2009-02-04

දෙවැනි නිදහස් අරගලයේ අපි යෙදී සිටින්නෙමු

දෙවැනි නිදහස් අරගලයේ අපි යෙදී සිටින්නෙමු

ලෝකයේ ත‍්‍රස්තවාදය තුරන්කරගත නොහැකිව සිටින රටවලට ආදර්ශයක් දෙමින් අංක එකේ ගරිල්ලා කණ්ඩායමක් පරාජය කර ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කළ එකම රට මේ පුංචි රට බව ඉතිහාසයට එක් කෙළේ මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයාගේ රජයයි. එවන් වූ විශිෂ්ට ජයග‍්‍රහණයන් රැසක් තුළ නිදහස සැමරෙන අද (4) දිනය ඉතිහාස ගතවන නිදහස් දිනයකි.

මේ රටට සැබෑ නිදහසේ අරුනලු වැටෙන්නේ 2009 පෙබරවාරි 4 වැනිදා ජාති ආගම් භේදවලින් තොරව අප සැමදෙනාටම ඒ සතුට විඳ ගැනීමට හැකි දවසක් උදා වුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටින් ත‍්‍රස්තවාදය තුරන්කර ජනතාවට නිදහස උදාකර දුන් නිසයි.

එසේ පවසන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතායි.

1948 සිට අපි නිදහස සැමරුවා. එහෙත් අපි සැබෑ නිදහස් දිනයක් සැමරුවාද? කියා යටි හිතෙන් සිතා බලන්න ඕනෑ. 1948 නිදහස ලැබුණා කීවත් 1972 වෙනකම්ම අපි එංගලන්ත රැජන මතක් කර කර දිවුරුම් දුන්නා. එදා හිටියේ රාජ නීතිඥවරු, දැන් තමයි ජනාධිපති නීතිඥවරු සිටින්නේ. 1972 න් පසු එල්.ටී.ටී.ඊ.ය රටපුරා ත‍්‍රස්තවාදය වපුරන්න පටන් ගත්තා. 1983 දී එය ක‍්‍රමයෙන් වැඩිවෙන්නට පටන්ගත්තා.


ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය
රඹුක්වැල්ල

රටක ජනතාවට පරමාධිපත්‍ය නිදහස ලබාගන්නා පසුබිමකට මේ රටේ ජනතාව ගිහින් තිබෙනවා. ඒ නිසා සැබෑ නිදහසේ අරුනලු විඳින්නට හැකි වෙන්නේ මෙම නිදහස් දිනයටයි.

හයවන පරාක‍්‍රමබාහු රජතුමාගෙන් පසු මේ දේශය එක්සේසත් වී නිවහල් නිදහස් රටක් වශයෙන් නිදහස සමරන දිනයක් වේ නම් ඒ 2009 පෙබරවාරි 4 වැනිදාය. මේතාක් කාලයක් මේ රටේ කොතනක හෝ කැරැල්ලක් කුමන්ත‍්‍රණයක් පැවතුණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය

1948 නිදහස ලැබීමෙන් පසු රටේ කුමන තැනක හෝ පැවැති ඒ කැරැලි කළකෝලාහල නියාත්, පසුව 1970 දී රටේ තරුණ පිරිස් එකතුවී රජය පෙරලීමට කටයුතු කළහ. එනම් ජ.වි.පෙ. හිටපු නායක රෝහණ විජේවීර ප‍්‍රධාන කොටගත් තරුණ කණ්ඩායම් එවකට පැවැති රජය පෙරලීමට එසේ කුමන්ත‍්‍රණය කළහ. ඉන්පසු ආරම්භ වූයේ ත‍්‍රස්තවාදී කොටි සංවිධානයයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පූර්ණයෙන්ම තම ත‍්‍රස්ත කි‍්‍රයා සිදුකිරීමට පෙර වෙනත් නම් වලින් හැඳින් වූ ත‍්‍රස්තවාදී සංවිධාන කීපයක්ම කි‍්‍රයාකාරී වී තිබුණි. එහෙත් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී සංවිධානය ඒ සියලු සංවිධාන විනාශකොට ඔවුන්ගේ ඒ සංවිධානය පමණක් ස්ථාපිත කර ගත්හ.

මේ ආකාරයෙන් දශක තුනකට ආසන්න කාලයක් ගත විය. එදා මෙදාතුර මේ පුංචි රටේ කෑල්ලක් කඩා ගැනීමට උත්සාහ කරන ත‍්‍රස්තවාදීන් නිසා රටේ ජනතාවගේ නිදහස සම්පූර්ණයෙන් විනාශ වී තිබුණි. රට තුළ ජීවත් වූ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් යන සියලු ජාතීන්ට වසර තිහකට ආසන්න කාලයක් විවිධ වූ හිරිහැර පීඩාවලට මුහුණ දීමට සිදුවිය. මෙයින් වැඩිම පීඩනයකට ලක්වූයේ දෙමළ ජනතාවයි.

එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් දෙමළ ජනතාව ඔහුගේ යකඩ සපත්තුවට හිරකරගෙන පාගාගෙන සිටියේ ය. පුරවැසියකුට හිමි සියලුම මානුෂීය අයිතිය මොහු උදුරා ගත්තේය. ඔහු බලහත්කාරයෙන් දෙමළ ජනතාව ඔහුගේ කොටි සංවිධානයට බඳවා ගත්තේ ය. කුඩා දරුවාගේ සිට මහලු වයසට පැමිණෙන කාන්තාවන් පවා එම සංවිධානයට බලහත්කාරයෙන් සම්බන්ධ කර ගනිමින් තරුණ පිරිස්වලට හිමි ජීවත්වීමේ නිදහස පැහැරගත් මේ ම්ලේච්ඡ නායකයා තරුණ තරුණියන් බලහත්කාරයෙන් සියදිවි හානිකර ගැනීමට පවා පත්කළේය.

කොටි පුල්ලි ඇදුම්

කුඩා දරුවන්ට හිමි පෑන පැන්සල පොත් මිටිය වෙනුවට ගිනි අවිය අත් බෝම්බය ලබා දුන්නේය. ළමා වයසේ ඔහුට හෝ ඇයට හිමි සරම, ගවුන් කෑල්ල වෙනුවට කොටි පුල්ලි ඇදුම් ලබා දුන්නේය. තරුණ පිරිස්වලට ද මුහුණ දීමට සිදුවූයේ එවැනිම තත්ත්වයකි. එපමණක් නොව ඔහු හෝ ඇයගේ ජීවිතය නැතිකර ගැනීමේ අවස්ථාව ලැබෙනතෙක් බලාසිටි අවසානයේ සියදිවි හානිකර ගැනීමට සයනයිඩ් කරලක් ලබා දුන්නේ්ය.

මේ ලොව සෑම පුද්ගලයකුම නිදහසේ ජීවත් වීමට ආසා කරයි. ඔවුන්ට එය උපතින්ම හිමි මානුෂීය අයිතියකි. එය උදුරා ගැනීමට මේ ලොව කිසිම බලවේගයකට හැකියාවක් නැත. එහෙත් ප‍්‍රභාකරන් නම් වූ ඒ ම්ලේච්ඡ නායකයා ඒ සියලු අයතිවාසිකම් දෙමළ ජනතාවගෙන් උදුරා ගත්තේය. ප‍්‍රභාකරන් ඒ අයිතිය උදුරාගත්තේ බලහත්කාරයෙන් ය. ඔහුගේ වචනවලට විරුද්ධව සැලකීමට බියවූ දෙමළ මිනිසුන් ඔවුන්ගේ ජීවිත ප‍්‍රභාකරන්ට ඕනෑ විදියට බිලිගන්නට ඉඩදී අන්ත අසරණව බලා සිටියේ තවත් කිරීමට යමක් නොවූ නිසා ය.

දශක තුනකට ආසන්න කාලයක් යනු දීර්ඝ කාලයකි. දරුවකු මෙලොවට බිහිවී වසර තිහක් වනවිට ඒ දරුවා හැදී වැඩී ඉපදී අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනයද ලබා රැකියාවකට ගොස් ඔහු හෝ ඇය විවාහ ජීවිතයකට එළැඹෙන වයසයි.

විශේෂයෙන් උතුරු නැඟෙනහිර ප‍්‍රදේශවල ජනතාව පසුගිය වසර තිහ තුළ උපත ලැබුවේ වෙඩිහඬ මධ්‍යයේය. ඔවුන් ලෝකය දෙස හරිහැටි බලා තමන්ට යාහැකි තැනට යාමට ඉඩ නොදී ඔවුන්ගේ දෑස් වසා දැම්මේය. පළමුව ඊළම දෙවනුව තම ජීවිතය යන තරමට ඒ අසරණ ජනතාව විශාල පීඩනයකට හසු කළහ. ඔවුන්ගේ ජීවිතයේ ඉදිරි ගමන වසර තිහකින් පමණ ආපස්සට ඇද දැමිණි.

සියල්ල එසේ සිදුවෙමින් තිබියදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ජනතාවගේ ජීවිත ප‍්‍රභාකරන්ගේ යකඩ සපත්තුවෙන් ගලවා ගැනීමට කටයුතු කෙළේය. ඒ සඳහා ප‍්‍රභාකරන්ට අවශ්‍ය නම් සාමයෙන් පැමිණීමට අවස්ථාව ලබා දුණි. සාම සාකච්ඡා සඳහා අවස්ථාව ලබා දුන්නේය. එහෙත් මේ ම්ලේච්ඡ කොටි නායකයාට සාම සාකච්ඡා මගින් දේශපාලන විසඳුමකට යාමට අවශ්‍ය නොවීය. ඔස්ලෝ, ජිනීවා සාකච්ඡා හිතාමතාම කඩාකප්පල් කළේ කොටි සංවිධානය විසින්ම ය.

සේනාධිනායකයා

ඉන් නොනැවතී මාවිල්ආරු සොරොව්ව වසා දමා දහස් සංඛ්‍යාත ජනතාවකට හිමි වතුර ටික පවා අවහිර කර ඔවුන් පීඩනයකට පත් කිරීමට කටයුතු කෙළේය. එපමණක් නොවේ මේ රටේ තැනින් තැන බෝම්බ පිපිරවීම් සිදු කරමින් එතෙක් පැවති සටන් විරාමය දසදහස් සංඛ්‍යාත ප‍්‍රමාණයකටත් වැඩියෙන් කඩා දැමූහ. අවසානයේ මේ රටේ යුද හමුදාපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියෙන් පසු මේ රටේ ති‍්‍රවිධ හමුදාවේ නායකයා, සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තවදුරටත් කොටින් සමඟ සාමය පිළිබඳ කතා කිරීම නිශ්ඵල දෙයක් බව තේරුම් ගත්තේ්ය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නැඟෙනහිර පළාතෙන් ත‍්‍රස්තවාදීන් පළවා හැරීමේ මානුෂීය මෙහෙයුම ආරම්භ කෙරුණි. එහි ප‍්‍රථඵලයක් වශයෙන් සමස්ථ නැඟෙනහිර ප‍්‍රදේශයේ සියලුම ත‍්‍රස්තවාදීන් පළවා හැර එහි ජනතාවට නිදහසේ ජීවත්විය හැකි ප‍්‍රදේශයක් බවට පත්කෙළේය.

මේ වනවිට නැඟෙනහිර පළාත ශීඝ‍්‍ර සංවර්ධනයක් කරා දිව ගොස් ඇත. මංමාවත් සෑදී හමාරය; ගෙවල් දොරවල් සෑදී ඇත. එහි ජනතාවට දේශපාලනමය වශයෙන් ඇති ඡන්ද වරම, දේශපාලන අයිතිය සියල්ල හිමිවී ඇත. එදා ප‍්‍රභාකරන්ට බියෙන් ලාම්පු කුප්පියක්වත් නොමැතිව අඳුරේ සිටි ජනතාවගේ නිවෙස්වලට අද විදුලි එළිය ලැබී ඇත.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකියා ඒ සියල්ල ඉතා ඉහළ මට්ටමකින් සිදුවෙයි. එම ප‍්‍රදේශය තුළ යුද්ධයෙන් කැඩී බිඳී විනාශ වී ගොස් තිබූ සියලුම ගොඩනැඟිලි පවා අලුත්වැඩියා කර ඇත. එදා කොටි සංවිධානයට ගෙවූ කප්පම් මුදල් අද ඔවුන් අතටම ලැබෙයි. හරිහම්බ කරන දේ ඔවුන්ගේ ජීවිතයේ දියුණුවට යෙදවීමට ඉතිරි වෙයි. එදා කොටි සංවිධානයට බැඳී සිටි තරුණයෝ අද දේශපාලනයෙන් ඡන්දයකට ඉදිරිපත් වී, පළාත් සභාවට පවා තේරී පත්වී සිටිති. නැඟෙනහිර පළාතට දශක තුනක පමණ කාලයක් අහිමි වී තිබූ පළාත් සභා ප‍්‍රාදේශීය සභා අද ඔවුන්ට හිමිවී ඇත. ඒවායේ කටයුතු කරන්නේ් ඔවුනොවුන් අතර සිටින සහෝදර ජනතාවයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය මේ වනවිට නැඟෙනහිර පළාතේ යෝධ සංවර්ධන කි‍්‍රයාවලියක් ආරම්භ කර ඇත. පාසල් විශාල ප‍්‍රමාණයක් අලුත්වැඩියා කර එම පළාතේ දරු දැරියන්ට නිදහස් අධ්‍යාපනය ලබා ගැනීමේ වාසනාව හිමිකර දී ඇත. එදා නැඟෙනහිරට පමණක් කොටුවී සිටි ඒ අහිංසක වැසියන්ට අද දකුණේ ජනතාව සමඟ සමීප ලෙස කටයුතු කිරීමට අවස්ථාව සැලසී තිබේ. ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, කිරි ව්‍යාපාරය ඇතුළු නැෙඟනහිර සම්පත් ප‍්‍රයෝජනයට ගනිමින් ස්වයං රැකියා දස දහස් සංඛ්‍යාවක් බිහිවී ඇත.

නැඟෙනහිර ජනතාව කලක් තිස්සේ බලාපොරොත්තුව තිබූ ඒ නිදහස දැන් ඔවුන්ට ලැබී ඇත. ඔවුන් දැන් නිදහසේ ජීවත් වෙති. දරු දැරියන් මවුපියන් සියල්ල එකට එකතු වී එකගෙයි සිට හදාගත් බත් හැළිය බෙදාගෙන නිදහසේ භුක්ති විඳීමට තරම් වාසනාව ලැබී ඇත.

රජයේ මැති ඇමැතිවරු නිරතුරුවම එම ප‍්‍රදේශවලට යමින් ඒ ජනතාවගේ වුවමනා එපාකම් අවශ්‍යතා සොයා බලති. නැඟෙනහිර ජනතාවට අවශ්‍ය සෑම දෙයක්ම ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැති ඇමැතිවරුන්ටද රජයේ වගකිවයුතු සෙසු නිලධාරීන්ටද උපදෙස් දී ඇත.

දැන් උතුරේ මානුෂීය මෙහෙයුමේ අවසාන අදියරට පැමිණ ඇත. ති‍්‍රවිධ හමුදාව මේ වනවිට ජයග‍්‍රහණයන් රැසක් ලබා ගනිමින් කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම දුර්වල කර ඇත. කොටි බළමුළු පරදා ඔවුන්ගේ කඳවුරු සිය ගණනක් අත්පත් කර ගනිමින් කොටින්ගේ සම්පූර්ණ ශක්තියම හීන කර තිබේ.

දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කාරයා ප‍්‍රභාකරන් යැයි ඔහු විසින් පැවසුවද ඔහු ගැලවුම්කරුද නැතහොත් දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයා රජයද යන්න මොනවට පහැදිලි කර දී ඇත.

උතුරේ ජනතාව සිරකරගෙන ඔවුන් දහදිය මහන්සියෙන් හරි හම්බ කරවන දේ පැහැරගෙන මේ කොටි නායකයන් ගෙවූ සැප සම්පත් සිය දෑසින්ම දෙමළ ජනතාවට දැක ගැනීමට ඉඩ සැලසී ඇත.

සුනාමියට හසුවූ උතුරේ ජනතාව වෙනුවෙන් ලැබුණ කෝටි ගණන් මුදලින් එක සතයක්වත් ඔවුන් වෙනුවෙන් යොදා නැති බව අද ලෝකයටම දැනගැනීමට ලැබී ඇත. තව සුළු කාලයක් තුළ ත‍්‍රස්තවාදය මුළුමනින්ම උතුරෙන් තුරන් වී යනු ඇත. ඉන් අනතුරුව රජයට තවත් විශාල වගකීමක් පැවරී ඇත. රජය උත්සාහ කරන්නේ ඒ වගකීම ඉෂ්ට කිරීමටයි. නැඟෙනහිර මෙන්ම උතුරද දශක තුනක කාලයක් මහා පරිහානියකට පත්ව ඇත. උතුරේ ජනතාවගේ ජීවිතද ඔවුන්ගේ අනාගතය ද වසර තිහකින් ආපස්සට වැටී ඇත. ඔවුන් ගොඩගෙන යළි ඔවුන්ට නිදහසේ හුස්ම ගැනීමට හැකි පරිසරයක් ඇති කළ හැකි පරිසරයක් දැන් ගොඩනැගී ඇත.

නැඟෙනහිරට මෙන්ම උතුරටද කෝටි සිය දහස් ගණන් වියදම් කර එහි විශාල සංවර්ධනයක් ඇති කළ යුතුව ඇත. වසර තිහකට ආසන්න කාලයක් යුද්ධය නිසා විනාශ වී ගිය දේපොළ ගෙවල් දොරවල් මං මාවත් යළි අලුත්වැඩියා කර ඒවා අතහැර ගිය ජනතාවට යළි ඒවා ලබා ගැනීමට ඉඩකඩ සලසා දිය යුතුයි. කොටි සංවිධානයට හිරවී සිටි ජනතාවගේ මානසික තත්ත්වය යහපත් අතට පත් කිරීමේ මහා විශාල කර්තව්‍යයක් රජයට පැවරී ඇත.

උතුරේ පිහිටි රජයේ රෝහල්, පාසල්, පූජනීය ස්ථාන ඇතුළු රජයේ දේපොළ සියල්ලක්ම විනාශ කර දමා තිබේ. පොදු දේපොල යාන වාහන ඇතුළු බොහෝ දේපොල ගිනි තබා විනාශ කර දමා ඇත. මේවා තිබූ තත්වයට පත්කරලීම රජයේ බලාපොරොත්තුවයි. මේ වනවිටත් එම ප‍්‍රදේශවල නීතිය හා සාමය අපේක්ෂා කිරීමේ අරමුණ ඇතිව පොලිසි හමුදා කඳවුරු ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

ශීඝ‍්‍ර සංවර්ධනයක්

උතුරේ සිට දකුණට දිවෙන ඒ 9, ඒ 32 ආදී මංමාවත් අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. වසර ගණනාවක් තිස්සේ එක තැනකට ගාල්කර තිබූ යාල්දේවී දුම්රිය තව නොබෝ දිනෙකින් යාපනය කන්කසන්තුරේ බලා දුවනු ඇත. උතුරේ ජනතාවගේ බවභෝග, වගාවන්, එළවුළු, ලූණු, පලතුරු, ආදියද දකුණේ වෙළෙඳ පොළට පැමිණෙන දිනය එතරම් ඈතක නොවේ.

මෙතරම් ශීඝ‍්‍ර සංවර්ධනයක් උතුර ප‍්‍රදේශයේ සිදු කිරීමේ සැලසුම් දැන් කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කර ඇත. නැඟෙනහිර ජනතාවට මෙන්ම උතුරේ ජනතාවටද දශක කිහිපයකින් හිමි නොවූ සර්වජන ඡන්ද බලය දේශපාලනමය අයිතිවාසිකම් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම රජයේ විශාල වගකීමකි. ඒ වගකීම ඉෂ්ඨ කරලනුවස් අවශ්‍ය බොහෝ දේ මේ වනවිට සැලසුම් කර හමාරය.

පසුගිය ඒ දශක තුනක පමණ කාලයක් මුළුල්ලේ මේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැය කිරීමට තිබූ කෝටි ගණන් මුදල් වැය වූයේ යුද්ධය වෙනුවෙනි. එවැනි මුදල් සම්භාරයක් මේ රටේ දියුණුවට යෙදවීමට ඉඩ ලැබුණා නම් අද මේ රට සංවර්ධිත රටකි.

පසුගිය වසර දෙක තුළ සිටම උතුරු නැඟෙනහිර දැවැන්ත මානුෂීය මෙහෙයුම සිදුවෙයි. එහෙත් එම මෙහෙයුම් සිදුවූවා යැයි මේ රටේ සෙසු සංවර්ධන කි‍්‍රයාවලිය අතරමඟ නතර කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ඉඩ තැබුවේ නැත.

යෝධ ජල ව්‍යාපෘති

මහා පරිමාණ සංවර්ධන වැඩසටහන් යෝධ ජල ව්‍යාපෘති, මහා මාර්ග සංවර්ධනය, ගුවන් පාලම් ඉදිකිරීම, මගී ප‍්‍රවාහන සංවර්ධන වැඩ කටයුතු, කෘෂිකර්මය, ගම නැඟුම, මඟ නැඟුම ආදී වශයෙන් වූ දැවැන්ත සංවර්ධන කි‍්‍රයාවලියක් රට තුළ සිදු කෙරෙයි.

යම් රටක මෙවැනි ත‍්‍රස්තවාදී විරෝධී වැඩපිළිවෙළක් සිදුවෙයිද ඒ නිසාම රටේ සෙසු සංවර්ධන කටයුතු බොහෝදුරට අතරමග නවතා දමයි.

එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය එවැන්නකට ඉඩ තැබුවේ නැත. ඉතිහාසයේ කෙදිනකවත් දක්නට නොවූ තරම් මහජනයාට සෙත සලසන අය වැයක් ඉදිරිපත් විය. ඒ මගින් බඩු මිල අඩු කිරීම, සහනාධාර ලබාදීම, උපාධිධාරීන්ට රැකියා අවස්ථා, බැංකු ණය කපා හැරීම, ආදී බොහෝ දේ ලබාදුණි. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය/විදේශීය සම්බන්ධතා ආදී මේ සෑම අංශයකම දියුණුවක් කරා ගෙනයාමට අවශ්‍ය සැලසුම් මේ වනවිට කි‍්‍රයාත්මක වෙයි. මෙවන් වූ දැවැන්ත සංවර්ධන කි‍්‍රයාවලියකින් ලැබෙන ප‍්‍රතිඵල වැඩි ඈතක නැත.

ලෝකයේ ත‍්‍රස්තවාදය තුරන්කරගත නොහැකිව සිටින රටවලට ආදර්ශයක් දෙමින් අංක එකේ ගරිල්ලා කණ්ඩායමක් පරාජය කර ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කළ එකම රට මේ පුංචි රට බව ඉතිහාසයට එක් කෙළේ මහින්ද රාජපක්ෂ ජනධිපතිවරයාගේ රජයයි. එවන් වූ විශිෂ්ට ජයග‍්‍රහණයන් රැසක් තුළ නිදහස සැමරෙන අද (4) දිනය ඉතිහාසගත වන නිදහස් දිනයකි.

රටේ අස්සක් මුල්ලක් නෑර ගෙයක් ගෙයක් පාසා ගමක් පාසා සිංහ කොඩිය ලෙළදෙන මේ නිදහස් දිනය 6 වැනි පරාක‍්‍රමබාහු රජතුමාගේ පාලන කාලයෙන් පසු පැමිණි එකම නිදහස් දිනය ලෙස ඉතිහාසයට එක්වෙයි.