සැමට සැබෑ නිදහස උරුමවන වසර 2009

සැමට සැබෑ නිදහස උරුමවන වසර 2009

ශී‍්‍රලාංකේය දේශපාලන, ආර්ථික සහ සාමාජීයිය ක්ෂේත‍්‍ර ඉතිහාසයේ සදානුස්මරණීය සටහන් තබන වසරක් ලෙස මේ වසර (2009) හැඳින්විය හැකිය. යුද, නාවික, ගුවන්, පොලිස් සහ සෙසු ආරක්‍ෂක අංශ සිය දිවි දෙවැනි කොට ත‍්‍රස්තවාදයෙන් අප මාතෘ භූමිය මු‍්‍රළුමනින්ම නිදහස් කර ගැනීම අද වන විට සිදුකොට හමාරය. මේ ඓතිහාසික සිදුවීම ගැන ඉතිහාස පොතේ නව පරිච්ඡේදයක් සේ ලියැවෙන දින අපට වසර 2009 අමතක කළ හැකිද? කළ නොහැකිය.

මෙවන් පූර්විකාවක් සඳහන් කරමින් අපගේ මේ සූදානම වසර 2009 නිදහස් සැමැරුම් දින අළලා සුවිශේෂ ලිපියක් අකුරු කිරීම වේ. එහි අන්තර්ගතය වනුයේ මීට වසර 61 කට පෙර අප ලැබූ නිදහස, එහි ගමන් මඟ හා සත්‍ය ලෙසම අපට නිදහස උරුමවීම ඇරැඹීමේ ඉසව්ව ගැන කතිකා කිරීමය. මෙහිදී අප නිදහස් ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය ගැන වැඩි වශයෙන් විමසා බලමු.

ශී‍්‍ර ලංකාවට නිදහස ලැබුණේ වසර 1948 පෙබරවාරි මස 4 වැනිදා එනම් මීට 61 වසරකට පෙර අද වැනි දිනකය. එදා අපිට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් හිමිවූයේ අර්ධ නිදහසකි. සුදු හමක් ඇති බටහිර ගැත්තෝ පාලනය කළ රට, කළු හමක් සහිත කළු සුද්දන්ගේ පාලනයට මේ නිදහස තුළින් සංක‍්‍රමණය විය. මෙලෙස කළු සුද්දන් වෙත භාර දුනු රටට සැබෑ නිදහස ලබාදීම, එනම් දේශීයත්වයට, ජාතිකත්වයට යළි නිසි තැන හිමිකරදීමට අරගල කරන්නට එදා සිදුවිය.

සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජාතිකත්වයන් එක් අරමුණක පිහිටා දිනා දුන් නිදහස වඩාත් අර්ථවත් කිරීමට නම් කළු සුද්දන්ගේ පාලනයෙන් රට, රටේ ජනතාව මුදාගත යුතුයි යන්න ප‍්‍රගතිශීලී කඳවුරේ මතය විය. ඒ අනුව සුදු අධිරාජ්‍යවාදීන් විසින් අපට අහිමි කළ බොහෝ දේ නැවත දිනාගැනීමට අරගල මතු විය.

සමාජ පෙරැළිය

මේ අරගලවල උච්චතම පුනරුත්පත්තිය ලෙස දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ, ඩී. ඒ. රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වයෙන් වසර 1956 සිදුවූ සමාජ පෙරැළිය සඳහන් කළ හැකිය. ස්වභාෂාව රාජ්‍ය භාෂාව සහ දමිළ, ඉංගී‍්‍රසි භාෂා සම තත්ත්වයට පත් කරනු ලැබුවේය.

මේ රටේ දුක් විඳි අහිංසක සිංහල, දමිළ, මුස්ලිම් පොදු ජනතාවගේ සැබෑ ආර්ථික, දේශපාලනික සහ සාමාජීයිය නිදහස උදාකිරීම 56’ අරගලයේ දී සිදුවිය. එහෙත් එය සර්ව සම්පූර්ණ කර ගැනීමට මේ රටට ද්‍රෝහි, රටේ පොදු ජනතාවට ආදරය නොකරන විජාතික හා ජාතික බලවේග ඉඩ නොදුන්හ. කෙමෙන් නැවැත රටේ පොදු ජනතාවගේ ප‍්‍රගතිශීලී ගමන අඩාල විය. මේ අතරතුර වසර 1972 දී ශී‍්‍ර ලංකාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමාජවාදී ජනරජයක තත්ත්වය ලබා දෙමින් බි‍්‍රතාන්‍ය කිරීටයෙන් මුළුමනින් ම නිදහස් වීමට ඉඩ ලැබුණි. ඒ එවකට මෙරට අග‍්‍රාමාත්‍ය ධූරය දැරූ සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වය යටතේය.

එදා පටන් විවිධ ආණ්ඩු අපේ රට පාලනය කළ ද, මේ රටේ කොළඹින් දුර බැහැර ඈත පිටිසර ගම්මානවල දුක් විඳින ජනතාවට සැබෑ ආර්ථික නිදහසක් උරුම වූයේ නැත. දේශපාලනික හා සාමාජීයිය නිදහස ද සීමා විය. ලොව දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ජනතාව භªක්ති විඳින සර්වජන ඡන්ද බලය අපේ රටේ ජනතාවට ලැබුණද, එය ප‍්‍රචණ්ඩත්වයෙන්, මැර බලයෙන් යටපත් කොට තිබූ අයුරු ඉතිහාසයේ සඳහන් වී තිබේ. ඉතා අඳුරු කාලපරිච්ඡේද පසුකොට අද අප රට, රටේ ජනතාව, සුබ සිහින දකිමින් සිටින තැනට පැමිණ තිබේ.

නිවැරැදි තීන්දුව

වසර 2005 නොවැම්බර් මස 17 වැනිදා මෙරට පැවැති පස්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ මැතිවරණයේදී මෙරට ජනතාව ලබා දුන් නිවැරැදි තීන්දුව විසින් රට යහපත් හා අධිෂ්ඨානශීලී ගමන් මඟකට මේ වන විට යොමු කැරැ හමාරය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රටේ සේනා විධායකයා සේනාධිනායකයා හා රාජ්‍ය නායකයා ලෙසට තේරී පත් නොවන්නට, අපේ රට දැනටම දෙකඩ වූ රටකි. බෙදුම්වාදය විසින් කෑළිවලට කඩා දැමූ රටක් බවට අපි පත්වන්නට ඉඩ තිබුණි.

ජාතියේ වාසනාවට, රටේ උපන් සහ නූපත් පරම්පරාවල හිමිකරුවන්ගේ වාසනා ගුණ මහිමයට අපේ රට අද එක ධජයක් යටතේ අභිමානවත්ව නැඟී සිටින රටක් බවට පත්වීම ඇරැඹී ඇත. ඒ මහින්ද රාජපක්‍ෂ මහතාගේ “මහින්ද චින්තන” ප‍්‍රතිපත්ති මාලාව සහ දස අවුරුදු දැක්මට පින් සිදුවන්නටය.

වසර හැට එකක නිදහස් ශී‍්‍ර ලංකාවේ ඉතිහාසයේ රාජ්‍ය නායකයෙකුට එකවර මුහුණ දීමට සිදුවූ දැවැන්තම අභියෝග ප‍්‍රමාණයට මුහුණ දීමට රාජපක්‍ෂ මහතාට සිදුවිය. ඉන්ධන මිල ගණන් ඉහළ යෑම, ලෝක ආහාර අර්බුදය, ස්වභාවික හා පාරිසරික ව්‍යසන, සාමය කඩවීම් හා දේශපාලන අස්ථාවරත්වයන් ඇතිවීම ඒ අතර ප‍්‍රධාන විය.

මේ අභියෝගවලට අමතරව “කොරේ පිටට මරේ කිව්වා” සේ, තීරු බදු සහන නොලැබී යෑමේ අවදානම, විදේශීය ආධාර ලබාගැනීමේදී විවිධ කකුලෙන් ඇදීම් යනාදිය ද සිදුවිය. ලොව අංක එකේ ගරිල්ලා ත‍්‍රස්තවාදී කණ්ඩායමට එරෙහිව මානුෂීයීය මෙහෙයුම් ඇරැඹීමට අපගේ වීරෝදාර ආරක්‍ෂක හමුදාවන්ට සිදු විය. වසර 2008 දී පමණක් ආරක්‍ෂක වියදම රුපියල් බිලියන 200 ක් ඉක්ම විය. මේසා විශාල මුදලක් රටේ, ජාතික ආරක්‍ෂාවට රජය වැය කෙළේ එය නාස්තිකාර වියදමක් නොව, අනාගත ආයෝජනයක් යැයි සිතමිනි.

අවසාන අදියර

මිනී මරු කොටි ත‍්‍රස්තවාදීන්ට රට පාවා දී කොන්ද නවා, බිම වැතිර නිවට සාමයක් ලබා ගන්නවාට වඩා, මිය යෑම උතුම් බව සලකා වත්මන් රාජ්‍ය නායකත්වය ජනතාව පෙළගැස්ස විය. එය හුදෙක් එක් ජාතියක්, තවත් ජාතිකත්වයකට එරෙහිව කරන සටනක් නම් නොවීය. එය මේ රටේ මිනීමරු ත‍්‍රස්තවාදී කල්ලියක ග‍්‍රහණයෙන් මුළු රටවැසියෝම නිදහස් කර ගැනීමේ උදාර පරමාර්ථය කුළුගැන්වූ වීරෝදාර කි‍්‍රයාවලියක් විය. ”රාජපක්‍ෂ සමාගම” මැයෙන් විපක්‍ෂයෙන් නැඟෙන අපවාද හා විවේචනවලට නොබියව මුහුණ දෙමින් දසත පුරා සාමයේ මල් පුබුදුවාලන්නට හා එසේ සිදුකර හැර පසු නොබසිනවා යන හැඟුමින් යුතුව කි‍්‍රයාත්මක කළ රට දිනවන ඒ වැඩපිළිවෙළ අද වන විට ජය පිට ජය ලබමින් අවසාන අදියර කරා පැමිණ තිබේ.

රටේ සංවර්ධනය තබා, ගමක පුංචි පාරක් තොටක් තැනීම, සහනාධාරයක් ලබාදීම පවා යුද්ධයට මුවා වී නොකර සිටි ආණ්ඩු තිබුණි. නමුත් වත්මන් ආණ්ඩුව මානුෂීය මෙහෙයුම් කියා රටේ සංවර්ධනය හෝ ජනතාවගේ සුබසාධන වැඩපිළිවෙළ හෝ අතරමඟ නතර කොට දමා නැත.

මේ අන්දමේ රජයේ ආදායම් අහිමි කර ගැනීම් මැද රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයාගේ, විශ‍්‍රාමිකයාගේ වැටුප් හා දීමනා ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇත. එක් අයෙකුවත් අලුතින් රාජ්‍ය සේවයට එකතු කර නොගැනීමට ලංකා ඉතිහාසයේ පළමු වතාවට චක‍්‍රලේඛ නිකුත් කරමින් කි‍්‍රයා කළ වසර 2001 – 2004 එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩු කාලයේ මෙන් නොව, මේ රජය මේ වන විට රාජ්‍ය සේවයට අලුතින් ලක්‍ෂ 3 ක පිරිසක් එක්කොට ගෙන තිබේ.

විශේෂ වරප‍්‍ර‍්‍රසාද

ලංකා ඉතිහාසයේ ග‍්‍රාමීය ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනයට වැඩිම මුදලක් එකවර යෙදවූ ආණ්ඩුව මෙය වේ. ආණ්ඩුව මෙලෙස රටේ යටිතල පහසුකම් ජාලය සංවර්ධනය කිරීමට පියවර ගනුයේ, එදා 1948 දී අප ලැබූ නිදහස වඩාත් අර්ථවත් කිරීම උදෙසාය.

අපිට වසර 1948 දී ලැබුණු අර්ධ නිදහස තුළ රටේ පොදු ජනතාවගේ අතමිට සරුවීම සර්ව සම්පූර්ණ වශයෙන් සිදු නොවිණි. රටේ, සමාජයේ ඇති හැකි අයට ඉහළ පිළිගැනීමක් සහ ඇති හැකි අයට විශේෂ වරප‍්‍රසාද හිමිව තිබුණි. ග‍්‍රාමීය ප‍්‍රදේශවල මංමාවත්, විදුලි බල, පානීය ජලය, නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය යනාදී ආර්ථික හා සාමාජීයිය සංවර්ධන යටිතල පහසුකම් දියුණු නොවිණි.

මෙහි ඉතා භයානකම ප‍්‍රතිඵලය නම් රටේ පළාත් අතර සිදුවූ අසමතුලිත සංවර්ධනය කරණකොට ගෙන ඒවාට එරෙහිව රටේ තරුණ කොටස් අරගල වෙත තල්ලු වී යෑමය. අපිටත් රටේ ප‍්‍රභූවරුන්ට පමණක් උරුම නිදහස හා ආර්ථික හැකියාව දිනාගත යුතුය. පොදු ජනතාවගේ දුක් කඳුළු නිමා කළ යුතුය යන සිතුවිල්ල පෙරදැරිව අරගල මතු විය. එය දකුණේ ද, උතුරේ ද කියා භේදයකින් තොරව මතු විය. මේවා මර්දනය කිරීමේ වැඩපිළිවෙළ අවසානයේ අප රට, ලෝකයේ “මිනී කන්නන්ගේ දේශය” යන නරක යෙදුම ළඟට සමීප කරවීමට සමත් වීය.

සමාජ අසාධාරණතා පදනම්ව කැරැළි ගැසීමට මඟපෑදීම වෙනුවට, රටේ සෑම ජනකොටසකගේ ම, සෑම පළාතකම එක සේ සමාන සංවර්ධනයක් සිදුකිරීම “මහින්ද චින්තනයේ” පැහැදිලි දැක්ම වේ. සාරධර්ම සපිරි පවුලක්, ගොඩනැගීම එහි ඉලක්කයයි. යහපත් පවුලක් ගොඩනඟා ගම නැංවීම, ගම්මාන නංවා පළාත් නඟාසිටුවීම අවසානයේ මුළු රටට ම අවදි කිරීම මහින්ද චින්තනයේ බලාපොරොත්තුවයි.

එම බලාපොරොත්තුව සඵල කර ගැනීම මේ වන විට ආරම්භ වී හමාරය. වසර 2005 සිට මේ වසර 2009 දක්වා කාලය තුළ මේ රටේ මෙතෙක් ඉතිහාසයේ පෙර සිදුනොවූ විරූ සංවර්ධන වැඩ කොටසක් සිදුකොට හමාරය. නව මංමාවත්, විදුලිබල, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන, වරාය, ගුවන් සේවා වැනි එකී නොකී සෑම අංශයකම දැවැන්ත සංවර්ධනයකට මුලපුරා හමාරය. දවසේ පැය 24 න් තුනෙන් එකක් හෝ සතරෙන් එකක් විදුලි බලය කපා දැමූ අඳුරු යුග අප රටේ විය. ඒවා දැන් නිට්ටාවට ම සුව කොට හමාරය.

ආර්ථික සංවර්ධනයක්

ලොව ඕනෑම රටක ඉතා දියුණු මාර්ග පද්ධතියක් විශේෂයෙන් යටිතල පහසුකම් ජාලයක් නොපවතී නම්, එම රටවල් ශීඝ‍්‍ර ආර්ථික සංවර්ධනයක් කරා පිය නොනඟිනු ඇත. මෙය සත්‍යයකි. මේ සත්‍ය වටහා ගත් රජය ගතවූ වසර හතරක කාලය තුළ රටේ සිදුකළ නව ආර්ථික හා සාමාජීයිය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණන විශාලය.

ඒ අතර අධිවේගී මාර්ග දසත ඉදිවේ. නව ගුවන් පාලම් ඉදිවේ. නොරොච්චෝලේ, ති‍්‍රකුණාමලය, කෙරවලපිටිය ගල් අඟුරු බලාගාර ඉදිකැරේ. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදිකැරේ. හම්බන්තොට හා ඕලුවිල්වල අලුතින් ම අන්තර්ජාතික වරායන් නිර්මාණය වේ. දකුණු කොළඹ, ගාල්ල වරාය සංවර්ධනය කැරේ. නව ගුවන් සේවයක් හා අලුතින්ම අන්තර්ජාතික ගුවන් තොටුපළක් ඉදිකැරේ.

මොරගහකන්ද, රඹකැන් ඔය, උමා ඔය, දැදුරු ඔය, වෙහෙරගල වැනි දැවැන්ත වාරි යෝජනා ක‍්‍රම කි‍්‍රයාත්මක වේ. ලංකා ඉතිහාසයේ එකවර දැවැන්ත වාරි යෝජනා ක‍්‍රම පහක් කි‍්‍රයාත්මක වනුයේ අද දවසේය. මීට පෙර එසේ සිදුවී නැත්තේය.

වසර 1990/91 කාලයේ දී මෙරට දරිද්‍රතාවය සියයට 26.1 ක් විය. එය 1995/96 කාලයේ දී සියයට 28.8 දක්වා ඉහළ නැඟුªණි.

වසර 2002 දී එය සියයට 22.7 කි. වසර 2006/07 කාලය වන විට අප රටේ දිළිඳුකම සියයට 15.2 දක්වා පහත දැමීමට අප මුලින් කී දැවැන්ත සංවර්ධන යෝජනා ක‍්‍රම හා එකී නොකී සියලු වැඩ කටයුතු හේතු වී තිබේ. ග‍්‍රාමීය, නාගරික හා වතු යන අංශ තුනේම දිළිඳුකම ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබේ.

රටේ යහපත් ආර්ථික පසුබිමක් නිර්මාණය වී තිබෙන බව පැවැසීමට අප සමාජයේ ම කොටස්වලින් උදාහරණ ගෙන දැක්වීමට අපිට පුළුවන. නව තී‍්‍රරෝද රථ ලියාපදිංචි කිරීම්, නව යතුරුපැදි, නව ඉඩම් වාහන, නව භාණ්ඩ ප‍්‍රවාහන රථ ලියාපදිංචි කිරීම් වැඩි වී ඇත. රටේ දුරකථන හිමි ජන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

පළාත් අනුව දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය හා පළාත් ඒක පුද්ගල ආදායම් වැඩි වී ඇත. සමස්තයක් ලෙස රටේ ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව වසර 2006, 2007, 2008 මෙන් ම 2009 දී සියයට 7 ඉක්මනු ඇත. මේ අන්දමට ලංකා ඉතිහාසයේ පිට පිට වසර 4 ක් ආර්ථිකය සියයට 7 කට වඩා වැඩි අගයකින් ඉහළ ගිය පාලන කාලයක් අප දැක නැත.

වඩාත් යහපත් බලාපොරොත්තු සඵල වන සුබවාදී අනාගතයක්. රටේ ජනතාවට සෑම අංශයකින්ම උරුම වීම 2009 වසරේදී සිදුවනු නියතය.

අප රටට වරින් වර ලැබුණු අර්ධ නිදහස ඉක්මවා රටේ දෙකෝටියකට ආසන්න ජනතාවට අතමිට සරු, ගුණ ගරුක සමාජයක හිමිකරුවෙකු වීමට හැකි නිදහසක් මේ වසරේදී උරුමවනු ඇත. එය අපි ඉබේ ළඟාවනතුරු බලා සිටිය යුතු නොවෙමු. අපි රට දියුණුව කරා රැගෙන යෑමට වංචාව, දූෂණය, අල්ලස දුරුකොට රටේ යහපාලනය ස්ථාපිත කළ යුතුය. මහන්සි වී වැඩ කළ යුතුය. ඒ වගකීම ඔබ හා මා සතුව ද පවතී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා