2009-02-04

උදාවන නිදහස් සැමරුම නව යුගයක ආරම්භයක්

උදාවන නිදහස් සැමරුම නව යුගයක ආරම්භයක්

අද අපි සමරන්නේ 61 වෙනි නිදහස් දිනයයි. නිදහසින් පසුව ගෙවුණු දශක හයක කාලය සහ අද දවසේ නිදහස සැමරීමේ වැදගත්කම ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

ඇල්ලේ ගුණවංශ හිමි

1948 නිදහස ලබන කොට ඒ නිදහස අර්ථවත් නිදහසක් බවට පත්කරගන්න අපි උත්සාහ කරලා තිබුණේ නැහැ. එහෙත් අපේ රට හා සමකාලීනව නිදහස ලබපු ඉන්දියාවට නිදහසක් සමඟම රටේ ජනතාව තුළ චින්තන විප්ලවයක් ඇති කළා. එහෙත් අදත් අපට ඉන්දියාව එදා ගොඩ නඟපු දේශීය චින්තනය ගොඩ නගාගන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා අද අපි මේ ගතකරමින් ඉන්නේ දෙවෙනි නිදහස් සටන කි‍්‍රයාත්මක වන යුගයක යි.

ඒවාගේම මෙතෙන්දි කියන්න ඕනේ බටහිර අධිරාජ්‍යවාදී බලවේග මුලදී අපේ රටට බලපෑම් කෙළේ අවි ආයුධ වලින්. එහෙත් අද වෙන විට ඔවුන් අපේ රට, දේශපාලනික සංස්කෘතික හා ආර්ථික වශයෙන් ආක‍්‍රමනය කරලා තියෙනවා. ඒ සියලු අභියෝගවලින් නිදහස්වීම සඳහා නිදහස් අරගලයක නිරත විය යුතු කාලයකයි අපි ඉන්නේ.

විවෘත ආර්ථික බලපෑම් යටතේ විවිධ බලවේගයන් රටවල් තුළට බලපෑම් කරනවා. මෙවැනි තත්ත්වයක් යටතේ අපවැනි රටක ඔබ වහන්සේ කියන ඔය තත්ත්වය ඇති කර ගත හැකිද?

ආර්ථික නිදහස අපට ඉතාමත් වැදගත්. ඔබ කියන ආකාරයට අද මුළු ජාතියෙම පෙළ ගස්වලා තියෙන්නේ බහු ජාතික වෙළෙඳ සමාගම් ඉදිරිපිටයි . අලවර්ග 52 ක් තිබෙන අපේ රටේ අපි තවමත් කන්නේ අර්තාපල් විතරයි. මේ වගේ අපේ අනික් අංශවලටත් බලපෑම් එල්ල වෙලා තියෙනවා දේශපාලනික වශයෙන් ගත්තොත් අන්තර් ජාතික ආක‍්‍රමණ ප‍්‍රබල ලෙස එල්ල වෙලා තියෙනවා.

ඒ නිසා ආර්ථික සහ වෙනත් අංශවලින් විවිධ බලපෑම් තියෙන්න පුළුවන්. එහෙත් රටේ ජාති මාමක, දේශමාමක බලවේග ඒකරාශී වෙලා චින්තන විප්ලවයක් ඇතිකරවන්න කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ අද අපි අත්විඳින නිදහසවත් රැකගන්න පුළුවන් වෙන්නේ නැහැ.

මම විවෘත ආර්ථිකය ගැන ප‍්‍රකාශ කළා. මේ එකක්වත් ජනතාව ඉල්ලලා ගත්ත ඒවා නොවේ. මේ රටේ විවිධ බලවේග තුලින් ඒ ඒ වකවානු තුළ රටට ලබාදුන්න ඒවායි. ඒ නිසා මම විශ්වාස කරනවා. දැන් තමයි අපේ ඇලේ දොලේ ගමේ සුවඳ අදුනන නායකත්වයක් රටට ලැබිලා තියෙන්නේ. ඒ නායකත්වයට පුළුවන් වේවි අපිට අවශ්‍ය තැනට ගෙන යන්න.

මේ අවස්ථාව අපිට ආයෙත් ලැබෙන සෑහෙන කාලයක් ගත කරන්න වේවි. ඒ නිසා නිසි නායකත්වය තියෙන මොහොතේ මුළු මහත් ජාතියම එකතුවෙලා මේ අරගලය වෙනුවෙන් කැප විය යුතුයි. ආදරණීය මාතෘභූමිය නිදහස් කරගැනීමේ සටනේ රණවිරුවෝ යෙදිලා ඉන්නවා ඒවාගේම ඊට සමගාමීව දේශපාලනික සංස්කෘතික සහ ආර්ථික නිදහස ලබාගැනීමට අපි ඇප කැප වෙන්න ඕනේ.

මෙතෙන්දි අපිට සංවර්ධනය නවීකරණය වගේ දේවල් අමතක කරන්න බැහැ නේද?

මෙතැනදී අපි ජාතික මතවාදයේ ඉදගෙන කතාකරනවානම් රට නවිකරණය විය යුතුයි. නමුත් බටහිර කරණය නොවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. බටහිර කරණය වීම නිසා තමයි අක්මුල් නැති ජාතියක් බිහිවෙන්නේ. විශේෂයෙන්ම ඇතැම් ජනමාධ්‍ය රටේ තරුණ පරපුර නොමඟ යැව්වා. අද වුණත් මේ රටේ ජනමාධ්‍ය දිහා බලපුවාම පෙනෙන දෙයක් තමයි ගායකයෝ බිහි කරන්න දරන උත්සාහය.

මේක හරියට අපේ රටට තියෙන එකම අවශ්‍යතාව වගේ මෙවැනි පහත් මට්ටමකට ජනමාධ්‍ය පත්වීම කණගාටුවට කරුණක්. ඒ වගේම ඇතැම් ජනමාධ්‍ය උදේ සිට රාති‍්‍රය දක්වාම උත්සාහ කරන්නේ අක්මුල් නැති ජාතියක් බිහිකරන්නයි.

ඔවුන්ගේ න්‍යාය පත‍්‍රය සැකැසිලා තියෙන්නේ බටහිරට ගැතිවෙලා මොකද අක්මුල් නැති ජාතියක් බිහි කළොත් තමයි බටහිරට අපේ රටවල් නැවතත් යටත් විජිතයක් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි නිවැරැදි අවබෝධයෙන් නවීකරණය වැනිදේ ලබාගත යුතුයි.

උතුරේ මෙහෙයුම් වලින් පසුව අපි කෙබඳු වැඩපිළිවෙළකටද යා යුත්තේ?

මේ පවතින විදිහට නොබෝ දිනකින්ම උතුරේ ත‍්‍රස්තවාදය සහමුලින්ම විනාශ වෙනවා. ඊළඟට අපිට තවත් යුද්ධ 4 ක් 5 ක් කරන්න තියෙනවා. එකක් තමයි අපේ හමුදාවල සිටින සොල්දාදුවන්ට, යුද්ධය නිසා ආබාධිත වූ රණවිරුවන්ට සහ රටේ වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ආදී සෑම ජන කොට්ඨාසයකටම කිසියම් ප‍්‍රායෝගික පදනමක් ඇති වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ.

එහෙම නැත්නම් අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. රණවිරුවන් ජීවිත පූජාකරන සටනකදී මේ මානුෂික මෙහෙයුම් අවසාන වෙනකොට මම ආබාධවුණේ මේ යුද්ධය නිසා කියලා කඳුළක් රණවිරුවන්ගේ ඇසට නොහැඟෙන මට්ටමේ වැඩපිළිවෙළකට අපි යා යුතුයි.

රටේ උතුරේ සහ දකුණේ ජනතාව අතර තිබෙන විරසක භාවය තුරන් කිරීම මෙහිදී වැදගත් ?

ඔය විරසක බව ඇති කළෙත් මේ රටේ දේශපාලනයයි. විශේෂයෙන්ම මේ වන කොට බහුතරයක් බෞද්ධයන්ට හින්දු භක්තිකයන්ට එකතුවෙන්න තියෙන හැකියාව ඉතාමත් වැඩියි.

මොකද හින්දු භක්තිකයන් බුදුහාමුදුරුවන්ට ගරු කරනවා. බෞද්ධයෝ දෙවියන්ට ගරු කරනවා. එනිසා තියෙන බෞද්ධ - හින්දු සංස්කෘතික සම්බන්ධතා මත බෞද්ධ සහ හින්දු ජනතාව අතර මිත‍්‍රත්වය, සහෝදරත්වය එකමුතුබව ඇතිකරන්න පුළුවන්.

මෙතෙනදි මේවා සියල්ල රජයටම පටවලා අපිට පැත්තකට වෙලා ඉන්න බැහැ. රටට ආගමට, ජාතියට ආදරය කරන, මතුපරපුරට ආදරය කරන පිරිසක් වශයෙන් මේ මිත‍්‍රත්ව පාලම අපිට ගොඩනගන්න පුළුවන්.