2009-02-04

නිදහස ගැන ඔවුහු මෙසේ පවසති

නිදහස ගැන ඔවුහු මෙසේ පවසති

1505 දී පෘතුගීසීන් ලංකාවට පැමිණීමත් සමඟම එතෙක් රාජ්‍යයක් ලෙස තිබූ ලංකාවේ නිදහසට බලපෑම් එල්ල විය. මෙසේ ඇරැඹි ආක‍්‍රමණයේ උපරිම අවස්ථාව වූයේ 1815 දී කන්ද උඩරට ඉංගී‍්‍රසීන් අතට පත් වීමෙනි.

එතැන් පටන් අහිමි වූ නිදහස දිනාගැනීමට සියවසකට වැඩි කලක් සියලු ලාංකිකයෝ එකාවන්ව සටන් කළ අතර එහි මහඟු ඵල උදාවූයේ 1948 පෙබරවාරි 4 වෙනි දින ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලැබීමෙන් පසුවය. ලෝකයේ පවතින ආර්ථික, සමාජීය, දේශපාලන, සංස්කෘතික බලපෑම් හමුවේ අප විඳිනුයේ සැබෑ නිදහසක් ද යන්න පිළිබඳ විවිධ මතවාද ජනතාව අතර පවතී.

මේ අද දවසේ ජනතාව නිදහස පිළිබඳ දක්වන අදහස් කිහිපයකි.


ත‍්‍රස්තවාදය සහමුලින්ම නැතිකරන්න ඕනෑ

උපාලි මැදගෙදර
විදුහල්පති
මහනුවර/ අඹතැන්න පුෂ්පදාන මහා විද්‍යාලය

මම නම් හිතන්නේ අපිට සැබෑ ලෙසම නිදහස ලැබුණේ 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් කියලයි. ඒ කොහොම වුණත් දැනට දශක තුනක පමණ ඉඳන් අපි උතුරු නැඟෙනහිර අර්බුදය හමුවේ පීඩාවට පත්වෙලා ඉන්නේ. මීට දශක තුනකට විතර ඉස්සර වෙලා අපි නිදහස කියල යමක් දැක්කා නම් ඒ නිදහස අද අපිට නැතිවෙලා තියෙනවා. අපේ නිදහස අපිට අහිමි කළේ ත‍්‍රස්තවාදය ප‍්‍රධාන වශයෙන් බලපෑම් කරලයි. ඒ නිසා මීට දශක තුනකට ඉස්සරවෙලා අපි ලබාගෙන තිබුණු නිදහස ලබාගැනීමට නම් ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම තුරන් කරන්න ඕනේ.

ත‍්‍රස්තවාදය තුරන් කිරීමේ හැකියාව තියෙන නායකත්වයක් මේ රටට අද ලැබිලා තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක සුබවාදී අනාගතයක් උදාකර ගන්න අපිට පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා.


ජීවත්වීමේ නිදහස උදාවෙලා

ඩී. ඩී. නන්දාවතී - දෙහිවල

අපේ ජීවිතේ හොඳ කාලය ගෙවිලා ඉවරයි. එහෙත් අපේ ප‍්‍රාර්ථනය අපේ දරුවන්ට යහපත් කාලයක් උදාවෙනවා දැකීමයි. ඒ සඳහා අපිට රටක් තියෙන්න ඕනේ. පසුගිය අවුරුදු 20 – 30 ක කාලය ගත්තම අපි විශාල අවිශ්වාසයකින් හිටියේ. ගමනක් බිමනක් යන්න බැහැ. මහ මඟදී බෝම්බ පිපිරෙනවා. දැන් ඒ තත්ත්වය ටික ටික අඩුවෙලා. නිදහසේ ගමනක් බිමනක් යන්න අපේ දරුවන්ට කාලයක් උදාවේවා කියන එකයි මගේ ප‍්‍රාර්ථනාව.


යුද්ධය අවසන් වෙනවනම් කොච්චර හොඳද

පී. එම්. ඒ. හාදි - කළුතර

අද ජනතාව අතර නොයෙක් භේද භින්නකම් ඇතිවෙලා තියෙනවා. ඒ සඳහා අද රටේ තියෙන යුද්ධයත් බලපාලා තියෙන්නේ. අපි සියලු දෙනාම රටක් විදිහට, එකම ජාතියක් විදිහට කටයුතු කරන්න ජාතීන්, ආගම් අතර සමඟිය ඇතිවෙන්න ඕනේ. ඒ සඳහා මේ යුද්ධය අවසන් වෙනවා නම් කොච්චර හොඳද? මම හිතන්නේ ඒ සිහිනය දකින්න අපිට වාසනාව උදාවෙයි කියලයි.


හමුදාවට නිසි නායකත්වයක් ලැබී තියෙනවා

එච්. ජී. සිරිවර්ධන – මැණික්හින්න

අද අපේ රටේ ජනතාව අභියෝග ගණනාවකටම මුහුණපාලා ඉන්නේ. ආර්ථික ප‍්‍රශ්න ගත්තම ජනතාවට යම් අමාරුකමක් තියෙනවා. එහෙත් මේ වන විට අපේ ආරක්‍ෂක හමුදාව විශාල ජයග‍්‍රහණ රැසක් ලබාගනිමින් ත‍්‍රස්තවාදය සහමුලින්ම අතුගාලා දාන්න කටයුතු කරමින් ඉන්න බව පේනවා. මේ වගේ හමුදාවට නිසි නායකත්වය ලැබිලා කටයුතු කරද්දී ජයග‍්‍රහණය ලැබුවහම ආර්ථික, සමාජ ආදී අංශවලින් ජනතාවට යම් යම් අඩුපාඩු තිබුණා නම් ඒක අවසන් කරන්න රජයට හැකි වේවි. ඒ නිසා ජනතාව වශයෙන් අපි බලාගෙන ඉන්නේ මේ නිදහස සැබෑ නිදහසක් වෙන්න ත‍්‍රස්තවාදය විනාශ කරලා රටට සාමය උදාකරයි කියලා.


ඕනෑම රටකට ආදර්ශවත් නායකයෙක් ඕනෑම රටකට ආදර්ශවත් නායකයෙක්

මේ නිදහස සමරන්නේ අපේ රටට ආඩම්බර වෙන්න පුළුවන් නායකයෙක් බිහිකරගෙන බව කියන්න ඕනේ. ඇත්තෙන්ම අපේ ජනාධිපතිතුමා අපේ රටට විතරක් නොවේ, ලෝකයේ ඕනෑම රටකට ආදර්ශමත් නායකයෙක්. ත‍්‍රස්තවාදය අවසන් කිරීම වගේම රටේ ජනතාවගේ ආර්ථික, සමාජ ගැටලුත් නියමාකාරයෙන් හඳුනාගෙන ගෙන යන පාලනයක් එතුමාගේ තියෙන්නේ. මෙහෙම රටට විශ්වාස කරන්න පුළුවන් අනාගතය බාර දෙන්න පුළුවන් නායකත්වයක් රටට ලැබීම මේ නිදහසේදී අපට ලැබුණු මහඟු අවස්ථාවක්.


යහපත් කාලයක් උදාවේවා

වසන්ත අතපත්තු - කඩවත

අපි නිදහස කියලා සමරනවා. එහෙත් රටේ මොන අංශවලද නිදහසක් තියෙන්නේ. දේශපාලනය, ජනමාධ්‍ය, ආර්ථිකය, සංස්කෘතිය මේ හැමදේම පීඩාවට පත්වෙලා තියෙන්නේ. කිසිම දෙයක සැබෑ නිදහසක් නැහැ. ඒ නිසා නිදහස කියලා අර්ථාන්විතව සමරන්න දෙයක් අපිට නැහැ. මෙතෙන්දි රජය මධ්‍යස්ථව මැදිහත් වෙලා කටයුතු කරලා පාලනය ගෙන යනවා නම් රටට යහපත් කාලයක් උදාකර ගන්න මේ නිදහස් දිනයේදී අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් වේවි.


එක පවුලක පිරිසක් සේ ජීවත්වන්න පුළුවන්


ඒ. ජානුෂ්කර් - ශිෂ්‍යයෙක් වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය

රටේ යුද්ධයක් තියෙනවනෙ. ඒ යුද්ධය ඉතා ඉක්මනින් ම ඉවර වෙලා රටටම නිදහස ලැබෙන්න ඕනේ. එතකොට රටේ සෑම අයෙකුටම සහෝදර සහෝදරියෝ වගේ එක පවුලෙ පිරිසක් වගේ ජීවත්වෙන්න පුළුවන් වේවි.


ත‍්‍රස්තවාදය දුරලා ඉදිරියට යන්න හැකිවේව


ලාලනී සමරකෝන්
පුරවැසි අධ්‍යාපනය සහ ප‍්‍රජා පාලනය පිළිබඳ ගුරුතුමියක්

රටක නිදහස කියන්නේ දේශපාලන, ආර්ථික, සමාජීය, ආගමික ආදී පුළුල් ක්ෂේත‍්‍ර ගණනාවකම පැතිරුණ තත්ත්වයක්. අපිට නිදහස ලැබිලා වසර 60 ක් ගතවුණාට ඒ සියලු අංශයන්හි දියුණුවක් එකවර ලබන්න බැරිවුණු බව පේනවා. සර්ව සම්පූර්ණ නිදහසක් ලබාගන්න අද දවසේ අපට තියෙන විශාලතම අභියෝගය තමයි ත‍්‍රස්තවාදය. අපේ මේ පුංචි රටේ සර්ව සම්පූර්ණ නිදහසක් ලබාගන්න මූලික අභියෝගය වෙලා තියෙන ත‍්‍රස්තවාදය විනාශ කරලා ඉදිරියට යන්න අපිට ශක්තිය ලැබෙන නිදහසේ වසරක් වෙයි කියලා මම හිතනවා.


ත‍්‍රස්තවාදයේ අවසානය අත ළඟයි

සුමනා වරාගොඩ - හෝමාගම

මේ අවුරුද්දේදී ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය සම්පූර්ණයෙන් ම නැති වෙන්න ඕනේ. අද අපේ රටේ ජනතාවගෙන් 90% කගේම පවුල්වල කවුරු හරි ආරක්‍ෂක අංශවල සේවය කරනවා. එතකොට රටේ අනාරක්‍ෂිත තත්ත්වයක් තියෙනවා නම් රටේ ජනතාවගෙන් 90% කට සෘජුවම බලපානවා. ඔවුන් මැරි මැරී උපදිනවා. ඒ තත්ත්වයෙන් රටේ ජනතාව මුදාගන්න නම් ත‍්‍රස්තවාදී සටන් ඉතා ඉක්මනින් අවසන් වෙන්න ඕනේ. මම හිතන්නේ මේ නිදහස් දවසේ අපි කාගෙත් ප‍්‍රාර්ථනය සැබෑ නිදහසක් ලබාගැනීමයි. ඒ සඳහා ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම විනාශ කළ යුතුයි.


ජාති භේද ඉවතලා එක්විය යුතුයි

කටුබුළුවේ විනීත හිමි අභිනවාරාමය – රාජගිරිය

නිදහස ලබලා අවුරුදු 61 ක් ගතවුණාට මෙතෙක් සිදුවුණේ රටේ විවිධ ;ලස බෙදීම් ඇතිවෙලා ජනතාව අතර පරතරය වැඩිවෙන එකයි. ඒ හින්දා අපේ රටේ දකුණේ මිනිස්සුන්ට උතුරට, නැඟෙනහිරට යන්න බැරිව ගියා. උතුරේ නැඟෙනහිර මිනිස්සුන්ට දකුණට එන්න බැරිව ගියා. මේ දුරස්භාවය රටේ සංවර්ධනයට හුඟක් බලපෑවා. අපි රටක් වශයෙන් පස්සට ඇදලා දැම්මා. දැන් ඒ බෙදීමට තිත තියන්න කාලය ඇවිත්.

ඒ අනුව උතුරේ ජනතාව දකුණටත්, දකුණේජනතාව උතුරටත් යන සාමකාමී රටක් දකින්න අපිට මේ වසරේදී පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙනවා.


හැමෝම කැමැතියි සාමයෙන් ඉන්න

එල්. සජීවන් ශාන්ත අන්තෝනි විද්‍යාලය – වත්තල

අපි උදේ ඉඳන් හවස් වෙනකම් ඉස්කෝලෙදී සාමය, සමානාත්මතාව, නිදහස ගැන ඉගෙන ගන්නවා. ඒත් එළියට බැහැලා බලපුවාම ඒ තත්ත්වය නැහැ වගේ පේනවා. හැමෝම කැමැතියි සාමයෙන් ඉන්න. ඒත් ඒක රටට ලැබිලා නැහැ. රටේ හැමෝටම සැබෑම නිදහසක් ලබාගන්න වරම් ලැබේවා කියලා මම ප‍්‍රාර්ථනා කරනවා.


සැබෑ නිදහස උරුමවන යුගයක්
සරත් කුඹුරේගෙදර – පාදුක්ක

මෙච්චර කාලයක් අපේ දේශපාලඥයෝ නිදහස කියන වචනයට මුවාවෙලා අපිව රැවැට්ටුවා. එහෙත් අපිට නිදහස කියලා දෙයක් තිබුණේ නැහැ. දැන් තමයි අපිට සැබෑ නිදහස උරුම වෙන යුගය. ඒ ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් යුගයයි මේ. කවදාවත් ඡන්ද කරන්න බෑ කියපු ප‍්‍රභාකරන් බොරුවට වීරයෙක් වෙලා හිටපු ප‍්‍රභාකරන් පරද්දන්න බැහැ කියලා මුළු ලෝකයම කියලා තියෙද්දි ජනතාව මානසිකව කඩාවැටිලා මානසික මට්ටම බිංදුවට වැටිලා හිටියේ. ඒත් මහින්ද මහත්තයා ජනාධිපති වුණාට පස්සේ අපිට අපේම රටක් කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් තත්ත්වය ඇතිවෙලා තියෙනවා.

දෙකට නැමෙන්නෙ නැති කෙලින් වැඩ කරන නායකත්වයක් යටතේ මෙවර නිදහස සැමරීමට ලැබීමත් ලොකුම ජයග‍්‍රහණයක් කියලා මම හිතනවා.


නිදහස ශක්තිමත් කෙළේ එකමුතුකමයි
කේ. සමරනායක – අත්තනගල්ල

1815 දී අපේ රට සම්පූර්ණයෙන් ම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ පාලනයට නතුවුණා. එදා ඉඳන් වසර සිය ගණනක් සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් පිළිබඳ නොසලකා එකාවන්ව සටන් කරලා බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගත්තා. ඒ 1948 – 02 – 04 වෙනිදායි. එදා අපේ නිදහස ශක්තිමත් කළේ රටේ පුරවැසියන්ගේ තිබුණු එකමුතුකමයි.

එහෙම බලනකොට ජාතීන් අතර, ආගම් අතර සමඟියක් තියෙනවා නම් තමයි නිදහස කියලා කියන්න පුළුවන් වෙන්නේ. අද දවසේ අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කියන සෑම ජනකොට්ඨාසයක්ම ත‍්‍රස්තවාදය තුරන්කිරීම කියන එකම අරමුණට ඇවිල්ලා. ඒ කියන්නේ එකමුතුකම අපි අතරේ නිර්මාණය වෙනවා. ඒ තමයි සැබෑ නිදහසේ වටිනාකම. වැඩි කාලයක් නොගොස් ඒ සමඟිය, සහජීවනය ඇතිකරගන්න අපිට පුළුවන් වේවි.


පළමුව මවුබිම
පී. එල්. විජේපාල – මීගොඩ

නිදහස කියලා කිව්වට අපිට හරි හමන් නිදහසක් තවම නැහැ. රටේ දකුණේ ඉඳන් උතුරට යන්න බැහැ. දකුණේ වුණත් යන්න වෙලා තියෙන්නේ මර බයේ. මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනේ. ඒ සඳහා ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය බලපාලා තියෙන්නේ. මේක ඉක්මනින් ඉවර කරන්න හමුදාවලට, ජනාධිපතිතුමාට ශක්තිය ලැබෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි සැබෑ නිදහස අපිට ලැබෙන්නේ.

රටේ ආර්ථික ප‍්‍රශ්න තියෙනවා කියලා සමහර පිරිස් කෑගහනවා. ඇත්තෙන්ම අපිට රටක් තියෙන්න ඕනේ. බඩ හිතන්න. බඩ ගැන පස්සෙ හිතමු. රට ගැන හිතලා එකා වගේ රටේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැප වෙන්න වැඩපිළිවෙළක් සකස් කර ගන්න කටයුතු කරමු.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා