2009-02-04

රට නව නිදහසක් අබියස...

රට නව නිදහසක් අබියස...

නිදහස් ස්වෛරී - භෞමික අඛණ්ඩතාව තහවුරු කළ රටක සිට සිංහල - දෙමළ - මුස්ලිම් ආදී සියලු ජනකොටස්වලට නිදහසේ හුස්මගන්නට හැකිවනු ඇත. මේ වාතාවරණය වඩාත් පෙරට ගෙන යමින් සංවර්ධනය වේගවත් කර සියලු ජනකොටස්වලට තම හැකියාවන් උද්දීපනය කරමින් රට ගොඩනඟන්නට හැකිවනු ඇත යන්න අපගේ බලවත් විශ්වාසයයි.

නිදහස් අරගලය පිළිබඳ විමසා බැලීමේදී ඊට ප‍්‍රවේශයක් ලෙස මෙරට ජාතික සටන් ව්‍යාපාරය ගැන මුලින් සලකා බැලීම සුදුසු ය. එවක ආසියාකාරයේ අධිරාජ්‍ය විරෝධී යටත් විජිත විරෝධී අරගල රැසක් කි‍්‍රයාත්මක විණි. විශේෂයෙන් අසල්වැසි ඉන්දියාවේ නිර්මාණය වූ දැවැන්ත ජාතික සටන් ව්‍යාපාරයේ බලපෑම අප වැනි රටවලට දැනිණි. ඉන්දීය හා ලාංකීය ජාතික සටන් ව්‍යාපාර අතර යම් සබඳතාවක් පැවැතියද ඒ දෙකෙන් දැකිය හැක්කේ දෙයාකාර ලක්‍ෂණය.

ඉන්දීය ජාතික නිදහස් අරගලයේ සටන්කාමීත්වය කැපී පෙනේ. එහෙත්, මෙරට නිදහස් අරගලයේ අප දකින්නේ ව්‍යවස්ථාදායි අරගලයකි. එය ව්‍යවස්ථාදායකයේ නිදහස ලබාගැනීම අරමුණු කළ, ජනතාවට සමීප නොවූ, ඉංගි‍්‍රසි උගත් පන්තියට පමණක් සීමාවූ අරගලයක් ලෙසද දැකිය හැකිය. එම ප‍්‍රභූ පංතික ස්වරූපයේ බලපෑම අප නිදහස ලබන අවස්ථාවේදී ද දක්නට විය. පශ්චාත් නිදහස් යුගයේ අප දකින්නේ ඉංගී‍්‍රසි උගත් - අධිරාජ්‍යවාදයට ගැති, කොප් හැට් - ටේල් කෝට් පැළැදි අනුකාරකවාදී පන්තියට දේශපාලන බලය මාරුවීමයි. ඩී. එස්. සේනානායක , සර් ජෝන් කොතලාවල වැනි නායකයන්ගෙන් අපි ඒ බව දකිමු. ඔවුන්ට යම් ජාතිකවාදී අදහස් පැවැතියත් වැඩිපුර පෙනෙන්නේ අධිරාජ්‍ය ගැති ස්වභාවයයි. ඔලිවර් ගුණතිලක වැනි අය මේ රට පුංචි එංගලන්තයක් කිරීමට කතා කෙළේද එම ගැති බව නිසයි.

අනගාරික ධර්මපාල තුමා

නිදහස් අරගලයට ජාතිකත්වයක් ආරෝපණය කිරීමේ අරගලය නිර්මාණය වන්නේ අනගාරික ධර්මපාල තුමා හරහා ය. ආර්ථික නිදහසද දිනා ගනිමින් මේ රටට පූර්ණ නිදහසක් තිබිය යුතුය යන අදහස වාමාංශික ව්‍යාපාරය හරහා මතුවිය. විද්‍යාලංකාර ප‍්‍රකාශනය මුල්කරගනිමින් විද්‍යාලංකාර භික්‍ෂුන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ රටේ ශ්‍රේෂ්ඨ සඟරුවනද නිදහස් අරගල වේදිකාවට අවතීර්ණ විය. ඉන් පළල් ජන සමූහයා කෙරෙහි අනගාරික ධර්මපාල තුමන් විසින් ඇතිකරනු ලැබුවා වූ ප‍්‍රබෝධය ඊට විශාල දායකත්වයක් සැපැයීය. පරම විඥානාර්ථ සමාගම නිර්මාණය වීම, බෞද්ධ පාසල් බිහිවීම ආදිය සිදුවන්නේ ද එකී පසුබිමේය.

මේ සියලු ප‍්‍රවාහයන් ඔස්සේ ගොඩනැඟී 1948 දී අප දිනාගන්නා නිදහස පූර්ණ නිදහසක් නොවේ. එය අර්ධ - නාමික නිදහසක් පමණි. අධිරාජ්‍යවාදයෙන් මිදී එහෙත් ඔවුන්ගේ ආකෘතියට ඔබින පාලනයක් ස්ථාපිත වීම සිදුවිණි.

සැබෑ ජාතික නිදහසක් පිළිබඳ අවශ්‍යතාව මේ රටේ ජනතාව හරියාකාර අවබෝධ කොට ගන්නේ 1956 දී ය. 1956 සැලකිය හැක්කේ 1931 සිට සිදුවූ වෙනස්කම්වල අග‍්‍රඵලය වශයෙනි. 56’ දී පෙරළා දැමුණේ මාර්ටින් වික‍්‍රමසිංහ විසින් බමුණු කුලය ලෙස හඳුන්වනු ලැබූ 48 දී පාලන බලය අතට ගත් ‘ ඉංගී‍්‍රසි උගත් මධ්‍යම පංතියයි.

56’ පෙරැළිය මඟින් බලයට පත් කරන ලද්දේ’ ඊට විකල්ප - සිංහල උගත් ‘ ජාතික හැඟීමක් ඇති - අපේකම හඳුනාගත් නායකත්වයකි. 56 දී පෙරට ආවේ සඟ- වේද - ගුරු - ගොවි - කම්කරු පංචමහා බලවේගයයි. එනම්, කාලාන්තරයක් තිස්සේ අධිරාජ්‍යවාදීන් යටතේ පීඩනයට පත්ව සිටි සම්ප‍්‍රදායානුකූල සමාජයේ කි‍්‍රයාත්මක වූ සමාජ බලවේගයන් නව යුගයකට හුස්මක් ගැනීම එහිදී සිදුවේ. 56’ නිහඬ විප්ලවයත්’ සමඟ සිදුවු වෙනස මඟින් 48’ දී ලබාගත් නිදහස අර්ථාන්විත විය. නිදහස පිළිබඳ හැඟීම පොදු ජන හදවතට වඩා සමීප ලෙස දැනෙන්නට පටන් ගත්තේ ඉන් පසුවයි. එතෙක් - මෙතෙක් කිසිදු දේශපාලන වෙනස්වීමක් 56’ට සමාන කළ නොහැක්කේ ද එබැවිනි.

සමාජ පරිවර්තනයක්


මහාචාර්ය විශ්වා වර්ණපාල
උසස් අධ්‍යාපන අමාත්‍ය

56’ දී ඇති වූ වෙනස කොයිතරම් ඉදිරියට ගියාද කිවහොත් එතුළින් දැවැන්ත සමාජ පරිවර්තනයක් නිර්මාණය විය. 1978’ දී එක්සත් ජාතික පක්‍ෂය බලයට පත්වන තුරුම 56’ දී මුල පුරන ලද වෙනස්කම් ජාතික ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් බලපවත්වන ලද බව පෙනෙන්නට තිබිණි. ඒ ඔස්සේ දේශපාලන නිදහස හා ආර්ථික නිදහස එකට ගමන් කළ යුතුය යන අදහස තහවුරු විය. අර්ථාන්විත නිදහසක් උදාවන්නේ ඒ තුළින් ය යන අදහසට පිළිගැනීමත් ලැබිණි.

අධිරාජ්‍යවාදී ගැති බවෙන් මිදෙමින් : මේ කුඩා දිවයින සමාජවාදී ලෝකයටත් අවතීර්ණ කරමින් මුළු මහත් ලෝකයාගේ ප‍්‍රසාදයට ලක්වන අන්දමේ භූමිකාවකට යොමුවිය. එකී භූමිකාව තුළ තුන් ආකාර ලක්‍ෂණ දැකිය හැකි. පළමුවැන්න භාෂා - ආගමික හා සංස්කෘතික ප‍්‍රබෝධයයි. ඒවායේ අඩුපාඩු තිබිය හැකිය. එමෙන්ම ඒවායේ ප‍්‍රතිඵලද අපි දුටුවෙමු. එහෙත් වඩා වැදගත් වන්නේ එමඟින් ඇති කෙරුණ සාධනීය බලපෑමයි. දෙවැන්න දේශපාලන ප‍්‍රබෝධයයි. අපට ගැළපෙන නොබැඳි විදේශ ප‍්‍රතිපත්තියක් නිර්මාණය කරගැනීමද සිදුවිය. නොබැඳී ව්‍යාපාරය තුළ ඉතා සකී‍්‍රය භූමිකාවක යෙදීමට මේ කුඩා දිවයිනට හැකිවිණි.

ආර්ථික නිදහස දිනා ගැනීම පිළිබඳ කාරණයේදී වැදගත්වන දේශීය කර්මාන්ත ක්‍ෂෙත‍්‍රය වෙත යොමුවීමද සිදුවිය. දේශීය කර්මාන්ත ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රබෝධයක් ඒ සමඟ ඇතිවිය. මෙතෙක් ඉංගී‍්‍රසි උගත් පංතියට පමණක් සීමා වූ වරප‍්‍රසාද වෙනුවට ස්වභාෂාවෙන් අධ්‍යාපනය ලත් බුද්ධිමතුන්ට අනාගතය සඳහා නව දොරටු විවරවීමද වැදගත් කාරණයකි. එමඟින් අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ විශාල ප‍්‍රබෝධයක් ද ඇතිවිය. නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රතිඵල අර්ථාන්විත ලෙස ජනතාව අතරට සමීප වූයේ ඒ සමඟ ය.

නිල-බල තන්ත‍්‍රය තුළ සෑම ස්ථරයකම පාහේ සිංහල උගත් ගමේ පාසලෙන් මතුවූ පිරිස් දක්නට ලැබිණි. අද වනවිට විශ්වවිද්‍යාල - අධිකරණ ආදී නොයෙක් ක්‍ෂෙත‍්‍රයන්හි නායකත්වයට පැමිණ ඇත්තේ ඒ අයයි.

ආර්ථික වෙනස්කම්

56’ සිදුවු මේ විශාල පෙරැළියත් සමඟ අපේක්‍ෂාව වූයේ රට සංවර්ධිත ලෝකය කරා රැගෙනයාමයි. අපට වඩා පිටුපසින් සිටි තායිවානය - කොරියාව - මැලේසියාව - සිංගප්පුරුව - හොංකොං වැනි රටවල් 48’ න් පසු කාලයේදී විශාල ආර්ථික පිම්මකට යොමුවිය. 50’ - 60’ දශකවල දැවැන්ත ආර්ථික වෙනස්කම් ඒවායේ සිදුවිණි. නමුත්, අපට එතැනට සමීප වීමට නොහැකිවිය. හේතුව ජනවාර්ගික අරගලයක් නිර්මාණය වීමයි. අධිරාජ්‍යවාදීන් දායාද කළ බෙදා පාලනය කිරීමේ සංකල්පය ඔස්සේ නිර්මාණය වූ එය 80’ දශකය වනවිට දැවැන්ත බෙදුම්වාදී අරගලයකට පෙරැළිණි. 1920 ගණන්වල ව්‍යවස්ථාදායකය හරහා සිදු වූ යම් යම් කාරණත්, සෙසු ජනවර්ග සඳහා ව්‍යවස්ථාදායකය තුළින් ලැබිය යුතු දේ නොලැබුණු බවට මතු වූ උද්ඝෝෂණත්, ආසන බෙදීම් ආදියේදී සිදුවූ අසාධාරණය විසින් එම ගැටලුව වඩාත් උග‍්‍ර කරන ලද බව පැහැදිළිය.

අධිරාජ්‍යවාදයට එරෙහිව 56’ න් පසු නිර්මාණය වූ වාතාවරණය ඔස්සේ ෆෙඩරල් පක්‍ෂය වැනි දෙවන රාජ්‍යයකට පදනම දැමිය හැකි දේශපාලන පක්‍ෂ කි‍්‍රයාත්මක විය. 1983 ‘ දී එවක පැවැති රජයට සම්බන්ධ වෘත්තීය සමිති ව්‍යාපාර, ජාතිවාදී අදහස් දැරූ ඇතැම් ඇමැතිවරුන්ගේ අදුරදර්ශී කි‍්‍රයාකලාපයන් නිසාත්, එක්තරා ප‍්‍රමාණයකට බලය බෙදාහැරීමේ කි‍්‍රයාවලිය බිඳදැමීම එනම් බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම් වැනි අවස්ථා කරා නිසියාකාර යොමුනොවීම නිසාත් ජනවාර්ගික අරගලය ආයුධ සන්නද්ධ අරගලයක් ලෙස වර්ධනය විය. එය වේගවත් කරන ලද්දේ 83’ අපකීර්තිමත් ‘ කළු ජුලිය විසිනි. 58’ දී ද ජාතිවාදී ගැටුමක් ඇවිල ගිය මුත් 83’ කලබල හේතුවෙන් විවිධ ජනකොටස් අතර තිබූ සුහදතාව හා සහජීවනය දැඩි ලෙස බිඳවැටිණි.

මේ ඔස්සේ ‘ ප‍්‍රභාකරන් කෙනෙක් නිර්මාණය වී චෙල්වනායගම්ලාගේ ෆෙඩරල් ව්‍යාපාරයට වෙනස් ආයුධ සන්නද්ධ අරගලයකට අවතීර්ණ විය. මේ වනවිට වෙනත් රටවලද එවැනි බෙදුම්වාදී ව්‍යාපාර දැකගත හැකිවිය. ඉන්දියාවේ තමිල්නාඩුව කේÁද්‍රකර ගනිමින් නිර්මාණය වූ බෙදුම්වාදී ව්‍යාපාරයේ බලපෑමද සෘජුව හා වක‍්‍රව ශී‍්‍ර ලංකාවට දැණිනි. සෝවියට්දේශය බිඳ වැටීමෙන් පසු එම කලාපයෙන් බෙදුම්වාදී ව්‍යාපාර ඉස්මතු විය. යුරෝපයෙන් ඒවා දැකගත හැකිවිය.

මෙවැනි ලෝක වාතාවරණයකදී දෙවන රාජ්‍යයක් සඳහා ප‍්‍රභාකරන් යොමුවීම හේතුවෙන් 1931 න් මෙපිටට රට ආර්ථික සංවර්ධනයේ දිශාවට රැගෙන යාම සඳහා දරන ලද ප‍්‍රයත්නයන් පසෙක තිබියදී රටේ බුද්ධිමය හා භෞතික සම්පත් ‘ බෙදුම්වාදී අරගලය පරාජය කිරීම සඳහා යෙදවීමට සිදුවිය. එමෙන්ම බෙදුම්වාදීන් විසින් එකී සම්පත් විනාශ කිරීමද දැකගත හැකිය. මේ කරුණ ඔස්සේ රට තුළ අස්ථාවර භාවයක් නිර්මාණය විය. රටේ සාමය බිඳවැටිණි. එවැනි වාතාවරණයක් යටතේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම කළ නොහැක්කකි. එසේම මතුවන නොයෙක් අභියෝගයන්ට මුහුණ දීමට කරන ආර්ථික හැකියාවද ප‍්‍රමාණවත් වූයේ නැත.

එහෙත් මේ සියලු ප‍්‍රශ්නවලට මුහුණ දෙන අතර, එක්තරා ප‍්‍රමාණයකට දේශපාලන ස්ථාවරභාවය රැක ගැනීමට හැකිවූයේ දේශපාලන බලය නිසියාකාර කළමණාකරණය කළ නායකත්වයන් නිසයි.

සටන් විරාම ගිවිසුම

බෙදුම්වාදී ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීම සඳහා සෑම නායකත්වයක්ම ප‍්‍රයත්න දැරුවේය. නමුත් ඒ කිසිදු නායකයකුට, අවශ්‍ය පරිදි ඊට පිළිතුරු සපයා ගත නොහැකි විණි. හේතුව ඔවුන් ත‍්‍රස්තවාදය හා ජනවාර්ගික අරගලයත් අතර වෙනස හඳුනා නොගැනීමයි. එම සියලු නායකයන් බෙදුම්වාදී ප‍්‍රශ්නය ජනවාර්ගික ප‍්‍රශ්නයක් ලෙස සළකා කි‍්‍රයාකාරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ත‍්‍රස්තවාදය තව තවත් දලුලා වැඩිණි. එජාප පාලන කාලයන්හි, විශේෂයෙන් පෙ‍්‍ර්මදාස සහ වික‍්‍රමසිංහ පාලනයන් යටතේ ඒ තත්ත්වය වඩාත් උග‍්‍රවිය.

එහෙත් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කාලයේදී සටන් විරාම ගිවිසුම් - සාකච්ඡා කි‍්‍රයාමාර්ග ආදිය හරහා සිදුවූයේ බෙදුම්වාදීන් වඩා බලවත් වීමයි. ලොව ඉතා දරුණු ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස කි‍්‍රයාත්මක වූ එල්. ටී. ටී. ඊ. ය මේ සෑම අවස්ථාවකින්ම වාසි ලබාගත්තේය. ඔවුන්ට අවශ්‍යවූයේ සාකච්ඡා මාර්ගික විසැඳුමක් නොව ආයුධ සන්නද්ධ අරගලයකින් පසු ස්වයං පාලනයක් කරා යොමුවීමටයි. නමුත්, ස්වයං පාලනය යල්පිනු අදහසක් බව පැහැදිලි කාරණයකි. ඊට වලංගුභාවයක් ඇත්තේ යටත් විජිතවාදය ප‍්‍රබල නම් පමණි. එහෙත්, මෙවැනි වෙනස්වන ලෝකයක ඊට වලංගුභාවයක් නොමැත.

ත‍්‍රස්තවාදය සහ දෙමළ ජනතාවගේ සාධාරණ අභිලාෂයන් අතර වෙනස නිසියාකාර අවබෝධකොට නොගෙන මේ ප‍්‍රශ්නයට පිළියම් යෙදීමට යාමෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට පෙර සිටි සියලු නායකයන්ට වැරැදිණි. එහි ප‍්‍රතිඵලය වයේ භයානක ත‍්‍රස්තවාදයක් පෙර නොවූ විරූ පරිදි රට තුළ නිර්මාණය වීමයි. එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය විසින් දෙමළ ජනයාගේ නායකයන් බිලිගන්නා ලදී. අහිංසක දෙමළ ජනයා වහලුන් ලෙස පීඩාවට ලක් ඛ්ලමට සිදුවිණි. උතුර මුදාගනිමින් ඇති මේ මොහොතේ මේවා පැහැදිලිව දකින්නට ඇත. ප‍්‍රභාකරන් ආයුධ සන්නද්ධව උතුර නැගෙනහිර පමණක් නොව රටම අල්ලා ගැනීමේ ප‍්‍රයත්නයක යෙදී සිටින්නට ඇති බව උතුරේදී අල්ලාගන්නා අවි-ආයුධ කම්හල් ඇතුළු මර්මස්ථානවලින් පැහැදිලි වෙයි. ප‍්‍රභාකරන් යනු තමන්ගේ ප‍්‍රදේශයට දේශපාලන බලයක් ලබා ගැනීමට කි‍්‍රයාකළ පුද්ගලයකු නොවේ. ඔහු මුළුමහත් රටත් - කලාපයත් අස්ථාවර කර තමිල්නාඩුවද ඇඳ්‍ර ගනිමින් දැවැන්ත දෙමළ රාජ්‍යයක් නිර්මාණය කිරීමේ මිත්‍යාවක ගිලීසිටි අයෙකු බව දැන් පැහැදිලිවෙමින් තිබේ. එකී මිථ්‍යාව වත්මනෙහිදී ඉන්දියාවට අවබෝධ වී තිබීම ගැන අපට සතුටුවිය හැකිය. යම් අවස්ථාවන්හිදී ඉන්දියාව කල්පනා කෙළේ මේ රටේ ඇත්තේ සාධාරණ ජනවාර්ගික අරගලයක් බවයි. නමුත් එය එවැන්නක් නොව ප‍්‍රභාකරන්ගේ මනසේ ගොඩනැඟුණ ෆැසිස්ට්වාදී හිට්ලර්වාදී අදහස් කි‍්‍රයාවට නැංවීමක් බව ඉන්දියාව අවබෝධ කරගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

මේ නිසා ‘නිදහස’ ගැන කතා කරන මේ මොහොතේ රටත් - ජනතාවත් පීඩාවට පත්කළ රටේ ජයග‍්‍රහණයන් මෙන්ම අහිංසක දෙමළ ජනයාද ඇතුළුව විවිධ ජාතීන්ගේ අභිලාෂයන් උදුරාගත් , ඔවුන්ගේ ආවේණික නිදහස ඔවුන්ට අහිමිකළ දැවැන්ත ත‍්‍රස්තවාදී - බෙදුම්වාදී අරගලයක් විනාශ කිරීමට මේ රටේ හමුදාමය නායකත්වය ඇතුළු රණවිරුවන්ට, දූරදර්ශී - එඩිතර දේශපාලන නායකත්වයටත් ඊට ශක්තියක් වූ සමාජ බලවේගයන්ටත් හැකිවීම පිළිබඳ අපි සතුටු විය යුතු වෙමු. මහ පොළවේ පය තබා සිටින නායකයකු ලෙස මහින්ද රාජපක්‍ක්‍ෂ ජනාධිපති තුමාට ත‍්‍රස්තවාදය හා දෙමළ ජනයාගේ සාධාරණ ඉල්ලීම් අතර වෙනස වටහා ගැනීමට හැකිවීම මේ රටෙන් ත‍්‍රස්තවාදය තුරන් කිරීම සඳහා වූ ගමනේ ප‍්‍රබල පියවරක් වූ බවද මෙහිදී සිහිපත් කළ යුතුමය. ත‍්‍රස්තවාදය තීරණාත්මක ලෙස පරාජයට පත් කිරීමේ අවසන් අවස්ථාවට දැන් රට අවතීර්ණව සිටී. ඒ සතුට කොතරම් ද යන වග ජනතාව උද්දාමයට පත්ව ඇති ආකාරයෙන් පිළිබිඹු වේ.

පූර්ණ නිදහසක්

සෑම නිවසකම ජාතික ධජය ලෙළදෙනු දකින්නට ඇත. මේ තුළින් ජනිත වන්නේ නව නිදහසක් මේ රටට උදාකරදී ඇති බවයි. 48’ දී ලැබී 56’ දි අර්ථවත් වූ නිදහස පූර්ණ නිදහසක් බවට පත්වන්නේ මෙතැන් සිටයි. එහි ගෞරවය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාටත් , වීරෝදාර ආරක්‍ෂක හමුදාවන්ටත් හිමිවෙයි. ඔවුන් විසින් උදාකර දී ඇත්තේ නිදහස් ස්වෛරී - භෞමික අඛණ්ඩතාවය තහවුරු කළ රටකි. එහි සිට සිංහල - දෙමළ - මුස්ලිම් ආදී සියලු ජනකොටස්වලට නිදහසේ හුස්මගන්නට හැකිවනු ඇත. මේ වාතාවරණය වඩාත් පෙරට ගෙන යමින් සංවර්ධනය වේගවත් කර සියලු ජනකොටස්වලට තම හැකියාවන් උද්දීපනය කරමින් රට ගොඩනඟන්නට හැකිවනු ඇත යන්න අපගේ බලවත් විශ්වාසයයි.

ලෝක ඉතිහාසයේ ගමන්මඟ විමසන විට සෑම රටකම පාහේ එක්තරා අවස්ථාවක එම රටේ ගමන් මඟ වෙනස් කිරීම ස¼ඳහා ශ්‍රේෂ්ඨ නායකයන් බිහිවී ඇත. රුසියාවේ - ලෙනින්, ඉන්දියාවේ ගාන්ධි, නේරු, චීනයේ මාඕ, කියුබාවේ කස්ත්‍රෝ, පාකිස්තානයේ අලි ජින්නා, දකුණු අපි‍්‍රකාවේ මැන්ඩෙලා, එවැනි නායකයන්ය. මේ කුඩා දිවයිනේ ගමන් මඟ වෙනස් කිරීම සඳහා ද ශ්‍රේෂ්ඨ නායකත්වයක් නිර්මාණය වී තිබේ. ඒ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමායි. ඔහු එකී නායකත්ව භූමිකාව සපුරාලන බව නිසැකයි.