2009-02-04

නිදහසට අරුතක්

නිදහසට අරුතක්

හැට එක් වසක් නිදහස ලැබ ගිය පාරේ
තිබු අඩු ලුහුඬුකම් අද හොඳ හැටි තේරේ
සිහි නුවණින් යුතුව, නොගොසින් අවි චාරේ
නව අරුතකින් පිබිදිය යුතු මෙම වාරේ

උතුර ද නැඟෙණහිර, දකුණ ද එකතු කොට
කිසි වෙනසක් නැතිව ජාතික ධජය යට
රට ගොඩ නගන්නට කැපවුන සියලු විට
විරුවන් අපේ, සමරමු අද මතු ද හෙට

සිහසුන තබන්නට ‘මිනිසත්කම’ යෝද
කළ යුතු මෙහෙය කරමින් තුන් සිත පෑද
තිර අදිටනින් එක්වෙමු, නොමැතිව බේද
‘නිදහස’ එවිට නංවනු ඇත ජය නාද

පල්ලේගම හේමරතන හිමි


ඇරැඹිය යුතුය කුසගිනි දුරලන යුද්දේ

සොයුරන් විලස පෙරදා එකටම විසුව
පිරිසක් සතුරු වෙස්ගෙන මගෙ රට නැසුව
බිහිසුණු යුගය අවසන් වීමෙන් පසුව
නිදහස ඔද වැඩේ නව අරුතක් මුසුව

හෙළ දූ පුතුන් උතුරේ රණබිම මැද්දේ
කළ සටනින්ය ලක් මව නිදහස ලද්දේ
ඈතින් ඇසෙද්දී මුලතිව් දිනු සද්දේ
ඇරැඹිය යුතුය කුසගිනි දුරලන යුද්දේ

රිසිතැන නිසිලෙසින් සතුටින් වයන්නට
දන්නා බසින් තම අදහස් කියන්නට
මව්බිම සිව් කොණේ නිති සැරි සරන්නට
හැකිනම් හැකිය නිදහස් සුව විඳින්නට

ජාතික කොඩිය යට සෙවණක් ලැබෙන්නයි
දෑ කුල භේද සිත් ඇතුළෙන් මැකෙන්නයි
මිනිසත්කමට හිමි මුල්තැන ලැබෙන්නයි
නිදහස නැසූ අදිරද බැමි මිදෙන්නයි

උතුරෙත් බටහිරෙත් දකුණෙත් නැඟෙනහිරෙත්
හැඬවෙනු ඇසෙයි නිදහස් ගී මිහිරි සරෙන්
පෑගෙන තැලෙන හිත හොඳ මිනිසුනගෙ කරෙන්
සිරිකත සමඟ නිදහස මගෙ රටට වරෙන්

අමර පී. වීරසිංහ


සිරි දෙව්දුව නිවසන සොඳුරු දෙරණ

සිළුමිණ වන් – මිණිවැල අගට පැමිණි
සිතුමිණ වන් සිතු දේ දෙවන නොමිණි
ලංකා මගෙ මවුබිම පරම රමණි
සංකා කුමටද වටුනේ ඔබ මැ පමණි

නිල්වන ගැබ - සිකිපිල් කලඹ වියන
වල් විදුනා - දිය ඇලි සෙමෙර සලන
බොල් මුතු පොට සමුදුර පවුරු බඳින
මල් උයනයි මවුබිම සොඳුරු දෙරණ

සිරි දළදා සුදු සඳ රැසේව් කිරණ
සිරි මහ බෝ පිස එන සිහිල පවන
සිරි සමනොළ සිරිපා තඹුරු පිපෙන
සිරි දෙව්දුව නිවසන සොඳුරු දෙරණ

රත්න ශ‍්‍රී විජේසිංහ


නිදහස උදාරයි සමගිය ලබන විට

නිදහස නිදහස නිදහස සොයමින්
ගොළු මුහුදෙන් එන සුළඟ හමා
දස දෙස ඇඹරී පැටලී ගයනුයේ
රණවිරු ජය ගීතයම තමා

රළ පෙළ ඉපිලෙයි ලක්බිම සිප සිප
රට වට කරගෙන මුහුදු කරේ
වෙඩි හඬ වියැකී ජය හඬ රැව් දේ
දින දින උතුරේ නැගෙන හිරේ

අරහත් ධජයෙන් කහ පැහැ අරගෙන
එය මගෙ රට දැය සුරැකි හෙයින්
ධජයේ සිහරද සුරතේ අසිපත
තිබුණත් සන්වර වුනිලු එයින්

රතු පැහැ ආවේ ජාතික ධජයට
රණවිරු දරුවන් පිදුව ලෙයින්
අහසින් ගන්නද එතෙරින් ගන්නද
ඒ පැහැ වෙන ගත යුතුද කොයින්

ලේ ගඟ වියැකී ජය ගඟ ඉතිරී
කොටියා පැටලී දැමුව දැලේ
වියරුව උමතුව ගැහි ගැහි දඟලයි
වෙනදා ගෙරවුම් කොහිද බොලේ

සිහල දමිල හෝ මුස්ලිම් වේවා
සිරිලක් මාතාවගේ දරුවෝ
එක මවකගෙ දරුවන් වන අපි සැම
නාවනෙමු ඔවුනොවුනගෙ මරුවෝ

ඔහුනුත් කොටවා බලයේ බලයට
කෑදර වීමෙන් ගහන ගැටේ
සිය ගෙළටම යළි කැරකී හිරවී
වැනසෙති බිහිසුණු මරුගෙ කටේ

ජනවරමින් දිනු රජයක් පෙරළා
මවුබිම කැඩුමට පෙළඹේ නම්
පන්සල පල්ලිය කෝවිල කුමටද
කුමටද අපි අදහන ආගම්
නිදහස් නිවහල් සිතිවිලි ධාරා

එකිනෙක රැළි පිට රැළි හංගා
ගල ගල යේවා යුග යුග අභිබවමින්
සිව්මහ හෙළයේ මහ ගංගා
සැරෙද් - වොරැදේ ජය වේ දින දින

ජය ජය ජය වේ සිරි ලංකා
තනි ධජ සෙවණේ යමු යමු පෙරටම
ජය බිම හමුවේ නැත සංකා