නිදහස අර්ථවත්වන්නට නම්...

නිදහස අර්ථවත්වන්නට නම්...

ශ‍්‍රී ලංකාව යටත් විජිත භාවයෙන් මිදී නිදහස ලබා වසර 61කට පා තබන මේ මොහොත ප‍්‍රබල කඩඉමක්, සන්ධිස්ථානයක් වශයෙන් හැඳින්වීම හැම අතින් ම උචිත ය.

වසර 61ක් නැත්නම් දසක හයකට ප‍්‍රවේශවීම විශ්වයේ පැවැත්මෙන් ඉතාම කෙටි කාල පරාසයක්වුව ද මිනිස් ජීවිතයකින් නම් දිගු කාල පරිච්ඡේදයකි.

මේ දිගු කාලය ඇතුළත අප නිදහස අර්ථවත් කිරීමට පියවර ගත්ත ද යන්න සොයා බැලීම වටී.

මෙදා නිදහස සැමරීමේ දී ඉතාම වැදගත්වන්නේ දසක තුනකටත් වඩා කාලයක් ජාතික ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් දැඩි අර්බුදයක පැවැති අවස්ථාවක එම අර්බුදය සමනය කරලිමට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඍජු ප‍්‍රතිපත්තියක් අනුගමනය කොට එම අර්බුදයට නිසි පිළියම් යෙදීම අනුවය.

කොටි ත‍්‍රස්තවාදයෙන් මේ රටේ සාමය පළුදුවී, ආර්ථිකයට බරපතළ හානි සිදුවී, දැඩි අසහනකාරී තත්ත්වයකට සමාජය පත්ව ඇති සමයක වත්මන් ජනාධිපතිවරයා යුද්ධය ද එහෙම නැත්නම් සාමය ද යන අන්ත දෙකෙන් එකක් තෝරාගෙන ගතයුතු පියවර කුමක් ද යන්න මැනවින් තෝරා බේරා ගැනීම ප‍්‍රශස්ත කරුණකි.

කොටි ත‍්‍රස්තවාදීන්ගේ අවසන් බළකොටුව වූ මුලතිව් නගරය ද හමුදාව පසුගියදා මුළුමනින් ම අල්ලා ගන්නා ලදී. ඊළාම් රාජ්‍යයක් ගොඩනැගීමේ සිහිනය බොඳකොට ඒකීය රාජ්‍ය තත්ත්වය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙදා නිදහස අපට අර්ථවත් අයුරින් සැමරිය හැකි ය.

බෙදා වෙන් කරන්නට ගිය රාජ්‍යයක් නොබෙදා ඒකීය රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්නට රාජ්‍ය නායකයා වශයෙන් සිදුකළ මහ මෙහෙවර ඉතිහාසයේ රන් අකුරින් ලියැවේ.

යථාර්ථය තේරුම් ගැනීම

මෙයට පෙර සිටි රාජ්‍ය නායකයන් මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඍජු තීරණයක්, ප‍්‍රතිපත්තියක් ගත්තේ නැත. කොටි ත‍්‍රස්තවාදියාට නැති ශක්තියක් ආරෝපණය කොට ඔහුට ඊළාම් සිහිනය සැබෑ කරගන්නට පසුබිම සැකැසීම මත එම නායකයන් එයට මුළුමනින් ම වගකිවයුතුය.

මේ යථාර්ථය තේරුම් බේරුම් කරගත් වත්මන් ජනාධිපතිවරයා දේශපාලන විසඳුම ද? එහෙමත් නැත්නම් යුද්ධය ද යන ආකල්පයේ රැඳී, මේ අන්ත දෙකෙන් එකක් තෝරා ගත යුතු යයි ඍජුවම කියා සිටියේ ය.

දේශපාලන විසඳුමට නැඹුරුවීමක් අරබයා යහපත් ප‍්‍රතිචාරයක් නොලද හෙයින් යුද්ධමය විසඳුමට නැඹුරුවීම මත කොටි ත‍්‍රස්තවාදියාගේ සියලු ශක්තිය සිඳ–බිඳ අද්‍යතන අවදියේ කොටි බලය සහමුලින් ම මුලෝත්පාටනය කොට දැමීම මත මෙදා නිදහස තවත් අර්ථවත් වේ.

පෘථුලාර්ථය

නිදහස යන වදන මතුපිටින් සරලාර්ථයක් ගෙනදුන්න ද එහි පවත්නා අරුත පෘථුලාර්ථයයි. සරලාර්ථයෙන් සිතීම හේතුකොටගෙන එය ලඝුකොට සලකන ලද්දේ, ඒ හේතුව නිසාම පූර්ණ ආර්ථික නිදහස කරා යන්නට අප මෙතෙක් අපොහොසත් වී ඇත.

දේශපාලන, කතාකිරීමේ නිදහස හා ආගමික නිදහස යන ති‍්‍රත්වය තිබුණ ද ආර්ථික නිදහස නැත්නම් යට කී ති‍්‍රත්වය අංග සම්පූර්ණ නොවේ. නිදහස වඩාත් ප‍්‍රබල තලයකට කේන්ද්‍රවන්නේ ආර්ථික නිදහස මතය. ආර්ථික නිදහස කරා යන්නට නම් 61 වැනි නිදහස සමරන මේ මොහොතේ අප කෙරෙහි දැඩි අදිනටක් ඇති කරගත යුතු ය.

අර්ථ විග‍්‍රහය

නි–ද–හ-ස යන වදන විග‍්‍රහකළ හොත් මෙසේ ය. ‘නි’ යන්නෙන් අර්ථ දක්වන්නේ නිවැරැදි දැකීමයි. නිවැරැදි දැක්මක් නොමැතිව අපට සමාජ ප‍්‍රගතියක් දැකිය නොහැකිය. යහපත–අයහපත හා හොඳ–නරක සම්බන්ධයෙන් නිවැරැදි දැක්මත් අප කෙරෙහි තිබිය යුතු ය. මේ දැක් ම නොමැතිව අපට සංවර්ධනය කරා පිය නඟන්නට නොහැකි ය.

විවිධ දෘෂ්ටිගතව තීරණ ගැනීමේ දී සමාජයට, රටට බද්ධවන තීරණ ගැනීමේ අරමුණක් අප කෙරෙහි අනවරතයෙන් ම තිබිය යුතුය. එම තීරණයේ මංමුළා වූ ස්වරූපයක් නොතිබිය යුතු ය. මැදහත් සිතින් යුතුව රටේ ප‍්‍රගතියට අනුකූලවන අන්දමින් ස්වකීය දෘෂ්ටිය මෙහෙයවිය යුතු ය.

නිදහස ලබා බොහෝදුරක් පැමිණීම මත මේ පුළුල් දෘෂ්ටිය අතිශයින් ම වැදගත්වේ. සමාජාශ‍්‍රිත හා පුද්ගලාශ‍්‍රිතව මේ දෘෂ්ටිය නැත්නම් දැක් ම බද්ධ විය යුතුය. ‘ද’ යන්නෙන් හෙළි කරන්නේ දත්ත ඔස්සේ සිය පරිකල්පනය මෙහෙයවීමය. සමාජයේ පවත්නා සිද්ධාන්ත පදනම් කරගෙන සමාජ රටාව සැකැසිය යුතුය.

ස්වකීය චින්තනය

සමාජය පුරා සිදුවන්නේ කුමක්දැයි අප අවදියෙන් සිටිය යුතු ය. මේ සමාජ නියතය නිදහස අර්ථවත් කරන්නට අතිශයින් ම මහෝපකාරී වේ. ක‍්‍රමෝපායයන් ඔස්සේ ස්වකීය චින්තනය මෙහෙයවිය යුතු ය. ගතානුගතික දෑ වලින් තොරව නව නිර්මාණ කෙරෙහි අපේ විඥානය මෙහෙයවිය යුතුය.

දත්ත ප‍්‍රබල සාධකයක් බවට පරිවර්තනය වන්නේ එවිටය.

‘හ’ යන්නෙන් හෙළි කරන්නේ හරවත් දේ උකහා ගැනීමයි. හරවත් හා හරසුන් යනු අංශ ද්වයකි. අප බොහෝ විට යොමුවන්නේ අර්ථශුන්‍ය නැත්නම් හරසුන් දෑ කෙරෙහි ය. ඒ හේතුව නිසාම අපේ ප‍්‍රගතිය ආපස්සට ගොස් ඇත. මේ වැදගත් කඩඉමේ සිතට ගත යුතු විෂයාහරිත කරුණවන්නේ් හරවත් දේ පමණක් උකහා ගැනීමය. අර්ථශුන්‍ය දෑ බැහැරකොට අර්ථ පූර්ණ දේ ගුරුකොට ගෙන අපේ ආර්ථික හා සමාජ රටාව ප‍්‍රගමනයට පත්කළ යුතු ය. එය අප සතු ප‍්‍රබල කාරියකි.

නිදහසෙන් ඵල නෙළාගත් රටවල් දෙසට අප නෙත් හෙළිය යුතු ය. එම ස්වරූපය අප මැනවින් අවබෝධකොටගත යුතු ය. ‘ස’යන අක්ෂරයෙන් මතුකරන්නේ සමාජ සත්‍යයයි. මේ සත්‍ය මත අපගේ සමාජ රටාව පුළුල්විය යුතුය. අසත්‍ය මත රැඳුනොත් එතැන සමාජ ප‍්‍රගතියක් ඇතිවන්නේ නැත.

සමාජයේ වෙසෙන සියලුම දෙනා සමාජ සත්‍ය කෙරෙහි නැඹුරුවිය යුතු ය. මේ මගේ රටය එම රට සංවර්ධනය කළ යුතු ය, එවිටයි අපට පැවැත්මක් ඇත්තේ යන නියතය කර පින්නා ගත යුතුය. මේ සමාජ සත්‍ය අප කරපින්නා ගන්නේ ද යන්න ගැන අප අපගෙන් ම විමසිය යුතු කරුණකි.

යුතුකම් හා වගකීම්

බොහෝවිට අප අතින් මෙතෙක් සිදුවූයේ ‘අයිතිවාසිකම්’ උදෙසා සටන් වැදීමය. එහෙත් ‘යුතුකම්’ හා ‘වගකීම්’ කෙරෙහි අප සටන් කළා ද? නැත යන්න ඍජුවම දිය හැකි පිළිතුරයි. අප අතින් යුතුකම් හා වගකීම් නිතැතින් ම සිදුවූයේ නම් අයිතිය එතැන රැඳී ඇත. බුද්ධ දේශනාවේ සඳහන් වී ඇත්තේ වගකීම් හා යුතුකම් ගැන පමණි. අයිතිය ගැන කිසිදු තැනක සඳහන් වී නොමැත.

ඒ මන් ද යත් වගකීම් හා යුතුකම් ඉටුකළ තැන අයිතිය නිතැතින් ම ඉටුවේ. එහෙත් අප අතින් සිදුවන්නේ එහිඅනෙක් පැත්ත ය.

පූර්ණ වගකීම

දේශපාලන විචාරකයකු වූ ජෝර්ජ් බ්ලේක් සඳහන් කෙළේ ‘නිදහස අර්ථ පූර්ණ කර ගැනීමේ පූර්ණ වගකීම රැඳී ඇත්තේ සමාජයේ සාමාජිකයන් අතය යන්නය.’ මේ අදහස කෙරෙහි අප වඩාත් නැඹුරුවිය යුතුය.

අප කෙරෙහි අදීනව නැඟී සිටීමේ ශක්තියක්, හැකියාවක් අනවරතයෙන් ම තිබිය යුතුය. අභිමානයෙන් ද අදීනව ද නැඟීසිටීමට අපට දිරියක් තිබිය යුතු ය. එවන් තත්ත්වයක් අපට තිබේ ද? එය අපෙන් ම විමසිය යුතු කරුණකි.

යා යුතු ඉසව්වක්, නිම්නයක් ඇත. ඒ ඉසව්ව, නිම්නය වන්නේ ආර්ථික ශක්‍යතාවයි.

ඕනෑම අංශයක නිදහස තිබුණ ද ආර්ථික නිදහසක් නැත්නම් එම නිදහස අර්ථපූර්ණ නොවේ. එසේ නොවුණහොත් නිදහස භාවයට පමණක් සීමාවේ.

අප කෙරෙහි පවත්නා පටු පරමාර්ථ බැහැරකොට පුළුල් වූ පරමාර්ථ කෙරෙහි නැඹුරුවිය යුතු ය. පටු පරමාර්ථ සාධනය ඉදිරිය වළකාලයි. ආර්ථික නිම්නය කරා යන්නට නම් පුළුල් පරමාර්ථ අප පොදි බැඳගත යුතුය.

මේතාක් අප කෙරෙහි පැවැතුණේ පටු පරමාර්ථ සාධනයයි. ආත්මාර්ථකාමි හැඟීම් කරපින්නා ගැනීමකි. 61 වැනි නිදහස සමරන මේ මොහොතේ පරාර්ථකාමීත්වය හා පුළුල් වූ පරමාර්ථ ඔස්සේ අපේ චින්තනය රෝක්ත විය යුතුය.

මෙවලම් රාශියක්

නිදහස න්‍යායයන්වලට පමණක් සීමා නොවී ප‍්‍රායෝගික පැත්තට නැඹුරුවිය යුතු ය. න්‍යායයන් මත රැඳී සිටීමෙන් නිසි නිදහස භªක්ති විඳිය නොහැකිය.

නිදහස අර්ථපූර්ණ කරගන්නට මෙවලම් රාශියක් සමුච්ඡ ගත කොටගත යුතු ය.

හුදු වදනට පමණක් සීමානොකොට පරාර්ථකාමී හඟීමෙන් යුතු ව ස්වකීය රාජකාරියේ යෙදිය යුතු ය.

පැය 8 සීමාවෙන් බැහැරව අප සියලු දෙනා ම වැඩකළහොත් නිසි නිදහස අපට භªක්ති විදිය හැකිය, ඵල නෙළාගත හැකිය.

වේලාව-අවේලාව ගැන නොබලා, අව්ව-වැස්ස සම්බන්ධයෙන් නොසිතා, දිවා-රෑ නොතකා අප වැඩ කරන්නට පුරුදු වුවහොත් නියම නිදහස වැඩි ඈතක නොමැත.

ආර්ථික නිදහස භක්ති විඳින්නට අපි දැඩි ආශාවකින් සිටින්නෙමු. ඒ සඳහා කැපවීම අතිශයින් ම අවශ්‍ය වේ. කැපවීම නැත්නම් රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ප‍්‍රගතියක් ඇති නොවන්නේමැයි.

සාමය නැති තැන නිදහසට බාධා ඇතිවේ. නිදහස නිසි අයුරින් භªක්ති විඳින්නට අපට සාමයක් දැන් උදා වී ඇත.

ඒ ත‍්‍රස්තවාදය මුලෝත්පාටනය කිරීමේ අදියරට ප‍්‍රවේශ වී ඇති හෙයිනි.

කැපකිරීම

මෙතෙක් ආර්ථික නිදහසට බාධාවක් වූ කොටි ත‍්‍රස්තවාදය සමූලඝාතනය කොට ඇති හෙයින් ජනාධිපතිගේ ඍජු නායකත්වය හා තීරණ ගැනීමේ හැකියාව අප අගය කළ යුතුය.

කැපවීම, හැඟීම, වගකීම, යුතුකම හා අපේය යන වදන් පංචකය අපේ ශබ්දකෝෂයට ඈඳ්‍ර ගැනීමට මෙදා නිදහස් දින දා අප සැවොම ප‍්‍රතිඥා දුන්නොත් සිතට ගත්තොත් ඊළඟ නිදහස් දින මෙදාට වඩා ඵලදායි වනවාට කිසිදු සැකයක් නොමැත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා