යුද්ධ තියෙන රටවල් සහන දෙන කොට ශ‍්‍රී ලංකාවේ ජනතා සහන කපා හැරලා

යුද්ධ තියෙන රටවල් සහන දෙන කොට
ශ‍්‍රී ලංකාවේ ජනතා සහන කපා හැරලා

රනිල් වික‍්‍රමසිංහ නාරම්මල දී කියයි

ලෝකයේ යුද්ධය ඇති රටවල් ජනතාවට සහන දෙනවා. ශ‍්‍රී ලංකාවේ ජනතාවට සහන දෙන්න බැරිදැයි කියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිගෙන් අහනවා යැයි විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා නාරම්මලදී පැවැසීය.

වයඹ පළාත් සභා මැතිවරණය ප‍්‍රථම ප‍්‍රචාරක රැස්වීම දඹදෙණිය මැතිවරණ කොට්ඨාසය නාරම්මල නගරයේදී පැවැත්විණි.

විපක්ෂ නායක වරයා මෙසේ ද පැවැසීය.

පළාත් සභා දූෂණ යුද්ධයෙන් වහන්න හදනවා. ඒ අතර මැතිවරණ තියනවා. කන්න බොන්න දීලා දහස් ගණන් පක්ෂයට ගන්න හදනවා. මාධ්‍ය පාලනයක් නැහැ. ස්වයං පාලනයක් තියෙන්නේ.

මගේ කථා රාජ්‍ය මාධ්‍යවල දමන්නේ නැහැ. මාධ්‍ය ආයතන කුඩු කරනවා. මාධ්‍යවේදීන් මරනවා. ගහනවා. රට ඉදිරියට ගෙන යන්න එ.ජා.ප. යට ඡන්දය දෙන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය ඉදිරියට දමාගෙන ජනතා ප‍්‍රශ්න විසඳන්න කියනවා.

තේ, පොල්, රබර්, කුරුඳු මිල කඩා වැටිලා. කර්මාන්ත කඩා වැටිලා. රැකියා අහිමි වෙලා. විදේශ රැකියා නැහැ. මහින්ද රාජපක්ෂ මේවාට පිළිතුරු දිය යුතුයි. කිරිපිටි මිල ලෝක වෙළෙඳ පොළේ අඩු වෙලා. ඒත් අපේ රටේ අඩු වීමක් නැහැ. බදු බර ජනතාවට පටවලා.

අත්‍යවශ්‍ය බඩු සහන මිලට ලබාදෙන්න බැහැ. මිහින් එයාර්වලට සහන දීලා.රජය සේවකයන්ට වැටුප් වැඩිකරන්න. සමෘද්ධිය වැඩිකරන්න. බඩු මිල අඩු කරන්න. යුද්ධය අවසන් කියා කියන රජය මේ සහන ජනතාවට ලබාදෙයි කියලා අප විශ්වාස කරනවා.

මැති ඇමැතිවරු රණවිරුවන්ට ජයවේවා කියා පෝස්ටර් අලවනවා.

බැනර් දමනවා. ඒවායින් සියල්ල වසාගන්න උත්සාහ කරනවා. යුද්ධය අවසන් නම් ජනතාවට සහන දෙන්න. දිනපතා ඉහළ යන බඩු මිල පහත දමන්න කියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට අපි කියනවා. හමුදාව කියනවා තව සිටින්නේ කොටි 1500 යි කියා.

තවත් කුඩා කුඩා කණ්ඩායම් ඉන්නවාලු. එයත් අවසන් කරනවාලු. බංකරවල දමා වසා දමනවාලු.

ඒත් රටේ ප‍්‍රශ්න බංකරවල දමා සිරකරන්න දෙන්න බැහැ. ආර්ථිකය කඩාවැටීම, විරැකියාව, බඩුමිල ඉහළ යෑම, යුද්ධය අවසන් නම් ජනතාවට දෙන්න ඕනෑ සහන ලබාදෙන්න කියා රජයට කියන්න කැමැතියි.

එ.ජා.ප. මහා ලේකම් තිස්ස අත්තනායක මහතා - මේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වන්නේ රාජ්‍ය මාධ්‍යයි. ආණ්ඩුවේ නිලධාරීන් - වාහන - මහජන සම්පත් යොදාගෙන දූෂිත එකක් බවට පත් කරගෙන අවසන්. ති‍්‍රවිධ හමුදාවේ ජයග‍්‍රහන දේශපාලන වාසියට ගන්නවා. යුද්ධය අවසන් නම් රට සංවර්ධනය කරන්න බඩු මිල අඩුකරන්න අධිකරන තීන්දු කි‍්‍රයාත්මක කරන්න.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා - පළාත් සභාවේ එදා මම කළ වැඩ පමණයි දකින්න තිබෙන්නේ. එක ගසක් - පැළයක් සිටුවා නැහැ. ජනකලා කේන්ද්‍රය වැසී ගිහින්. හොරකම - දූෂණය - කොමිස් ගැහිල්ල වැඩි වෙලා. රාජපක්ෂ පවුලේ පිළිකාව පළාත් සභාවටත් පත්වෙලා පවුල්වාදය තිබෙන්නේ.

වයඹ ප‍්‍රධාන ඇමැති අපේ්ක්ෂක ශමිල් ප‍්‍රසන්න සෙනරත් මහතා - වසර 15 ක් තිස්සේ වයඹ ජනතාව විඳි දුක් අවසන් කරන්න මෙය අවස්ථාව කරගන්න.

පළාත් සභාව එ.ජා.ප. පාලනයට ලබාදී හොර මැර - දූෂිත නැති පාලනයක් ගෙන යන්න අවස්ථාව දෙන්න.

එ.ජා.ප. නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන දයාසිරි ජයසේකර, වජිර අබේවර්ධන, අමරා පියසීලි රත්නායක, අකිල විරාජ් කාරියවසම් මහත්ම මහත්මීහු සහ වයඹ පළාත් සභා අපේ්ක්ෂක අපේක්ෂිකාවන්ද කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා