2009-02-04

ජාතික නිදහසට උරදුන්

ජාතික නිදහසට උරදුන් හෙළ විරුවන්ගේ යුග මෙහෙවර

ජාතියක ජීවය නිදහස් චින්තනයයි. රටක ජාතියක වහල් බවින් මිදීම සඳහා නිදහස් චින්තනය අතිශයින් වැදගත්ය. 1505 පටන් 1948 දක්වා පෘතුගීසි, ලන්දේසි, ඉංග‍්‍රීසි යන විජාතිකයන් මෙරට යටත් කර ගැනීමෙන් පසුව ජාතික චින්තනය මොටවිය. දේශීයත්වය විනාශ විය, සිංහල ජාතිය වහල් ජාතියක් බවට පත්විය.

පෘතුගීසි සහ ලන්දේසි ජාතිකයන් මෙරට මුහුදුබඩ ප‍්‍රදේශ පමණක් යටත්කර පාලනය ගෙන ගිය නමුදු ඉංග‍්‍රීසින් මුළු මහත් ශ‍්‍රී ලංකාවම යටත් කර ගත්හ. ඊට හේතුව සිංහලයා සතු පරගැති බව හෝ බියගුළු බව නොව වෙඩි උණ්ඩයේ ශක්තිය හා බලයයි. ඔවුන්ගේ නවීන අවි ආයුධවලට බිය නොවූ හෙළ ජාතික විරුවන් ඔවුන්ගෙන් රට මුදා ගැනීම සඳහා දිවි පරදුවට තබා සටන් කළහ. එම ජාතික විරුවන්ට අප නිරතුරුව උපහාර දැක්විය යුතුය.

ජාතික විරුවන්

ඇතැම් අවස්ථාවල විදේශිකයාගේ තාන්න මාන්නවලට ගිජු වූ ඇතැම් ශ‍්‍රී ලාංකිකයන් නොසිටියා නොවේ. තම උපන්බිම විදේශිකයන්ට පාවා දී සත්කාර සම්මාන තනතුරු ලබාගෙන ඔවුන්ට ආවැඩ අසිංහල ජාතිද්‍රෝහී පුද්ගලයන් නිසා සියවස් ගණනක් අපේ රට අපට අහිමි විය.

එවකට අප රට පාලනය කළ ඇතැම් සිංහල රාජ්‍ය නායකයන්ගේ අදූරදර්ශී කි‍්‍රයාකලාපයන්ද ජාතික වහල් භාවයට හේතුවිය. ඉංග‍්‍රීසි ජාතිකයන් මෙරට යටත් කර ගනිමින් ගෙන ගිය අත්තනෝමතික පාලනයට එරෙහිව සටන් කල ජාතික විරුවන් පිළිබඳ සටහනක් තැබීම ද ජාතික නිදහස සමරන මේ මොහොතේ උදාර කර්තව්‍යක් ලෙස සිතමි.

1948 පෙබරවාරි 04 දා අප ලැබූ නිදහස එක් ලේ බිදක් හෝ නොහෙලා ලැබූ නිදහසක් ලෙස ඇතැමුන් අර්ථ දැක්වීම සාවද්‍යය. විදේශීය පාලකයන්ගෙන් අප රට බේරා ගැනීම සඳහා ගිහි පැවිදි ජාතික විරුවන් තම දිවි පරදුවට තබා අභිමානවත් මෙහෙයක් ඉටුකර ඇති බව ඉතිහාසය විසින් සාක්ෂි දරයි.

වාරියපොල සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, කුඩාපොල හිමි, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ආදී මහා සංඝ රත්නය ද වීර පුරන්අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා, වීර කැප්පෙටිපොළ, කිවුලේගෙදර මොහොට්ටාල, කැටකාලේ මොහොට්ටාල, කොහුකුඹුරේ රටේරාල, අනගාරික ධර්මපාලතුමා වැනි හෙළ ජාතික විරුවන් ද එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්, ඊ. ඩබ්ලිව්. පෙරේරා, ඩී. එස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, එෆ්. ආර්. සේනානායක, ඩී. බී. ජයතිලක, අරුනාවලම් පොන්නම්බලම්, එම්. සී. සිද්ධි ලෙබ්බෙ ආදී නායකයන් ද අප රටේ නිදහස වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළහ.

කන්ද උඩරට රාජධානියේ අවසන් කාලයේ පාලකයන් වූ නානායක්කාර වංශික රජවරුන්ගේ දුර්වලතා නිසා රටවැසියෝ ඉමහත් පීඩා වින්දහ. එනිසා රටවැසියන්ට රජවරු එපා විය. ඇතැම් රජවරු බියගුළු චරිත වූ අතර විදේශිකයන්ගේ උපක‍්‍රමවලට රැවටුනහ. එමෙන්ම බොහෝ ජාති මාමක රජවරු ලක්දිව විවිධ පළාත්වල ඉංග‍්‍රීසින්ට විරුද්ධව සටන් මෙහෙයවූහ.

රට ජාතිය වෙනුවෙන් සටන් කල අපේ වීරෝදාර දහස් ගණනක් ජනතාව ඔවුන්ගේ වෙඩි උණ්ඩයට හසුවූහ. එමෙන්ම ඇතැම් අවස්ථාවල විදේශිකයන් පරදවා ජයග‍්‍රහණ ලබා ගැනීමටද අපේ විරුවෝ සමත්වූහ. 1817 පැවැති කන්ද උඩරට විමුක්ති සටන දේශපේ‍්‍රමී හෙළ විරුවන්ගේ උදාර වූ මෙහෙවරකි.

වාරියපොළ සුමංගල හිමියෝ ඉංග‍්‍රිසින්ගේ වෙඩි උණ්ඩය ඉදිරියේ ඉංග‍්‍රිසි කොඩිය බිමට හෙලා ජාතික කොඩිය එසවීම ජාතියේ එඩිතර හා අභිමානවත් බව විදහා දැක්වෙන අවස්ථාවකි. එය සෙසු භික්ෂුන්ට මෙන්ම ගිහි නායකයන්ට ද ඉමහත් ආදර්ශයකි. සතුරා පරාජය කිරීමේ උපක‍්‍රම සාකච්ඡා වූයේ ගමේ පන්සලේ ය. එහිදී හෙළ භික්ෂුව උපදේශකයකු වශයෙන් කි‍්‍රයා කෙළේය.

කසාවතෙහි තේජස හෙළ විරුවන්ට පෙරට යාමට මහත් ශක්තියක් විය. කන්ද උඩරට සටන, ඌවවෙල්ලස්ස සටන, ගන්නෝරුව සටන ආදී සටන් තුලින් සිංහලයා තම රුධිරය හෙලා ලොවට කියා පෑවේ සිංහල ජාතියේ එඩිතර හා අභිමානවත් බවයි. තම සැප සම්පත් තාන්න මාන්න සියල්ල ඉවතලා ජාතිය ආගම ආරක්ෂා කර ගැනීමට එකල විරුවන් දිවි හිමියෙන් කි‍්‍රයා කළ ආකාරය වත්මන් ශ‍්‍රී ලාංකිකයන්ට ද ඉමහත් ආදර්ශයකි.

ඔවුන් ගේ එඩිතර කම නිසා අද අපි අභිමානවත් නිදහසක් අත් විඳින්නෙමු. හෙළ බොදු සිරිත් විරිත් අමතක කිරීම, බටහිර සිරිත් වැළඳ ගැනීම, සුද්දන්ට ගැතිවීම, මත් වතුර පානය, බුදු දහමට පිටුපා කි‍්‍රයා කිරීම ආදී දුශ්චරිත දුටු අනගාරික ධර්මපාලතුමා වැනි උදාර නායකයන් කම්පාවට පත්වී දුසිරිතෙන් වලක්වා ගැනීම සඳහා දිවි පරදුවට තබා කි‍්‍රයා කළේය.

 උදාර නායකයන්

සැබැවින් අපි ඒ උදාර නායකයන්ට ණයගැති වෙමු. සුදු අධිරාජ්‍යවාදීන්ගේ ටයි කෝටි එකට, යකඩ සපත්තුවට යටවූ පරාදීන මිනිසුන් අද මෙන් ම එදත් සිටියහ. දුර දක්නා නුවණින් කටයුතු නොකල පුද්ගලයන් නිසා උතුම් දේශය අපට අහිමි වූවද විදේශිකයන්ගෙන් රට මුදවා ගැනීමට එදා විරුවන් කළ මෙහෙය සදා අමරණීයයි.

ඉංග‍්‍රීසින්ට එරෙහිව සිදුකළ සටන්වලින් මුළු මහත් හෙළ මිහි තලයම රුධිරයෙන් තෙත් වී ඇත. 1948 දී අප නිදහස ලැබුවේ එම රුධිර ගංගා මතිනි. 19 වන සියවස අග භාගයේ දී හා 20 වන සියවස මුල් භාගයේ දී ලංකාවට ඉංග‍්‍රීසින් විසින් හඳුන්වා දුන් ආණ්ඩුක‍්‍රම, බදු ක‍්‍රම ආදිය නිසා මෙරට වැසියෝ ඉමහත් පීඩාවට පත්වූහ. එහිදී සිංහල, දෙමළ, මුස්ලිම් ජනයෝ සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කි‍්‍රයා කිරීමට සංවිධානය වූහ.

අමද්‍යප ව්‍යාපාරය, ලංකා ජාතික සංගමය, ලංකා කම්කරු සංගමය, ලංකා තරුණ සංගමය ආදී සමිති සමාගම් බිහිවීම එහි ප‍්‍රතිඵලයකි. එක්ව සටන් කිරීමෙන් රට ජාතිය බේරා ගැනීමට හැකියාව ලැබෙන බව ඔහුන් සිතීම ජාතික නිදහසට ද හේතුවිය. 1915 දී පැවැති සිංහල මුස්ලිම් කෝලාහලය සිංහල විරුවන්ගෙන් පළි ගැනීමට ඉංග‍්‍රීසින් අවස්ථාවක් කර ගත්හ.

හෙන්ද්‍රි පේදිස් වැනි හෙළ විරුවන් එහිදී වෙඩි තබා මරා දැමූහ. ජාතික නිදහස වෙනුවෙන් සටන් කළ තවත් බොහෝ සිංහල වීරවරයන් අධිකරණයේ දී වරදකරුවන් බවට පත්කොට මරා දැමූහ.

විදේශිකයන්ගේ කුරිරු පාලනයන්ට එරෙහිව රටේ හැම තැන ම විරෝධතා නැගෙන්නට වූහ. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේද ඔවුන්ගේ පාලනය දෝශ දර්ශනයට ලක්විය. ඒ වනවිට ආසියානු රටවල් රැසක්ම ඉංග‍්‍රිසින් විසින් යටත් කරගෙන තිබුණි. ඒ සෑම රටකම ජනතාව ඉංග‍්‍රීසින්ට එරෙහිව නැගී සිටියහ. එම නිසා ජනතා විරෝධය හමුවේ ඔවුන්ට සිදුවූයේ යටත් කරගත් රාජ්‍ය අත්හැර යාමටයි.

ඒ අනුව 1948 පෙබරවාරි 04 දා අපට ජාතික නිදහස හිමිවිය. එම නිදහස වෙනුවෙන් දහදිය කඳුළු රුධිරය හෙලූ වීරෝධාර ජාතික විරුවන්ට උපහාර පිදීමත්, විවිධ බලවේගවලට මේ රට යටත් කර ගැනීමට ඉඩ නොදී අභිමානවත් ලෙස හා දේශියත්වය ආරක්ෂා වන ලෙස සුරක්ෂිත කර ගැනීමත්, අද දවසේ අප සතු වගකීම හා යුතුකම වන්නේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා