2009-02-04

නව සංවර්ධන යුගයක්

නව සංවර්ධන යුගයක්

48’ ලැබූ නිදහසින් පසු දශක 6 ක් ගෙවී යද්දී අලුත් ලංකාවක් ගැන සිතන්නට, අලුත් රටක් කරා පියනඟන්නට ලැබී ඇති මේ අවස්ථාව ස්වර්ණමය එකකි. ත‍්‍රස්තවාදයේ අවසානය සලකුණු වෙමින් ඇති අතර බටහිර ආර්ථිකයට ඇති බැඳීම් බිඳ දැමීම සඳහා ද සුදුසුම අවස්ථාව එළැඹී තිබේ.

ත‍්‍රස්තවාදය තුරන් කරමින් මෙදා නිදහසත් සමඟ ඇරැඹෙන ගමන නව ලංකාවක් සඳහා වන ගමනකි. 1948 පටන්ම මේ රට තම ආර්ථිකය - දේශපාලනය - සංස්කෘතිය ආදී සෑම ක්ෂේත‍්‍රයක් මත බලපැවැත්වූ විජාතික ග‍්‍රහණයෙන් මිදෙන්නට වරින් වර යත්න දැරුවද එය සාර්ථක වූයේ නැත. උතුරේ මෙන් ම දකුණේ ද ත‍්‍රස්තවාදය වර්ධනය වූයේ එම විජාතික ආර්ථික - සමාජ - දේශපාලනික හා සංස්කෘතික ආධිපත්‍යයේ අවසන් ප‍්‍රතිඵලය ලෙස ය. එබැවින් උතුරේ ත‍්‍රස්තවාදය තුරන් කිරීමත් සමඟ නව රටක් බිහිකැර ගැනීමේ අවස්ථාව අපට හිමිවේ. ජාතික ආර්ථිකයට සහ ජාතික අනන්‍යතාවට මුල් තැන දෙමින් අපට අවශ්‍ය දේශපාලනයක්, නව ව්‍යවස්ථාවක් උපදවා ගැනීම ඔස්සේ රට නව මඟකට ගැනීමට ඒ සමඟ අවකාශය සැලසෙයි.

මේ රටේ මතු වූ ත‍්‍රස්තවාදය විසින් අවසන් වශයෙන් පෙන්නුම් කරනු ලැබුවේ නිදහසින් පසු ගෙවී ගිය කාල වකවානුව තුළ ගත් වැරැදි කි‍්‍රයාමාර්ග හා තීන්දුවල ප‍්‍රතිඵලයයි. ගතවූ වසර 50 ක පමණ කාලය මුළුල්ලේ ම අපේ ආර්ථිකය බටහිරට ගැට ගැසී තිබිණි. බටහිර උදවු නැතිව අපේ ආර්ථිකය මෙහෙයවිය නොහැකිය යන්න පිළිගැනීම විය.


වෛද්‍ය ගුණදාස
අමරසේකර

48’ ලැබූ නිදහසින් දශක 06 ක් ගතවන විට රට ජාතික ආර්ථිකයක් පිළිබඳ කල්පනා කරන්නටත් ඒ සඳහා කි‍්‍රයා කරන්නටත් පටන් ගෙන තිබිණි. ඒ සමඟ දැන් බටහිර ආර්ථිකයෙන් මිදීමට හොඳ අවස්ථාවක් ද උදා වී තිබේ. බටහිර ආර්ථිකය බිඳ වැටී ඇති අතර එය විශාල වශයෙන් අර්බුදයට ගොසිනි. තමන් ඇද වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අමෙරිකාව සහ බටහිර රටවල් දඟලමින් සිටියදී අප කළ යුත්තේ ජාතික ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැඟීමයි. එහිදී ජාතික ආර්ථිකයේ මූලික පදනම විය යුත්තේ ගැමි ආර්ථිකයයි. දැනට පවතින ආර්ථික රටාව නගර කේන්ද්‍රීය එකකි. නගරය ගැට ගැසී ඇත්තේ බටහිරත් සමඟයි. එබැවින් ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමට නම් එය ගම මුල්කර ගත් එකක් විය යුතුය.

මෙහිදී සඳහන් කළ යුතු තවත් කාරණයක් වන්නේ අපට ගැළපෙන දේශපාලන ව්‍යුහයක් ද අප සාදා ගත යුතු බවයි. වර්තමානයේ ද කි‍්‍රයාත්මක වෙස්ට්මිනිස්ටර් ක‍්‍රමය අපට ගැලපෙන්නේ නැත. කරන සෑම දේම ඒ තුළ සිට කරන්නට සිදුවීම නිසා වෙනස්කම් පවා සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීම සඳහා මෙහෙයවීමට නොහැකි වී තිබේ. බලය බෙදීම පිළිබඳ ජනපි‍්‍රය අදහස කෙසේ වුවද ව්‍යවස්ථාමය වෙනස්කම් හරහා අනිවාර්යයෙන් ම ජනතාවට බලය ලැබෙන ක‍්‍රමයක් ඇති කළ යුතු බව අපගේ අදහසයි. මේ වෙනස්කම් සිදුකිරීමේදී අපේ හර පද්ධතියට හානියක් නොවන පරිද්දෙන් ඒවා සිදුකිරීමට වගබලා ගත යුතු ය. අනුකාරක සංස්කෘතියකට අපගේ අක් – මුල් වනසා දැමීමට ඉඩ තැබිය යුතු නැති බැවිනි.

48’ ලැබූ නිදහසින් පසු දශක 6 ක් ගෙවී යද්දී අලුත් ලංකාවක් ගැන සිතන්නට, අලුත් රටක් කරා පියනඟන්නට ලැබී ඇති මේ අවස්ථාව ස්වර්ණමය එකකි. ත‍්‍රස්තවාදයේ අවසානය සලකුණු වෙමින් ඇති අතර බටහිර ආර්ථිකයට ඇති බැඳීම් බිඳ දැමීම සඳහා ද සුදුසුම අවස්ථාව එළැඹී තිබේ. ත‍්‍රස්තවාදය අතුගා දැමීමෙන් නොනැවතී ත‍්‍රස්තවාදයට තුඩු දුන් මූල සාධක මුලිනුපුටා දැමීමට ද කි‍්‍රයා කළ යුතු ය.

උතුරේත් – දකුණේත් ත‍්‍රස්තවාදය ඉස්මතු වූයේ කාලාන්තරයක් මුළුල්ලේ සිදුවූ වැරැදිවල ප‍්‍රතිඵලයක් නිසා බව පෙර සඳහන් කළෙමු. එයිනුත් විශේෂයෙන් ඊට බලපෑවේ ආර්ථික පීඩනයයි. දකුණේ මතු වූ ත‍්‍රස්තවාදය විසින් කියාපානු ලැබුවේ එයයි. උතුරේ ත‍්‍රස්තවාදයටද එය මුූල සාධකයක් වූ නමුත් එවැනි සාධක දඩමීමා කර ගනිමින් එහි කි‍්‍රයාත්මක වූයේ දෙමළ ජාතිවාදයයි. එහෙත් ත‍්‍රස්තවාදයට තෝතැන්න වූයේ ආර්ථික පීඩනය බව බැහැර කළ යුතු නැත. මීට අවුරුදු 50 කට කළින් උතුරෙන් රටට වෛද්‍යවරු - ඉංජිනේරුවන් දායාද විය. එහෙත් පසු කාලීනව එය වෙනස් වූයේ ආර්ථිකය මේ රටට ගැළපෙන පරිදි වෙනස් නොවූ නිසාය. මේ නිසා ත‍්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළද, මේ ආර්ථික රටාව වෙනස් නොකළහොත් එය වරින්වර විවිධ මුහුණුවරින් මතුවිය හැකි බව අමතක කළ යුතු නැත. එබැවින් ත‍්‍රස්තවාදයේ තෝතැන්න වෙනස් කිරීම සිදුවිය යුතුමය.

යුද්ධයෙන් ත‍්‍රස්තවාදය පරාජය කළ පසු ආර්ථික වශයෙන් රට ගොඩගත හැක්කේ එජාපයට බව එජාපයේ උදවිය කියන කතාව මුළුමනින් මිථ්‍යාවකි. ඊට පදනමක් හෝ නැත. යටත්විජිතවාදයෙන් රට මිදුණු පසුවත් යටත්විජිතවාදීන්ට අභිමත පරිදි එම පිළිවෙත් කර තබාගෙන ගියේ එජාපයයි. එබැවින් ඔවුන්ද මේ අර්බුදකාරීත්වයන්හි නිසැක කොටස්කරුවන් ය. ත‍්‍රස්තවාදය තුරන් කරන අතරම මේ රටේ දේශපාලන භූමිකාවෙන් එජාපය තුරන් වීම ද රටට හිතකර බව අපගේ අදහසයි. එය එතරම්ම පරගැති භාවිතාවක් පෙන්නුම් කර ඇත. නමෙහි “ජාතික පක්‍ෂය” යනුවෙන් සඳහන් වුවද ඇත්තටම එය “විජාතික පක්‍ෂයකි” එබැවින් ත‍්‍රස්තවාදය තුරන් කළ පසු අවම වශයෙන් එම පක්‍ෂයේ පරගැති නායකත්වයවත් වෙනස් කිරීමට මේ රටේ ජනතාවත් එජාප පාක්‍ෂිකයනුත් කල්පනා කළ යුතුය.

ත‍්‍රස්තවාදයෙන් මුදාගත් රටක්, අලුත් ගමනක් සදහා මුලපුරන මොහොතේ මේ රටේ ජාතික බලවේග පටු ජාතිවාදී ලෙස කි‍්‍රයා නොකර ගැඹුරින් සිතා බලා කි‍්‍රයාත්මක විය යුතුය. නව රටක් බිහිකැර ගැනීම සඳහා අපට අවස්ථාවක් ලැබී ඇත්තේ පළමු වරටයි. ඒ අවස්ථාව අත්හළ යුතු නැත. රටේ අනාගතය විසැඳීමේ අවස්ථාව ජාතික බලවේග වෙත ලැබී ඇති මේ මොහොතේ ඒ කවුරුත් ඉතාමත් ගැඹුරින් කල්පනා කර කි‍්‍රයාත්මක විය යුතුය. සිංහල - දෙමළ - මුස්ලිම් ආදී වශයෙන් නොව ශී‍්‍ර ලාංකිකයන් ලෙස සිතා කි‍්‍රයා කළ යුතුය. ත‍්‍රස්තවාදය පරාජය කර ලැබූ ජය සිංහල බෞද්ධයන්ගේ ජයක් පමණක් නොව සියලු ශී‍්‍ර ලාංකිකයන් ලැබූ ජයකි. දැන් මේ සියලු ශී‍්‍ර ලාංකිකයන්ගේ අරමුණ විය යුත්තේ විජාතික ග‍්‍රහණයෙන් රට මුදාගනිමින් අලුත් රටක් තැනීමයි.

අප කල්පනා කරන අන්දමට ත‍්‍රස්තවාදය තුරන් කිරීමත් සමඟ අලුත් ජාතියක් බිහිවීම සිදුවනු ඇත. වත්මන් රජය ත‍්‍රස්තවාදය අවසන් කෙළේ මේ රටේ ජාතික බලවේගවල ඇණවුම පරිදිය. රජය එම කාර්යය සපුරාලීමත් සමඟ පටු ජාතිවාදී හැඟීම්වලින් තොරව සැබෑ ජාතික හැඟීමෙන් යුතුව රට අලුත් දිශාවකට යොමු කිරීමට ජාතික බලවේග පෙරමුණ ගත යුතුය.