2009-02-04

ජය ශ‍්‍රී සේනාධිනායකයාණෙනි

ජය ශ‍්‍රී සේනාධිනායකයාණෙනි
 

මුළු සිරිලකෙම දැන් ජාතික කොඩිය දිලේ
ජනපතිතුමනි ඉන් දිස්වෙයි ඔබගෙ බලේ
අපි සැම දෙන සිටියෙ මෙතුවක් අලින් තලේ
ඔබෙ විස්කම් බලා ගන්නෙමු බුලත් කොලේ

ඔබ නායකයෙක්ය - නායකකම් දන්න
ඔබ පාලකයෙක්ය – යහපාලනෙ දන්න
ඔබ ගැමියෙක්ය – ගැමිකම හොඳ හැටි දන්න
ඔබ විස්කම් දෙවිය - විස්කම් වැඩ දන්න

ඉටුකරමින් සැම විට ජනතා පැතුම
ජනපතිතුමනි ඔබ සුරකියි ජන වරම
අලුත් ලංකාව නිසි ලෙස ගොඩ නැඟªම
වෙනුවෙන් දරන වෙහෙසට මේ තුති කුසුම

පෙර දිග - අපර දිග සහ උතුරත් දකුණ
එක්සත් කරන ඔබ දුටු ගැමුණුය දන්න
නිසි තැන නිසි කලට නිසි තීරණ ගන්න
ඔබ රජ කාලේ සක්දෙවිඳුයි අප දන්න

එල්ටීටීය ඉතිහාසෙන් මක මින්න
ත‍්‍රස්තවාදයේ ඔළු ගෙඩියට දුන්න
ජාතික හැඟුම අප හට කියලා දුන්න
ජනපතිතුමා සැම දෙවියන් රැක දෙන්න

සියලුම ජාති වාදින් ටික එක් කරන
ෂඩ් වර්ණයම එක පාටක් ලෙස දකින
ඔක්කොම ශ‍්‍රී ලාංකිකයන් ටික රකින
ඔබ පියතුමයි හැම ලක් දරුවට ඉන්න

යුද ගිනි නිවා සාමයෙ මල් පිබිදේවා!
කඩුවල කිනිසිවල අග මල් පිබිදේවා!
දුප්පත් අප වෙතට ඔබෙ නෙත් යොමු වේවා!
ජනපතිතුමනි ඔබට ජය! ජය! ජය! වේවා!

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා