කොටි ත‍්‍රස්තවාදයෙන් මුදාගත් ශී‍්‍ර ලංකාවේ . . .

කොටි ත‍්‍රස්තවාදයෙන් මුදාගත් ශී‍්‍ර ලංකාවේ
61 නිදහස් සමරුව - අභිමානයෙන් සමරමු!

අපේ නිජබිම වූ ශී‍්‍ර ලංකාව අභිමානවත් වූ ගාම්භීර ඉතිහාසයකට උරුමකම් කියන රටකි. සියවස් ගණනාවක් තිස්සේ මෙය ලංකාපුරය, හෙළදිව, තම්බපන්නිය ටැප්රොබේන් හා සිරිලක ලක්දිව යන විවිධ නම් වලින් හඳුන්වා ඇත. මෙයින් සියවස් 15කට පෙර, එනම් ශී‍්‍ර සම්බුද්ධ වර්ෂ 2145 ඇසළ මස 5 වැනිදාවක ලොරෙන්සෝද අල්මේදා නම් වූ පෘතුගීසි වෙළෙද නාවිකයා ඇතුළු 300 ක් පමණ වන පිරිස රුවල් නැව් කීපයකින් අප දිවයිනට ගොඩබැසීමත් සමගම රටට අඳුරු සමයක් උදාවීම ඇරැඹිණි.

සිංහල රාජාවලිය

සිංහල රාජාවලියට කණකොකා හැඬුවේත්, සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉදිරි ගමන යම් තරමකට කණපිට හැරවූයේත් පෘතුගීසි ආක‍්‍රමණිකයන් පැමිණීමත් සමග යැයි කිවහොත් මේ රටේ ඉතිහාසය හැදෑරූ කිසිවෙක් මා හා උරණ නොවනු ඇතැයි විශ්වාස කරමි.

එදා මෙදා තුර විවිධ අරමුණු ඇතිව මෙරට ආක‍්‍රමණය කළ පෘතුගීසි ලන්දේසි ප‍්‍රංස ඉංගී‍්‍රසි ඈ යුරෝපියන්ගේ ග‍්‍රහණයට නතුවූ සිංහල ජාතියට වසර 450කට අධික වූ කාල පරාසයක් පරාධීනව සිටීමට සිදුවිය. රජු හෙවත් රටේ පාලකයා රූකඩයක්ව දුර්වල වූ තැන රටත්, රට වැසියාත් නියත වශයෙන්ම අසරණ වන බව අමුතුවෙන් කිවයුතු නැත.

පාලකයා දුරදිග නොබලා අඥානව කටයුතු කිරීම, බලය උදෙසා එකිනෙකා අතර ඇතිවන ඇණකොටා ගැනීම්, අසමගිය හා භේදභින්න වීම පාලකයන් හා පාලිතයන් දුරස්ථව තැබීමට බෙහෙවින් හේතුවන බවත්, රටත් රාජ්‍යයත් විනාශ වීමට පවා එය හේතුවන බව අපේ රටෙන් මෙන්ම ලෝක ඉතිහාසයෙන්ද දීමට කොතෙකුත් උදාහරණ ද අප සතුව ඇත.

තුනුරුවගේත්, ශාසනාරක්ෂක දෙවි බඹුන්ගේත් රැකවරණය සිරිලක් මවට කවදත් උරුමව ඇති හෙයින් රටට විපතක් සිදුවන හැම අවස්ථාවකදීම රටත් දැයත් සමයත් බේරා ගැනීමට හෙළ විරුවන් මේ මිහිපිට බිහිව ඇති බව අපේ ඉතිහාසය මොනවට කියා පායි.

දුටුගැමුණු,වලගම්බා

සිරිලක එක සේසත් කළ හෙළදිව හෙවත් ලංකාපුරය, ලෝක ඉතිහාසයටත්, ලෝක සිතියමටත් එක්කළ මහා රාවණ නරපතියාගේ පරපුරෙන් පැවත එන පරම්පරාවකට උරුමකම් ඇති දෙවනපෑතිස් , දුටුගැමුණු,වලගම්බා , කීර්ති විජයබාහු හා මහා පරාක‍්‍රම ආදී නරවිරුවන්ගෙන් පටන්ගෙන පැවත එන වීර මද්දුම බණ්ඩාර, වීර කැප්පෙටිපොල වැනි රණවිරුවන්ද මෙහිදී සිහිපත් කරනුයේ හද පිරි සොම්නසින් මෙන්ම මහත්වූ ගෞරවයෙනි.

සුද්දන්ගෙන් රට නිදහස් කර ගැනීම පිණිස පසු කාලීනව ජාතිය අවදි කළ වාරියපොළ සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, එස්.මහින්ද හිමිපාණන් වහන්සේලාද, ශී‍්‍රමත් අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, හෙන්රි පේදිරිස් වැනි ගිහි පැවිදි උතුමන්ලා රැසක්ම දිවි හිමියෙන් මේ පින් බිම පරගැති ආක‍්‍රමණිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වෙහෙසුන හා කැපවුන බව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් පාලනයෙන් මිදී 61 වැනි නිදහස් ජයන්තිය සමරන මේ මොහොතේ අප නිහතමානීව බැතියෙන් සිහිපත් කළ යුතු වන්නෝ වෙමු.

ඉංගී‍්‍රසි ග‍්‍රහණයෙන්

1948 පෙබරවාරි මස 04 වැනි දා ඉංගී‍්‍රසින්ගේ ග‍්‍රහණයෙන් මිදුන ඩොමිනියෙන් තත්ත්වයේ රාජ්‍ය පාලනයක් අපට ලබා දුන්නත්, අපට උවමනා හැටියට රට පාලනය කරගෙන යාමේ වගකීම මුළුමනින්ම අපට නුදුන්නෝ ය. තවදුරටත් බි‍්‍රතාන්‍ය කිරීටයට අවනත යටත් වැසියන් වශයෙන් ශී‍්‍ර ලාංකික ජන සමාජය තබා ගැනීමේ සැබෑ උවමනාව ඔවුන් තුළින් පැහැදිලිිව විද්‍යාමාන විය.

බි‍්‍රතාන්‍ය රජයට හෙවත් මහ රැජිනට තවදුුරටත් වග කියන ඩොමිනියන් තත්ත්වය ලබා දී පාලනයක් අපට ලබා දී, ඔවුන්ගේ අවශ්‍යතාව ඉටුකර ගැනීමට හැකිවන පරිදි ජාතිය භේද භින්න කරමින් වරප‍්‍රසාද ලත් කොම්ප‍්‍රදෝරු දේශීය පාලකයන් පිරිසක් මෙරට පාලනයේ තබා ගැනීමට ඔවුනට ඇවැසි විය.

පංච මහා බලවේගය

1956 දී සඟ වෙද ගුරු ගොවි කම්කරු යන පංච මහා බලවේගයේ මූලිකත්වයෙන් අග‍්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා පෙරටුකොට ඇතිකළ 56’ සමාජ පෙරළියේ ක‍්‍රමික විකාශනයේ ප‍්‍රතිඵලයක් ලෙසින්. 1972 දී සිරිමාවෝ රත්වත්තේ ඩයස් බන්ඩාරනායක මැතිණිය ප‍්‍රමුඛ සමගි පෙරමුණු රජය විසින් ලංකාව ඩොමිනියන් තත්ත්වයෙන් මුදවා, සමස්ථ ශී‍්‍ර ලංකාවම කිසිම රටකට හෝ බලවේගයකට යටත් නොවුන නිදහස් නිවහල් ස්වෛරී ජන රජයක් බවට පත් කළේ මෙරට විසූ සියලු ජනතාවගේ මුළුමනින්ම නිදහස් වීම පිළිබඳ අභිලාශය ශාක්‍ෂාත් කරවමිනි.

1972 දී පූර්ණ ජනරජයක් ලෙසින් ශී‍්‍ර ලංකාව ලෝක සිතියමට එක් වුවද, යටත් විජිත පාලකයන් විසින් සුළු ජාතින්ට වැඩි වරප‍්‍රසාද දෙමින්, මෙරට ස්වදේශික ජනතාව අතර ජාති වාදය ඉස්මතුවන ලෙසින් බෙදා වෙන්කළ පාලනයක් රටට දායාද කිරීම නිසා එදා මෙදා තුරුම අළු යට පවතින ගිනි දැල් ලෙසින් ජාතිවාදය ඉස්මතු කෙරෙන අවස්ථාවන් උද්දීපනය වීමට පාර කපා තිබුණි.

බි‍්‍රතාන්‍යයන් යටත් විජිත පාලනය ගෙන ගියාවූ සෑම රටකම සිදු කළ ආකාරයෙන්ම අප රටේ ද එම තත්ත්වය නොපිරිහෙලා සිදු කිරීමට ඔවුහු වග බලා ගත්හ.

සුළු ජාතින්ට වැඩි වරප‍්‍රසාද අත්කර දෙමින් බෙදා වෙන්කර පාලනය ඇති කරලීමේ අවසන් ප‍්‍රතිඵලය වූයේ වරින් වර ජනවර්ග අතර ඇණකොටා ගැනීම් වලට ඇවැසි පරිසරයක් සකස් කර දීමය. නිදහසින් පසු ගෙවුන වසර 61 තුළදීම එම අවාසනාවන්ත තත්ත්වය අප රට තුළ හොඳින් විද්‍යාමාන විය.

එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ රට තුළ සිංහල දෙමළ මුස්ලිම් ජන කොටස් අතර අසමගිකම් මෝදුවීමත්,වරින් වර ඇණකොට ගැනීම් ඇතිවීම හා 30 වසරක් පුරාවටම රට තුළ යුදමය තත්ත්වයක් පැවතීමය. රටේ පාලකයා පරගැති චින්තනයකින් යුක්තවීම, කායික මානසික බෙලහීන තාවයකට පත්ව දුර්වල වූ විට හෝ රාජ්‍ය පාලනය අස්ථාවර වූ විට මෙම තත්ත්වයන් තීව‍්‍ර වීම ස්වාභාවිකය.

2006 ජනාධිපතිවරණයත් සමගම රටේත් ජාතියේත් වාසනාවට අලුත් නායකයෙක් දකුණෙන් රටට බිහිවිය. අපට දැන් ස්ථාවර ආණ්ඩුවක් (රජයක්) ඇත. රටේත් ජනතාවගේත් හද ගැස්ම හදුනන, පොළොවේ පය ගසා කටයුතු කරන සෑම දෙයක් ගැනම ධනාත්මකව සිතන සෑම ජාතියකටම ගෞරව කරන දේශීය දේ අගය කරන රටට ණය නැති නොසැලෙන නායකත්වයක් ලැබී ඇත. ඒ අන් කවරකුවත් නොව මහින්ද රාජපක්ෂ ශී‍්‍රමතාණන්ය. පෑනත් නීති පොතත් වගේම කැත්ත උදැල්ලත් ඔහුගේ දෑතට හොඳට හුරුය.

ගමේ ගොඩේ වෙල් ඉපනැල්ල කුරහන් හේන කරිජ්ජ පෑගෙන වැල්ල සමගින් දළරළ සහ අව්ව වැස්ස පින්න මෙන්ම මඩ ගොහොරුද මග තොටද ඔහුට හොඳට හුරුය. රාජ්‍ය පාලකයකු සතුව තිබිය යුතු මහගු ගුණාංග රැසක් ඔහු උපතින්ම දායාද කරගෙන තිබීම ජාතියේ වාසනාවකි. ඔහු අපට මෙන්ම රටට ද 7 වැනි මහින්ද රජු හා සමානය. දේශීය චින්තනය පාගා දමා සමාජයේ එකිනෙකා කෙරෙහි වෛරයෙන් බියෙන් හා සැකෙන් මුසුව,භේද භින්නව සිටීමට මං සලසා දුන් ඊනියා විවෘත ආර්ථිකයක් රටට දායාද කළ පරගැති දේශපාලන අදහස් වලින් සහ පටු ආකල්ප වලින් බැහැරවූ ජන සමාජයක් රට තුළ ස්ථාපිත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ එකම අභිලාෂයයි.

ජාතියක් වැනසූ දේශයක් වැනසූ, රටට අනගි සම්පතක් වූ අහිංසක මිනිස් ජීවිත මෙන්ම දවසේ දෙකේ කිරි සප්පයන් දහස් සංඛ්‍යාත ගණනාවක් ද සිත්පිත් නැතිව මරා දැමීමට අණකළ ලොව සිටින අති බිහිසුණුම ත‍්‍රස්තවාදියා වූ, නොමග ගිය වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ටත් මෙත් සිත් පතුරුවමින් සාමයේ හස්තය වරක් නොව කීපවරක්ම දිගුකළ එකම මානව හිතවාදියා වූයේ ද අපගේ ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ය.

විජයග‍්‍රාහී දවසක්

61 වෙනි නිදහස් උත්සවය සමරන අද දිනය ශී‍්‍ර ලංකාවාසී අප සැමට අතිශයින්ම වැදගත් දිනයකි. එයට සුවිශේෂ හේතුවක් ඇත. මුළු මහත් ශී‍්‍ර ලංකා ධරණිතලයම කොටි ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුළුමනින්ම මුදාගත් විජයග‍්‍රාහී දවසක් ලෙසින් අදට යෙදෙන අපගේ 61 වැනි ජාතික දිනය ඉතිහාස පොතේ සනිටුහන් වන දිනය බවට පත්වෙන නිසාවෙනි.

‘අමතක කරළමු පැරැණි කතා - එක්වමු ජාතික දියුණ පතා” වැඩ කරමු - ගම හදමු - රට නගමු - ජය ගනිමු.

යන්න 61 වැනි නිදහස් සැමරුම යෙදෙන අද දිනයේ සිට අපගේ තේමා පාඨය කර ගනිමු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා