එජාපයත් ජවිපෙත් අපට අභියෝගයක් නොවේ

 





එජාපයත් ජවිපෙත් අපට අභියෝගයක් නොවේ

- පරාක‍්‍රම දිසානායක

වසර දොළහක කාලයක් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කැර කෝප‍්‍රල් තනතුර දක්වා පැමිණි, පරාක‍්‍රම දිසානායක මහතා නාගරික සංවර්ධන අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ සොහොයුරාය. එසේම ඔහු අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස ද කටයුතු කරයි. රණවිරුවකු ලෙසින් මෙවර මධ්‍යම පළාත් සභා මැතිවරණය සඳහා මාතලේ දිස්ති‍්‍රක්කයෙන් ඉදිරිපත්ව සිටින ඒ මහතා සමඟ “දිනමිණ” කළ සංවාදය යි මේ.

මෙවර පළාත් සභා මැතිවරණයේදී රජය පරාජය කිරීමේ පළමු වෙඩි මුරය තබන බවට එජාපය හා ජවිපෙ ප‍්‍රකාශ කරනවා. එජනිසය මේ අභියෝගය ජය ගන්නේ කෙසේද?

මේ පක්ෂ දෙක ම අපිට කිසිදු අභියෝගයක් නෑ. අපි කියන්නේ විශේෂයෙන් මේ අයට මේ මැතිවරණයේ දී අපිට තරගයක් ලබා දෙන්න කියලා. අද එජාපයෙන් මෙන් ම ජවිපෙන් ද අපේ පැමිණෙන පිරිස් දිහා බැලුවාම මේ තත්ත්වය හොඳට ම පැහැදිලි වෙනවා. එජාපය මෙන් ම ජනතා විමුක්ති පෙරමුණත් අද නායයනවා. නැත්නම් මැතිවරණයට ඉදිරිපත්වුණු ජනතා විමුක්ති පෙරමුණේ සරත් විජේසිංහ ඉන් ඉවත්්ව රජයට එක්්වේද?

මම කියනවා ජවිපෙට එකදු මන්තී‍්‍ර ධුරයක්වත් මාතලේ දිස්ති‍්‍රක්කයෙන් ලබා ගැනීමට බැරි බව. එජාපයට ලබා ගැනීමට හැකි වූවොත් වැඩි ම වශයෙන් ලබාගැනීමට හැකිවන්නේ මන්තී‍්‍රධුර දෙකයි. මාතලේ දිස්ති‍්‍රක්කයෙන් සන්ධානයේ අටක් නියත ලෙසම පළාත් සභාවට තේරී පත්වෙනවා.

ත‍්‍රස්තවාදය පරාජය කිරීම මෙන්ම රටේ සංවර්ධනයත් නිසි ලෙස අද සිදුවෙමින් තිබෙනවා. ලෝක අර්බුද හමුවේ නොසැලී නොබියව ඍජු තීන්දු තීරණ ගනිමින් රට ගොඩනැන්වීම ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ රජය ගෙනයන වැඩපිළිවෙළට අද රට පුරා ජනතාව එක්ව සිටින්නේ් පක්ෂ භේදයෙන් තොරවයි. රජයක, පක්ෂයක ශක්තිය ජනතාවයි.අද ඒ ශක්තිය අප වටා රොක් වී සිටිනවා. එනිසා මේ මැතිවරණයේදී වාර්තාපිට වාර්තා තබමින් සන්ධානය අතිවිශිෂ්ට ජයක් ලබනවා. එමෙන් ම වත්මන් රජය ද කිසිදු බලවේගයකට බිඳලිය නොහැකි බැව් මේ මැතිවරණයේදී ඔප්පු කැර පෙන්වනවා.

ඔබ ප‍්‍රකාශ කළ පරිදි ත‍්‍රස්තවාදය සැබෑ ලෙස පරාජය කිරීම මේ මොහොතේ සිදු වන බැව් කිසිදු භේදයකින් තොරව පිළිගන්නා කරුණක්, එහෙත් රණවිරුවන් ලබා ගන්නා එම ජයග‍්‍රහණ දේශපාලන වාසියට හරවා ගන්නා බවට රජයට චෝදනාවක් තිබෙනවා නේද?

මේ විදිහට කියන්නේ යුද්ධය දන්නේ නැති අයයි. වසර දොළහක් හමුදාවේ සිටි අයෙකු විදිහට මම දන්නවා ඒ ගැන රණවිරුවන්ට යුද්ධය නිසි ලෙස ඉටු කරන්න නිවැරැදි නායකත්වය අවශ්‍යයි. රාජ්‍ය නායකයා මෙන්ම සේනාධිනායකයා ලෙස වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ඒ සඳහා නිවැරැදි නායකත්වය ලබා දෙනවා.

එදා කොටි ත‍්‍රස්තවාදීන් අපේ හමුදා කඳවුරු ඉදිරිපිටට විත් විවිධ අපහාස උපහාස කරමින් හමුදාව අකී‍්‍රය කළා. එමෙන්්ම කොටින්ට අවි ආයුධ මුදල් ආහාර සිමෙන්ති ආදිය ලබාදෙමින් ඇතමුන් එල්ටීටීඊය පෝෂණය කළා. රණවිරුවන්ට නිසි නායකත්වය මඟපෙන්වීම එදා ලැබුණේ නැහැ. මේ තත්ත්වය යටතේ කොටි ත‍්‍රස්තවාදීන්ට රටෙහි පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ඉහළ තැනක් ලබාදුන්නා.

සාම ගිවිසුම් කියමින් එදා කොටිනට ගුවන්විදුලි සම්ප්‍රේෂණ උපකරණ ලබාදීමට කි‍්‍රයා කළ අය කොහොමද යුද්ධයට නිසි නායකත්වය ලබා දෙන්නේ.

අද රණවිරුවනට අවශ්‍ය සියලු අවි ආයුධ උපකරණ ඇඳුම් පැළඳුම් ලබා දෙනවා. වැටුප් ඇගැයීම් නිසි ලෙස ලබා දෙනවා. ඔවුන්ගේ පවුල්වල අයට සෑම සහනයක් ම ලබා දෙන අතර රණවිරු පවුල්වල දරුවන් පාසල් කරා ඇතුළත් කැර ගැනීමේදී මුල්තැන ලබා දෙනවා.

සේනාධි නායකයා ලෙස ජනාධිපතිතුමන් අප හමුදාවට අන්තර්ජාතික වශයෙන් ද කීර්තියක් ලබා දී තිබෙනවා. මෙවැනි පසුබිමක් යටතේ හමුදාවත් පොදුවේ රටේ ජනතාවත් ජනාධිපතිතුමන්ට ත‍්‍රස්තවාදය පරාජය කරලීමේ වැඩපිළිවෙළෙහි ගෞරවය ලබා දෙනවා. මෙය ඉවසා දරාගත නොහැකි පටු දේශපාලන අදහස් දරන උදවිය නිකරුණේ විවිධ චෝදනා එල්ල කළත් දැයේ රණවිරුවනගේ මෙන්ම ජනතාවගේ ආශිර්වාදය නිරතුරුව ජනාධිපතිතුමන්ට හිමි වෙනවා.

යුද්ධය මුල්තැනට යොදා ගනිමින් එහි වාසිය හැමදාම රජයට ලබා ගත නොහැකි බැව් එජාපයත් ජවිපෙත් පවසනවා මෙය ඔබ පිළිගන්නවාද?

එදා සමහරුන් හිඟන්නාගේ තුවාලය බවට මේ යුද්ධය පත් කැර ගනු ලැබූව ද අද එය හිඟන්නාගේ තුවාලයක් බවට පත් නොකරගෙන ත‍්‍රස්තවාදයට නිසි පිළිතුරු ලබා දෙනවා. මේ වසර අවසන් වීමට පෙර ත‍්‍රස්තවාදය මුළුමනින් ම පරාජය කැර නැඟෙනහිර මෙන් ම උතුරේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට හැකිවේවි. එදා යුද්ධ කළ හමුදා භටයකු ලෙස මට මේ පිළිබඳ පැහැදිලිව කියන්න පුළුවන් අද අපේ හමුදා විරුවනගේ වික‍්‍රමයන් ඉදිරියේ කොටින්ගේ සියලු යුද උපක‍්‍රම බිඳී අවසානයි. නුදුරේදීම ත‍්‍රස්තවාදයෙන් මුළුමනින් ම මුදා ගත් පසු රට මෙයට වඩා ශීඝ‍්‍ර සංවර්ධනයකට ගෙනයනවා. එනිසා එදත් අදත් හෙටත් ජනතාව සන්ධානය සමඟ යි.

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ දේශපාලන පරපුර ගෙන යාම සඳහා ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත් කැර තිබෙන මැතිවරණයක් බවට මෙවර පළාත් සභා මැතිවරණය ජවිපෙ විසින් හඳුන්වා දෙනවා. ඔබත් එම චෝදනාවට ලක්වෙනවා නේද?

මම දේශපාලනයට ආවේ මගේ සොහොයුරා වන අමාත්‍ය රෝහණ දිසානායක මහතා මගේ සහෝදරයා වන නිසාම නොවේ. පසුගිය වකවානුව පුරා මා මාතලේ ජනතාව ළඟින්ම සිටියා. ඔවුන්ගේ නොයෙක් ප‍්‍රශ්න, ගැටලුවලදී, ඒවා විසඳ්‍රලීම උදෙසා මට හැකි උපරිම සහාය ලබා දුන්නා. මේ මැතිවරණයට ඉදිරිපත් වුණේ මගෙන් ජනතාව විශාල වශයෙන් කළ ඉල්ලීම් නිසයි.

එදා ඩී. එස්. සේනානායක මහතාගේ කාලයේ සිට විවිධ වකවානුවල ඥාතීන් එක්ව දේශපාලනයේ හිටියා. අදත් එහෙමයි. ඒක නොවෙයි වැදගත්කම ඔවුන්ගෙන් ඉටුවන සේවය තමයි වැදගත්කම. විශේෂයෙන් මං මේ මැතිවරණයට ඉදිරිපත් වුණේ රණවිරුවකු ලෙසයි. ඒ නිසා මට අපේ පක්ෂය පැත්තෙනුත් විශාල ඉල්ලීමක් තිබුණා. මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳ මං ජනතාව සම¼ඟ කාලයක් තිස්සේ හිටපු අයෙක්. මං හිතනවා මාතලේ ජනතාව මා පිළිබඳ විශ්වාසයක් තබා ඇති බව.

එක්සත් ජාතික පක්ෂයේ අලුවිහාරේ පරපුරෙන් තොරව මාතලේ දේශපාලනයක් කිරීමට ඉඩක් නොමැති බවට චෝදනාවක්. ඉදිරියේදී දිසානායක පරපුර හරහාත් එවැනි තත්ත්වයක් ඇති වේද?

අලුවිහාරේ පරපුරේ අය මාතලේ දේශපාලනයේ අන් අයෙකුට ඉඩක් ලබා නොදෙන ආකාරයට අපේ පක්ෂයේ එහෙම තත්ත්වයක් නැහැ. එහෙම තත්ත්වයක් ඇති වෙන්නෙත් නැහැ. ශී‍්‍රලනිපයේ අපි හැම දෙනාම එක්ව කි‍්‍රයාකරනවා. අපේ පක්ෂයෙන් ඕනෑම අයෙකුට මාතලේ දේශපාලනයේ ඉදිරියට ඒමට අවස්ථාව තිබෙනවා. හැබැයි එය ජනතාව අනුමත කරන්න ඕනෑ.

එදා ඡන්ද මැෂිම කියූ එස්. බී. දිසානායක මහතා එජාපයේ ප‍්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා ලෙස තරග කරනවා. එය සන්ධානයට අභියෝගයක් නොවේද?

ඒ මහතා ඡන්ද මැෂිම වූයේ ශී‍්‍රලනිපයේ සිටියදීය. එජාපයට ගියාට පස්සේද එකම මැතිවරණයක්වත් ජයග‍්‍රහණය සඳහා මෙහෙයවීමට ඔහුට නොහැකි වුණා. එදා හැඳින්වූ ඡන්ද මැෂිමේ හොඳ ම අමතර කොටස් ටික අද අපේ පැත්තේ. සාලිය දිසානායක මහතා ඇතුළු ඔහුගේ වැඩක් කළ හැකි සහෝදරයන් අද අපේ පැත්තේ. මෙනිසා එස්. බී. දිසානායක මහතා මොන කයිවාරු ගැසුවත් අපට කිසිදු අභියෝගයක් නැහැ.

සංවර්ධනය පිළිබඳ රජය මොන කරුණ දැක්වූවත් ග‍්‍රාමීය මට්ටමේ සංවර්ධනයක් රටෙහි සිදුව නොමැති බවට එජාපයත් ජවිපෙත් රජයට චෝදනා නඟනවා නේද?

ඔය චෝදනා දේශපාලන වාසි උදෙසා පදනම් විරහිතව නගන චෝදනා. චෝදනා නගන අයට මම කියනවා ගම්වලට ගිහින් සංවර්ධනය බලන්න කියා. ගම්වලට පය නොගහන එජාපයේ ටයිකෝට් කාරයන්ටයි කයිවාරු ගහන ජවිපෙ පිරිස්වලටයි ගමේ සංවර්ධනය පෙනෙන්නේ නැහැ.

සාකච්ඡා කෙළේ
ඉන්දික පොල්කොටුව

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා