු 2010 සිට රට ආර්ථික වශයෙන් හා සදාචාර වශයෙන් ඉදිරියට ගියා.

මගේ විශේෂාවධානය යොමු වන්නේ දෙවන නිදහස් අරගලය දෙසටයි. 1948 තෙක් ශී‍්‍ර ලංකාවට බලපෑවෙ අධිරාජ්‍යවාදී සූරාකෑම, ඉන් පස්සෙ ශී‍්‍ර ලංකාවට බලපෑවෙ ත‍්‍රස්තවාදය . එය අධිරාජ්‍යවාදයේ ම නිර්මාණයක්. ශී‍්‍ර ලංකාව වසර තිහක් හෙවත් දසක තුනක් ත‍්‍රස්තවාදයෙන් බැටකෑවා. ඒ ත‍්‍රස්තවාදයේ ප‍්‍රධාන මෙහෙයුම්කරු ලෙස පෙනී සිටියේ වේළුපිල්ලේ ප‍්‍රභාකරන් නැමැත්තෙක්. ඔහු දේශපාලනය පිළිබඳ පුළුල් දැක්මක් නැති මැරවරයෙක් ලෙස ඉතිහාසයේ සඳහන් වෙනවා.

(මේ මොහොතේ මොනිටරය මත සංඥාවක් සමඟ පණිවිඩයක් සටහන් වේ.

පුරවැසි අංකය :- 20380802  I.N  -

ප‍්‍රශ්නය :- වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ට සිදුවූයේ කුමක්ද?

දේශකයා බොත්තමක් ඔබා , චැනලය මාරු කොට නැවත පිළිතුරු දෙයි.

ඔහු 1954 දී ශී‍්‍ර ලංකාවේ වැල්වැටිතුරේ නම් ගම්මානයේ දී උපත ලබනවා. අ.පො.ස ( සා/පෙ) දක්වා දෙමළ භාෂාවෙන් ඉගෙන ගන්නවා. පසුව පාසල් ගමන අතහැර අප‍්‍රසිද්ධ දේශපාලනයට එකතු වෙනවා. 1972 දී “ නව දෙමළ කොටි “ නමින් සංවිධානයක් පිහිටුවා ගන්නවා. 1983 ඇති වන ජාතිවාදී කෝලහල නිසා ඔහුට අන්තර්ජාතික සහයෝගය ලැබෙනවා. විශේෂයෙන් ඉන්දියාව ඔහුට උදවු කරනවා. ඔහු තම සංවිධානයට යුද පුහුණුව ලබා දී ශී‍්‍ර ලංකාවේ ආණ්ඩු සමඟ යුද්ධ කරනවා. මේ යුද්ධ නිසා ශී‍්‍ර ලංකාව ආර්ථික වශයෙන් දුර්වල වෙනවා. ප‍්‍රභාකරන් “ ඊළාම්” නමින් වෙන ම රාජ්‍යයක් ඉල්ලා සිටිනවා.

බලවේගවල පරාජය

1980 ගණන්වල සිට ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය බලය අතට ගත් සියලු නායකයන් ඔහුගේ උපක‍්‍රමවලට හසුවෙනවා. ජේ. ආර්. ජයවර්ධන, ආර්. පෙ‍්‍ර්මදාස , ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක , රනිල් වික‍්‍රමසිංහ එසේ උපක‍්‍රමවලට හසු වූ නායකයන් . එහෙත් 2005 නොවැම්බරයේ සිට තත්ත්වය වෙනස් වෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ප‍්‍රභාකරන් හා ඔහු ගේ ත‍්‍රස්තවාදයත් ඊට අදාළ සියලු බලවේගත් පරාජය කරනු ලබනවා..ඒ සඳහා ගත වන්නේ වසර තුනකට ටිකක් වැඩි කාලයක්.

2009 අවසන්වීමට ප‍්‍රථම ප‍්‍රභාකරන් කියන නම මතකයෙන් ඈත් වෙනවා. ඔහුට සිදුවූයේ කුමක්දැ’යි ප‍්‍රභාකරන් නැමැති වෙබ් අඩවියෙන් නිරීක්‍ෂණය කළ හැකියි.

මොනිටරයෙන් නැවත සංඥාවක් නිකුත් වේ. ඒ සමඟ පණිවිඩයෙකි.

පුරවැසි අංකය :- 20380802 I.N

ප‍්‍රශ්නය :- මහින්ද රාජපක්‍ෂ ත‍්‍රස්තවාදය පිටු දැකීම සඳහා යොදාගත් උපාය මාර්ග මොනවා ද?

( දේශකයා බොත්තමක් ඔබා, චැනලය මාරුකොට නැවත පිළිතුරු දෙයි.

ඔහු ගේ උපාය මාර්ග ඉතා පැහැදිලියි. පළමුව දේශපෙ‍්‍ර්මී කොටස් පෙළ ගැස්සුවා. දෙවනුව ත‍්‍රස්තවාදය හා අන්තර්ජාතික සබඳතා හැකිතාක් දුරට අඩපණ කළා. තෙවනුව අසල්වැසි ඉන්දියාව සමඟ මිත‍්‍රත්වය තහවුරු කර ගත්තා. ඊලඟට ත‍්‍රස්තවාදීන් ගේ කඳවුරු එකින් - එක අල්ලා ගත්තා. ඔහු ගේ යුදමය උපාය මාර්ග එකල ලොව පුරා ප‍්‍රචලිත වුණා. ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ හැකි ය. පරාජය කළ යුතුය යනුවෙන් අලුත් න්‍යායක් ද ඔහුගෙන් ආරම්භ වුණා.

මහින්ද රාජපක්‍ෂ කියන පාලකයා ගේ සාර්ථකත්වයට හේතු වූ ප‍්‍රධාන සාධක තුනක් ඇතැයි මා විශ්වාස කරනවා.

(i) අවශ්‍ය අවස්ථාවලදී ඉතා නිර්භීත හා ඬවැරැදි තීන්දු ගැනීම.

(ii) දුරදක්නා ඥානයකින් යුතුව රාජ්‍ය පාලනයෙහි නිරත වීම.

(iii) හැමවිටම ජනතාවගේ පැත්තේ සිට ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීම.

මගේ පිළිගැනීමට අනුව නිදහසින් පසු බිහි වූ සාර්ථකම රාජ්‍ය පාලකයා මහින්ද රාජපක්‍ෂ මහතායි. ඔහු ඉතිහාසයේ යුග පුරුෂයෙක් ලෙස සටහන් වෙනවා.

නැවත මගේ දේශනයට පිවිසෙන්න කැමැතියි. 2009 මැයි මාසයෙන් පසු ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්තවාදය මුළුමනින් ම අවසන් වෙනවා. ඉන්පසු ලෝකයේ රටවල් අසූ ගණනක පැවැති ත‍්‍රස්තවාදී ගැටුම් සමනය සඳහා ශී‍්‍ර ලංකාවෙන් ආදර්ශ සැපැයෙනවා. 2009 න් පසු රටේ ඒ ඒ පළාත්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා දේශපාලන වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක වෙනවා. 2010 සිට ශී‍්‍ර ලංකාව පුරා දැඩි ආර්ථික ප‍්‍රබෝධයක් ඇති වෙනවා. දේශීය ආර්ථිකය නැංවීම සඳහා විවිධ උපාය මාර්ග කි‍්‍රයාත්මක වෙනවා.

ශී‍්‍ර ලංකාවේ ඉහළම සංවර්ධනයක් සටහන් කරන්නේ නැඟෙනහිර පළාත. ඊළඟට දකුණු පළාත. නැඟෙනහිර පළාත කෘෂිකර්මය අතින් ඉදිරියට ගමන් කරනවා. දකුණු පළාත අන්තර්ජාතික වෙළෙඳ්‍රම අතින් ප‍්‍රමුඛ තැනකට පත්වෙනවා. හම්බන්තොට වරාය හා ගුවන් තොටුපොළ ඉදිකිරීම ඊට ප‍්‍රධාන හේතුවක්. 1970 ගණන්වල සිට ශී‍්‍ර ලංකාවේ විරැකියා ගැටලුව ප‍්‍රධාන ජාතික ප‍්‍රශ්නයක් වුණා. 2015 වන විට එය මුළුමනින්ම විසැඳුණා. අද ශී‍්‍ර ලංකාව ලෝකයට රැකියා සපයන කේන්ද්‍රස්ථානයක් හෙවත් දියුණු කාර්මික රාජ්‍යයක්.

කලකට පෙර ශී‍්‍ර ලංකාව ඉතා දුප්පත්. 1980 ගණන්වල ලෝකයේ දුප්පත් ම රටවල් විස්ස අතර ශී‍්‍ර ලංකාවත් තිබුණා. අද ලෝකයේ දියුණුම රටවල් දහය අතර ශී‍්‍ර ලංකාවේ නම සටහන් වෙනවා. මේ වනාහී දීර්ඝ හා දුෂ්කර ගමනක ප‍්‍රතිඵලයක්. ඒ ගමනට අවසන් නිවැරැදි මාවත ගොඩ නැඟුණේ මහින්ද චින්තන නම් වැඩසටහන සමඟයි. අද ශී‍්‍ර ලංකාවේ ජාතිවාදයක්, වර්ගවාදයක්, කුලවාදයක් හෝ ත‍්‍රස්තවාදයක් නෑ.

භාෂා කිහිපයක්

මං දෙමළ ජාතිකයෙක්. බිරිය සිංහල . මගේ දරුවෝ භාෂා කිහිපයක් කතා කරනවා. අපට සංස්කෘතීන් කිහිපයක් තියෙනවා. භාෂාව හෝ සංස්කෘතිය හෝ ආගම හෝ අපට ප‍්‍රශ්නයක් නොවේ. එකම මධ්‍යස්ථානයක විවිධ ආගමික කේන්ද්‍ර තියෙනවා. නිදහසේ ආගම ඇදහීමට හෝ මත පළකිරීමට හෝ බාධාවක් නෑ. අද රාජ්‍ය පාලනය සිදුවන්නේ නියෝජිත මණ්ඩලයක් මගින්. දුෂණය හෝ භීෂණය වැනි වචන අපට දැන් පුරුදු නෑ ! හැමෝම සතුටින් ජීවත් වෙනවා.

මේ මොහොතේ මොනිටරයෙහි තිරය මත සංඥාවක් සමඟ කිසිවක් සටහන් වේ.

පුරවැසි අංකය :- 20150206 - I.N

ප‍්‍රශ්නය :- 2008 - 2009 කාලයේ ශී‍්‍ර ලංකාවේ ජනමාධ්‍ය මර්දනයක් ගැන සඳහන් වෙනවා. ඒ පිළිබඳ ඔබගේ පැහැදිලි කිරීම කුමක් ද?

දේශකයා බොත්තමක් ඔබා චැනලය මාරුකොට පිළිතුරු දෙයි.

ජන මාධ්‍ය මර්දනය පිළිබඳ තොරතුරු 1980 ගණන්වල ද 2000 ගණන්වල ද ලෝකය පුරා විවිධ රටවලින් වාර්තා වෙනවා. 1980 ගණන්වල ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය මර්දනය රාජ්‍ය - භීෂණයට හා තරුණ කැරැල්ලකට සම්බන්ධයි. 2008 / 2009 ජනමාධ්‍ය පිළිබඳ සිද්ධී ත‍්‍රස්තවාදයට හා දේශපාලන කුමන්ත‍්‍රණයකට සම්බන්ධයි. 2009 මුල් කාර්තුවේම ඒ කුමන්ත‍්‍රණය හෙළිවුණා. ඉන් පසු ජනමාධ්‍යයට ඉතා යහපත් කාලයක් උදා වුණා. අද මේ රටේ ජනමාධ්‍ය ඉතා ප‍්‍රබුද්ධයි. සියල්ල ස්වාධීනයි. අපක්ෂපාතියි. නිර්මාණශීලීය.

නැවතත් මගේ දේශනයට පිවිසෙන්නට කැමැතියි. ශී‍්‍ර ලංකාවේ අප දෙවන නිදහස් අරගලයෙන් ඉගෙනගත් පාඩම් ගණනාවක් තිබෙනවා. පළමුවැන්න රටක සංවර්ධනයට නිදහස්කාමී ස්ථාවර දේශපාලන බලයක් අවශ්‍ය බවයි. එය ගොඩනැඟිය යුත්තේ ජනතාව අතරින්. ජනතාව පිළිගන්නා ජනතාව විශ්වාස කරන සමාජ නායකයකු ඒ සඳහා වුවමනා කරනවා. 2005 දී ශී‍්‍ර ලංකාවේ ජනතාව උක්ත වාසනාව උදා කර ගත්තා. ඒ වනා හී ඓතිහාසික අවස්ථාවක්. එදා අපගේ කලාකාරයෝ උදාන ගීත ගායනා කළා. දේශපෙ‍්‍ර්මී ජනතාව එක පෙළට පෙළපාළි පැවැත්වූවා. පී‍්‍රති ඝෝෂා කළා. එලෙස ම ජනතාව බොහෝ දේ ඉවසමින් හා දරා ගනිමින් අරගලයට මුහුණ දුන්නා. ඒ අතර කුමන්ත‍්‍රණ තිබුණා. විවිධ ප‍්‍රතිරෝධ මතු වුණා. ඒ සියල්ල පරාජය කෙළේ ජනතාවම යි.

පාඩම් ගණනාවක්

රාජ්‍යයක් ඉදිරියට ගමන් කරන්නේ ඒ දේශයට ගැළපෙන නායකත්වයක් සමඟයි. ඒ නායකත්වය ජාතික උරුමයක සම්බන්ධතා අනුව ගොඩනැඟිය යුතුයි. අපි‍්‍රකාවේ ආදර්ශය ආසියාවට ගැළපෙන්නෙ නැත. චීනගේ ආදර්ශය ඉන්දියාවට හරියන්නේ නැත. ශී‍්‍ර ලංකාව ගොඩනැඟුණේ ශී‍්‍ර ලාංකේය උරුමයක් ඔස්සේ ය. ඒ බව නොපැකිල ව කියන්නට අපි පෙළගැසී සිටිමු. එහිලා උපයෝගී වූ ප‍්‍රධාන කරුණු හතරක් පෙන්වා දීම මගේ යුතුකම වේ.

(i) නායකත්වය

(ii) සදාචාරය

(iii) දේශීයත්වය

(iv) ඉවසීම.

ඉහත කරුණු හතර මන්ත‍්‍රයක් සේ නැවත - නැවත කියන්නට කැමැත්තෙමු.

(මේ මොහොතේ මොනිටරයේ තිරය මත කිසිවක් සටහන් වේ.

“ වේලාව අවසන් . කරුණාකර දේශනය නිමා කරන්න ! ඔබට ස්තූතියි .”

XY  00007 - පාලක

ලේකම්වරිය සිය හිසෙහි පැළදි විද්‍යුත් උපකරණ ගලවා තබා දේශකයා වෙත පැමිණියේ ය. ඇය ඉතා සියුමැලි ලෙස දේශකයා වැලඳගෙන මුහුණ සිප සුබ පැතී ය.

“ ඔබ ඉතා සාර්ථකයි !

ස්තුතියි, මගේ ගාස්තුව දෙන්න ! “

දේශකයා සිය ජංගම දුරකථනය ගෙන එහි අංක කිහිපයක් ඔබා, ලේකම්වරියගේ බැංකු ගිණුමට යුරෝ දෙදහසක් බැර කෙළේය. ඒ වන විටත් ලේකම්වරිය කාර්යාලයෙන් පිට වී තිබිණි. දේශකයා ඊළඟ රාජකාරියක් සඳහා සිය විද්යුත් මෙවලම් සකස් කරන්නට විය. ඒ සමඟ ම උදෑසන පාතරාසය සඳහා කැඳවන සීනුව හැඬවෙන්නට පටන් ගති.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා