2009-02-04

වාද භේද දුරලා එක්සත්ව නැගී සිටිමු

වාද භේද දුරලා එක්සත්ව නැගී සිටිමු

අස්ගිරි පාර්ශවයේ මහනායක
උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහනාහිමි

අප මවුබිම කුරිරු ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ සන්ධිස්ථානයකට පිවිස සිටින මොහොතක 61 වන ජාතික නිදහස් දිනය සැමරීමට හැකිවීම සුවිශේෂී සන්ධිස්ථානයක් බව අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියෝ ජාතික නිදහස් දින පණිවිඩයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර සිටිති.

එහි මෙසේද සඳහන් වෙයි. වත්මන් රජයේ ආරක්ෂක ප‍්‍රතිපත්තිවල මග පෙන්වීමෙන් වීර රණවිරුවන් දිවි පරදුවට තබා ඇප කැප වී සටන්වැදීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තවාදයෙන් අප රට මුදා ගැනීමේ අභිලාෂය ක‍්‍රම ක‍්‍රමයෙන් දැන් ඉටු වන බව පෙනෙන්නට තිබේ.

කොටි ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට ලැබුවද පටු දේශපාලනික ආගමික හා සමාජීය හැගීම් මත විවිධ ජන කොටස් විවිධාකාරයෙන් කි‍්‍රයා කරනු ලැබුවහොත් නැවත නැවතත් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන් වර්ධනය වනු නොඅනුමානය. යුද්ධය තුළින් ලබන ජයග‍්‍රහණය අර්ථවත් කර ගැනීමට අහිංසාවාදීව කරුණා මෙත් සිතින් ජාති, ආගම්, කුල හා දේශපාලන වාද භේද දුරලා ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් සහෝදරත්වයෙන් එක්සිත්ව වර්තමානයේදී කි‍්‍රයා කළ යුතු වේ. දේශපාලකයන් මෙන්ම විවිධ ආගම් නියෝජනය කරන ආගමික නායකයන්ද විද්වතුන්ද මෙහිලා පෙරමුණ ගත යුතුව පවතී. සිය බලය පමණක් තහවුරු කර ගැනීම උදෙසා සමාජය භේද භින්න කිරීමට කූඨ උපක‍්‍රම යොදමින් කි‍්‍රයා කරන දකුණේ දේශපාලකයන් ගෙන යනු ලබන කි‍්‍රයාදාමයන්ටද පටු ජාති, ආගම්, කුල හා දේශපාලන භේද දුරලා ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් එක් ජාතියක් ලෙස නැගී සිටීමට 61 වන නිදහස් දින සමරන මොහොතේ අප අදිටන් කර ගත යුතුව පවතී.

මෙරටට ලැබුණු නිදහස අර්ථවත් කර ගැනීම සඳහා සියලු ජන කොටස් එක්සිත්ව කටයුතු කළ යුතු අතරම මවුබිමේ සුරක්ෂිත භාවය කෙරෙහි ද පෙරට වඩා හැගීම්බරව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. 61 වන නිදහස සැමරුම සමගින් සර්වප‍්‍රකාරයෙන් සුරක්ෂිත වූ දේශයක් ගොඩනගා ගැනීීමට ශ‍්‍රී දළදා සමිඳුන්ගේ රැකවරණය හා පිහිට ලැබේවායි ප‍්‍රාර්ථනා කරම්හ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා