2009-02-04

රුදුරු ත‍්‍රස්තවාදය අවසන්වීමේ පෙරනිමිති

රුදුරු ත‍්‍රස්තවාදය අවසන්වීමේ පෙරනිමිති

මල්වතු පාර්ශ්වයේ මහනායක
තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහනාහිමි

අසමගිකම්, වාද භේද දුරු කොට අප සැම දෙනාම එක්සත්ව නැගී සිටීමට මේ අවස්ථාවේදී අධිෂ්ඨාන කරගත යුතු බව මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහනාහිමියෝ ජාතික නිදහස් දින පණිවිඩයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර සිටිති.

එහි මෙසේද සඳහන් වෙයි.

සෞභාග්‍යයේ සහ සංස්කෘතියේ අතිවිශිෂ්ට දායාදයන් අප රටට උරුම කළ අනුරාධපුර, පොළොන්නරු යුගයන්ගෙන් ආරම්භ වී දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියමින් නිදහස් ස්වෛරී රටක් ලෙස පැවති ශ‍්‍රී ලංකාව කි‍්‍ර. ව. 1505 සිට වසර 443 ක කාලයක් පෘතුගිසී, ලන්දේසි, ඉංග‍්‍රීසි යන ජාතීන්ට යටත්ව පැවතුණි. එම කාල වකවානුව තුළ මාතෘ භූමියේ නිදහස උදෙසා ජාතියක් වශයෙන් අප විවිධ අරගලයන්හි නියුක්තව සිටියෙමු.

අපගේ මෑත ඉතිහාසයේ සියලුම ජාතික වීරවරයන්, මෙරට නිදහස් කර ගැනීමේ සටනට පණ පෙවූ අභීත නායකයෝය. අවසානයේ ශ‍්‍රී ලාංකිකයන් හැටියට ජාති භේදයෙන් තොරව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලුම දෙනාගේ සාමූහික උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙස 1948 පෙබරවාරි 04 වෙනි දින බි‍්‍රතාන්‍ය පාලනයෙන් මිදී අපට එම උත්තරීතර නිදහස ලැබී හැට එක් වසරක් සම්පූර්ණ වන මේ මොහොතේ අප ඉදිරියේ ජයගත යුතුව ඇති අභියෝග රාශියකි.

අහිංසාවේ අගය, සාමයේ වටිනාකම, ඉවසීමේ ගුණය, මෛති‍්‍රය යනාදි බුදු දහමේ උතුම් ගුණ ධර්ම වලින් පෝෂිත වූ අප අහිංසාවාදි සාමකාමීව නිදහස ලබා ගත් නමුත් රටේත් ජාතියේත් අවාසනාවට නිදහස ලැබී වැඩි කලක් යෑමට පෙර බෙදුම්වාදී ගිනිදැල් මතුවන්ට විය. අද එය වෙනම රාජ්‍යයක් සඳහා කරන යුද්ධයක් බවට වර්ධනය වී තිබේ. රටේ ජීවිත විනාශයත් දේපළ විනාශයත් සංවර්ධනය අඩපණවීමත් එහි ප‍්‍රතිඵල බවට පත්වී ඇත. මේ නිසා සමාජයේ මුල් බැස ගෙන තිබූ අහිංසාව, මෛතී‍්‍රය යනාදී උතුම් ගුණ ධර්ම යටපත් වී හිංසාව, වෛරය, ක්‍රෝධය වර්ධනය වී ඇත. කෙසේ වුවද මේ වන විට බෙදුම්වාදී රුදුරු ත‍්‍රස්තවාදයේ බලපරාක‍්‍රමය අවසන්වීමේ පෙර නිමිති පහළ වෙමින් පවතින බව පෙනේ.

එම නිසා අප අතර වර්ධනය වී ඇති අසමගිකම් වාද භේද දුරු කොට ප්‍රෞඪ ශ‍්‍රී ලාංකීය අභිමානය හා ශ‍්‍රී විභූතිය යළි ඔප්නැංවීමෙහි ලා රටෙහි ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව රැක ගනිමින් එක්සත් රටක් වශයෙන් නැගී සිටීමට කටයුතු කිරීම අද දිනයේ අප සැම දෙනාගේම වගකීමයි. එබැවින් ශ‍්‍රී ලංකාවේ 61 වන නිදහස් දිනය සමරන මේ අවස්ථාවේ එය අරුත් බර සැමදා පවතින නිදහසක් ලෙස ආරක්ෂා කර ගැනීමටත් මේ රටේ ජීවත්වන සෑම ජන කොටසකගේම අයිතිවාසිකම් සුරකින සාධාරණ සමෘද්ධිමත් එක්සත් ශ‍්‍රී ලංකාවක් බිහි කර ගැනීමටත් අප සියලු දෙනාම අධිෂ්ඨාන කර ගනිමු.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා