2009-02-04

නිදහස උදෙසා ලියැවුණු ගීත

නිදහස උදෙසා ලියැවුණු ගීත

සන්නිවේදනයේ න්‍යාය අතර පෙළඹවීම් න්‍යාය ප‍්‍රබලය. සන්නිවේදනාත්මක ප‍්‍රකාශනයක් මගින් ජනතාව විවිධ ඉසව් කරා පොළඹවනු ලබයි. එහිදී ගේය පද රචනාවක් සතු ප‍්‍රබලතාව අනෙක් රචනාවකට වඩා ගැඹුරුය. ඊට හේතු වන්නේ

1 - ගේය පද රචනාවක් වඩා හෘදයේ ග‍්‍රාහී වීම
2 – ජන මතය පහසුවෙන් ස්පර්ශ කිරීම
3 - සංක්ෂිප්තභාවය
4 – ජනප‍්‍රිය සංස්කෘතික අංගයක් වීම යන කරුණුය

කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා

අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය

ඉඳුරාගාරේ

ධම්මරතන හිමි

නිදහස පිළිබඳ ලියැවුණු ග‍්‍රන්ථ හා ශාස්තී‍්‍රයලේඛන පරිශීලනය කරන්නේ හුදෙක් සාමාන්‍යයෝ නොවෙති. බොහෝ විට නිදහස පිළිබඳ අධ්‍යයනය කරන පිරිස සහ සරල පාඨකයෝත් ඒ අතර වෙති. ගේය පද රචනාවකට අයත් කවි හා ගීත (නිසදැස් ද ඇතුළත්ව) කියවන්නන්ට වඩා අහඹු ශ‍්‍රවණයක් දක්නට ලැබීම ස්වභාවයයි.

වෙසෙසින්ම යෞවන ජවය පොළඹවා ලීම උදෙසාවන දිසානතියක් හඳුනාගත් නිර්මාණකරුවෝ ඒ සඳහා සාර්ථක කෙටි මාවතක් ලෙස ගේය පද රචනා උපයෝගී කර ගැනිනි.

සාමාන්‍ය ගීත රචනාව පිළිබඳ පසුව කතා කොට මීට ප‍්‍රවේශ වන්නේ නම් ආසන්නම සාර්ථක උදාහරණ වන්නේ වෙළෙඳ දැන්වීම් ය. විශේෂයෙන්ම ආරක්ෂක සේවයට අදාල වෙළෙඳ දැන්වීම් උදෙසා ඉහත කී නිර්නායක හතර අනුව රචිත ප‍්‍රබන්ධ යොදා ගනු දක්නට හැකිය.

... අහස පොළව සිඹින යන ප‍්‍රචාරක දැන්වීම ගීතයකට අදාළ සිද්්ධාන්තයන් ගෙන් පිරිපුන් දැන්වීමකි. මෙය වඩා හෘදයග‍්‍රාහීව ජනමනස කිදා බැස ගත් අතර එය වෙළෙඳ දැන්වීමකටත් වඩා ගීතයක් හෘදයග‍්‍රාහීව ආහ්ලාදජනක ප‍්‍රකාශයක් ලෙස ජනප‍්‍රිය වූ බව පසුගිය කාලයේ අපි අත් දිටිමු.

සමගාමී වූ රූප රචනා

මේ වෙළෙඳ දැන්වීම මගින් ශ‍්‍රී ලංකාව පුරා විසිරී සිටි බහුතර යෞවන පිරිසක් ආරක්ෂක හමුදාවන් කරා යොමු කිරීම නම් වූ පෙළඹවීම සඳහා මහත් උත්තේජනයක් සැපයූ බව කිව යුතුය. රූපවාහිනී මාධ්‍යයන්ගේ ගීතයට සමාගාමී වූ රූප රචනා එකී උත්තේජනය දෙගුණ තෙගුණ කරන්නට සමත්ව තිබිණි.

මෑත ඉතිහාසයේ නොවූ තරම් උත්තේජනයකින් සන්නද්ධ වූ යෞවනය රොද බැදගෙන ආරක්ෂක හමුදා කරා පොළඹවා ලීම මේ ගීතයේ නිර්මාපකයන්ගේ අරමුණ වී නම් එය සියයට වැඩි ප‍්‍රමාණයකින් සාර්ථක වූ බව පෙනිණි.

මේ අනුව පෙළඹවීම් න්‍යාය වඩාත් සාර්ථකව කර ගත හැකි නිර්මාණ විශේෂය ගේය පද රචනා (මඥපඵඥ) මිස ගද්‍ය රචනා (ර්‍ථපධඵඥ) නොවේ. ශ‍්‍රී ලාංකීය අත් දැකීම් ඉක්මවා යමින් ලෝකය දෙස බැලුවද තත්ත්වය මෙසේමය. ප‍්‍රංශය, වියට්නාමය, ඉන්දියාව, ආදි පෙරදිග වූත් අපරදිග වූත් රටවල ජනතාව විප්ලවයට හෝ වෙනත් සිවිල් අරගලයට පොළඹවාලීමට ගීතය හා කවිය භාවිත කොට තිබිණි. ජනඝාතක හිට්ලර් පවා යුදෙව් ජන ඝාතනයට ජර්මානුවන් ඒකරාශී කිරීමට කවිය අවියක් ලෙස යොදා ගෙන තිබිණි.

බටහිරයන්ගේ පර පීඩනයට හසුව සිරිලක් මාතාව වැලපෙනා සමයේ ඉන් මුදවා ගැනීම සඳහා නිදහස පිළිබඳ වූ ගේය පද රචනා නිර්මාණය වී තිබීම මෙහිදී ආරම්භයේදීම සලකා බැලිය යුත්තකි.

නිදහසේ ගීතය, නිදහසේ දැහැන, නිදහසේ මන්ත‍්‍රය ලියු ටිබෙට් රට උපන් සීකීන් ජාතික මහින්ද හාමුදුරුවන්ගේ දායකත්වය අතිශය ප‍්‍රබල පෙළඹවීමක් තිබෙන බව එවක විසුවන්ගේ ප‍්‍රකාශ වලින් පැහැදිලි වේ.

කෙස් ගහ පවා වෙන රට වල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ
ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ

වැනි උද්වේගකර ප‍්‍රකාශ නිදහස් ප‍්‍රබෝධය උදෙසා ජනතාවට වඩාත් සමීප වූ මාධ්‍යයෝය. සන්නද්ධ අරගල මගින් කැරැලි ගැසීම් මගින් කි‍්‍රයාත්මක වන්නා වූ ප‍්‍රබුද්ධ අරගලය පණ ගැන්වී ප‍්‍රකාශයට පත් වන්නේ නිදහස් මනස විකසිත වීමත් සමගය.

ඒ සඳහා සංයමයෙන් පන්හිඳ මෙහෙයවා එක් පුංචි කුටියක් තුළ කළ හැකි කාර්යය භාරය අති විශිෂ්ටය. ලෙනින් ගේ ප‍්‍රායෝගික කරණය කාල් මාක්ස් ගේ දාස් කපිතාල් කෘතිය න්‍යායාත්මක උත්තේජනය සැපැයූවා සේ යටත් විජිත යුගයේ බටහිරයන්ට එරෙහි ජාතික අරගල මෙහෙය වන උන්ට උත්තේජන සැපැයූ මහින්ද හාමුදුරුවන් ඇතුළු දේශපෙ‍්‍ර්මීහුය.

අවි අත දරා රණ බිම නොගැවසුනද ඒ සඳහා වන පෙළඹවීම කළ මේ ගේය පද රචනා සර්වකාලීන සර්ව භෞමික හා සාර්වති‍්‍රක වටිනාකමකින් යුක්ත වන්නේ එහෙයිනි. එවක දේශපෙ‍්‍ර්මය පිළිබඳ දේශනා පැවැත්වූ දේශකයන් බොහෝ සිටින්නට ඇත. දේශ පෙ‍්‍ර්මය පිළිබඳ හා යටත් විජිත පාලකයන්ට එරෙහිව ලිපි රචනයේ යෙදුණෝ ද සිටියහ. එහෙත් වඩාත් ඵලදායක ලෙස ජනමනස කළඹනා නිර්මාණකරුවන් ව සිටියේ මේ ගේය පද රචනයෙහි නියුක්තිකයන්ය. නිදහස් ගීය හා අඩුම තරමේ නිදහස යන මැය අළලා කෙරෙන සාකච්ඡාවකදී පළමුව මහින්ද හිමියන්ගේ ගේය රචනා සලකා බැලෙන්නේ එහෙයිනි.

විමුක්ති ගී

ශ‍්‍රී ලංකාවේ ඉතිහාස ගත වන සේ ඇති වූ සිවිල් අරගල අතර විශේෂයෙන්ම දේශපාලන සිවිල් අරගල අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද සිවිල් අරගල දෙක ප‍්‍රධානය. 1971 අරගලයේදී විමුක්ති ගී ප‍්‍රසංගය හඳුන්වාදීම ඉහත කී පෙළඹවීම් න්‍යාය මූලධර්මයක් ලෙස පිළිගනිමින් ගත් කි‍්‍රයාමාර්ගයකි. අසූව දශකයේදී නැවතත් කරළියට පිවිසි සිවිල් අරගලයද විමුක්ති ගීත වලින් සැරසීමටද ඉන් උත්තේජනයක් ලැබීමටද ඔවුහු අමතක නොකළහ. ඊට සමගාමීව විශාරද නන්දා මාලිනියගේ ‘සත්‍යයේ ගීතය’ හා ‘පවන’ සංගීත ප‍්‍රසංගද ගුණදාස කපුගේ මහතාගේ ‘කම්පන’ ගී ප‍්‍රසංගයද කේමදාස සූරීන්ගේ ‘බඩඥ ඬඪතතඥප’ ගීත සමුච්චය මේ සිවිල් අරගලය දෙස සාධනීය ඇසකින් බලා සැපයූ උත්තේජනයන්ය.

‘සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන’

වැනි ප‍්‍රකාශ ලයාන්විත හඩින් ගැයෙද්දී යොවුන් ජවය සාධාරණයේ අයිතිය ඉල්ලා සටන් වදින රණකාමීන්ගේ රැකවලුන් බවට පත්වීම අරුමයක් නොවේ.

‘උරය පලා සැතකින් බලන් රුහිරු
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු’

යනුවෙන් නන්දා මාලනී ගායිකාව ගැයුවේ ඉහත කී ගුණදාස කපුගේ ශූරීන්ට හා නියෝජනය කළ සමස්ත පරපුරට සහයෝගයටය. සමාජ අසාධාරණයට එරෙහි වීමේ කාලීන යුතුකම වගකීමක් ලෙස දෝත දරා ඉටු කිරීමේ සද්භාවය මේ නිර්මාණකරුවෝ එලෙස පෙළ ගැහුනහ. දේශමාමකභාවය හැරුණු කොට මොවුනට වර්ණ දේශපාලනයක් තිබූ බවක් පෙනුණේ නැත. සිය පරපුරේ සොහොයුරන් කුදලා ගෙන යන දුටු ඔවුහු අතිශය කම්පනයට පත්වූහ. එසේ මිස එක දේශපාලන පක්ෂයක් පරදා තවත් දේශපාලන පක්ෂයක් බලයට පත් කිරීම සහ ඔවුන්ගේ වරප‍්‍රසාද ඉල්ලා ගැනීමේ කුහක අපේක්ෂාවක් මේ සද් පුරුෂ නිර්මාණකරුවන් තුළ තිබුණේ නැත.

‘යදමින් බැඳ විලංගු ලා
මගේ පුතා රැගෙන යන්න
ඉඳි කටු ඇන ඇඟිලි තලා
දෙතිස් වදය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම
දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය

නීතිය සහ විනිසුරුවන්’ ලෙසට ගැයුවේ නන්දා මාලිනි ගායිකාව නොවේ. සුනිල් ආරියරත්න මහාචාර්යවරයාද නොවේ. නන්දා මාලිනී නම් මව හා සුනිල් ආරියරත්න නම් පියාය. එසේ ජාතියේ දරුවන් කුදලා ගෙන යාමෙන් ඔවුහු සංවේගයට පත්වූහ. මේ දාරක පෙ‍්‍ර්මය සකල විද ජාතීන් දරුවන් උදෙසා කම්පනයට පත් වැඩිහිටි පරපුර නියෝජනය කරන කාරුණික ආයාචනය විය. එවක කිසිදු සංගීත සංදර්ශනයකට මෙතරම් ජනසන්නිපාතයක් එක්වූයේ නැත. ‘සත්‍යයේ ගීතය’ ‘පවන’ ‘කම්පන’ සොයා ගිය ශ‍්‍රාවකයෝ මහත් උත්තේජනයකින් අරගලයේ පාර්ශවකරුවෝ වූහ.

අවි අත දරා යුද වැදෙන්නටත් බොහෝ විට එහි ආරක්ෂකයන් වන්නටත් ඔවුහු සිය කැමැත්තෙන් ඉදිරිපත් වූහ. පසු කලෙක සෝමරත්න දිසානායකයන්ගේ ‘සූරිය කන්ද’ ගීත සමුච්ඡය උණු කැවුම් මෙන් අලෙවි වී ගියෙත් මීටම අරුතක් එක් කරමිනි. මේ සියල්ල උත්තේජනයට අදාල ගේය පද රචනාකරුවන්ගේ නිදර්ශන යන්ය. මෑත කාලීනව ප‍්‍රායෝගික සාධක දර්ශකයන්ය.

නූතන ශ‍්‍රී ලංකාවේ පුනරින්, අලිමංකඩ, කිලිනොච්චි, මුලතිව් නගර එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදා ගෙන ජය කෙහෙලි නංවන විට රට වැසියන් මහ මගට වී උද්‍යෝගයෙන් ඔල්වරසන් නැගුයේත් මේ උත්තේජනයන්ගෙන් තෘප්තිමත්වය. රට පුරා රණවිරුවන් අගයන හා උපහාර පිදුම් උත්සව මාලා සංවිධානය වන්නේ නිදහස නම් වූ මාතෘකාව නැවතත් කරළියට ගෙන එමිනි.

භාවමය හඩින්

බාල, තරුණ, මහලු බහුතර ශ‍්‍රී ලාංකිකයන්ගේ නූතන නිදහස් ගීත අතර කට පාඩමින් කිව හැකි අතිශය ජනප‍්‍රිය ගීත ගොන්නකි. සුනිල් එදිරිසිංහ ගායකයාගේ භාවමය හඩින් ගැයෙන

‘රන්මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඬක් ගිලිහී නොයන්නට
රන් වැටක් ඇත සිව්කොනෝ
නෙත් පුරා එක හීනයේ
මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එළි
රෑ පුරා දැල්වී තියේ’

යන ගීතය නිදහස් ජයග‍්‍රහණ ආරම්භ කරන්නට ආරක්ෂක හමුදාවන් වටා එක් රොක්වූ අද රණ බිමේ සිටින දරුවන්ට උත්තේජනය සැපැයූ ගේය පද රචනාවක් විය. රත්න ශ‍්‍රී විජේසිංහයන්ගේ ගේය පද රචනාවක් වූ

රට රකින ජීවිත රකින
අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර වීරිය ලැබගෙන
මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් දිදුල දිරියෙන්
දිනේවා මුර දේවතා
ආයු රක්ඛන්තු ආවඩා’

යන ගීතය මෑත ඉතිහාසයේ නව පදවැලක් එකතු කළ රණ බිමේ ආසිරි ගීයක් විය. මෙහි එන පද රචනා සාමාන්‍ය ජනතාවගෙන් ශාන්ති කර්මවල එන භාවිතයෙනුත් ආරක්ෂක සම්මත පිරිත් දේශනා වලිනුත් එකතු කරගත් ආසිරි මන්ත‍්‍රයක් වැනිය.

උත්තේජනයක්

‘ආවඩා’ ‘ආයුබෝ’ යනුවෙන් ආයුෂ වර්ධනය වීමට කරන දීර්ඝායුෂ ප‍්‍රාර්ථනාව කෙරෙන්නේ ශාන්ති කර්ම වලදීය. එය හෙළ වදනකි. ආයු රක්ඛන්තු යන්න පාලි භාෂාවේ ප‍්‍රකාශනයකි. ඒ අනුව ‘ආයු රක්ඛන්තු ආවඩා’ යන්න මට සිලිටු මනරම් ප‍්‍රකාශයකි. එහෙයින්ම මේ ගේය පද රචනාව උත්තේජනයක් ආශිර්වාදයක් සපයන නිර්මාණයකි.

ප‍්‍රසංග වේදිකාවේ ජනප‍්‍රිය යෞවනය පුබුදුකරවා ගැයෙන

‘අහසේ පොළවේ සාගරෙ දස්කම් පෑ
හමුදා සෙබලුන් දේශයෙ සම්පත වේ
එඩි ප‍්‍රතාපවත් බව පාලා
අභිමානයේ අගය මවාලා
සාමය ආරක්ෂා කළ විරුවන් නේ’

වැනි ගීයකින් තීව‍්‍ර උත්තේජනයක් නොලැබුනද ආසිරි ගීයක් ලෙස සලකා අගය කළ හැකිය.

මේ අනුව එදත් අදත් දේශයේ නිදහස උදෙසා කවි, ගී, ආදී ගේය පද රචනා දැක්වූ දායකත්වය නිදහස් දේශයක පූජනීය කැප කිරීමක් ලෙස අගය කිරීමට පසුබට නොවිය යුතුය.