මේ ඔබ දකින්නේ අවසන් වෙඩි මුරයයි

මේ ඔබ දකින්නේ අවසන් වෙඩි මුරයයි

යුද වාර්තාකරණය ඔස්සේ යුද පුවත් සජීවි ලෙසින් ලොවට රැගෙන යනු ලැබුවේ විද්‍යුත් මාධ්‍යවේදීන් විසිනි. මේ දැවැන්ත කාර්යභාරය සුළු පටු කටයුත්තක් නොවේ. යුද බිමේ සිටින යුද හමුදා සමඟම, අවි අත දරා නොසිටියත් ඔවුන් අත රැඳුණේ කැමරා ආම්පන්නයි. ඒ හරහා සජීවි තොරතුරු නිවැරැදි ලෙසින් සමස්ත ලෝකයාට පෙන්වීමට තරම් ඔවුහු දක්ෂයෝ වූහ. ජාතික රූපවාහිනී සංස්ථාවේ සමන් කුමාර රාමවික‍්‍රම සමඟ සාකච්ඡා කොට සැකැසූ දාහතර වැනි පෙළ ගැස්මයි මේ.

“පුදුමාතලන් සිට වෙල්ලාමුල්ලිවයික්කාල්, වඩ්ඩුවාන් කලපුව දක්වා වූ යුද මුක්ත කලාපයට එල්. ටී. ටී. ඊ. ය මුළුමනින් කොටු වී සිටියා. එය දිගින් කි. මී. 12 ක් සහ වර්ග කි. මී. 20 – 25 ක පමණ සීමිත ප‍්‍රදේශයක්. යුද මුක්ත කලාපයේ සිටින සාමාන්‍ය ජනතාව මුදාගන්නේ කිනම් මොහොතකද යන කාරණය ගැන ඊළඟට කාගේත් අවධානය යොමුවුණා. මාර්ගයේ අප සිටි තැනට එම ප‍්‍රදේශයේ එල්. ටී. ටී. ඊ. යේ සන්නද්ධ වාහන ගමන් කරන හැටි, මිනිසුන් යන – එන හැටි පැහැදිලිව පෙනුණා.

අපි මීටර් 300 ක් තරම් එම ප‍්‍රදේශයට ආසන්න වී එහි දර්ශන ලබාගත්තා. මිනිසුන් අතර සිට එල්. ටී. ටී. ඊ. ය කාලතුවක්කු ප‍්‍රහාර පවා එල්ල කළා. කූූඩාරම් අතරින් මතුවුණ දුම් ගුලි අහසට නඟින හැටි එතකොට දකින්න පුළුවන් වුණා. රාතී‍්‍ර කාලයේදී කණාමැදිරි එළි වගේ මෝටාර් ප‍්‍රහාර එල්ල වූ අවස්ථා අපේ කැමරාවල සටහන් වුණා.

මේවායින් යුද මුක්ත කලාපය තුළ එල්. ටී. ටී. ඊ. ය බර අවි පවා ස්ථාන ගතකර ඇති බව පැහැදිලි වුණා. මේ කාලයේදී දිනපතාම එම ප‍්‍රදේශයේ සිට සිවිල් ජනයා 25 – 30 ක් වත් පලා එන්නට පටන් ගත්තා. ඔවුන් එල්. ටී. ටී. ඊ. යෙන් මිනිසුන්ට එල්ලවන හිරිහැර හා පීඩාවන් ගැන අපට කිව්වා. අපි ඒ තොරතුරු රටට කිව්වා. ඔවුන්ගේම හ¾ඩින් පවා ඒවා ගෙන ගියා.

මේ අතර කලපුවට දකුණින් 58 සේනාංකයේ ආරක්‍ෂක වළල්ල බිඳ දැමීමට එල්. ටී. ටී. ඊ. යේ 600 ක් පමණ එක්ව ප‍්‍රහාරයක් එල්ල කළා. එහිදී ඔවුන් 600 ක් පමණ මරා දැමීමට 58 සේනාංකය සමත් වුණා. එල්. ටී. ටී. ඊ. යේ ප‍්‍රබලයකු වන දීපන් ඇතුළු තවත් ප‍්‍රබලයන් ගණනාවක්මේ ප‍්‍රහාරයේදී මරා දැමූ අය අතර සිටියා. එය එල්. ටී. ටී. ඊ. ය අවසන් සමයේදී අත්විඳි දැවැන්ත පරාජයක්. ඒ අය ගේ මළසිරුරු පාර දිගට තිබුණා.

කලපුවේ තිබූ මළසිරුරු වීඩියෝ ගතකළේ කරවටක් වතුරේ බැහැලා. ඉන් පසු ඉතිරි සිවිල් වැසියන් මුදාගැනීම සඳහා හමුදාව පෙරහුරු අභ්‍යාස කළා. අප ඒවා පවා වීඩියෝ ගතකළත්, පසු කාලීන මෙහෙයුම්වලට අවාසිදායක වන නිසා අප ඒවා පෙන්වූයේ නැහැ.

බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා කිසිවකුත් නොසිතන විධියට උපක‍්‍රමික ලෙස යුද මුක්ත කලාපය මැදින් කැඩුවා. එසේ කර මුහුද තෙක් ගියා. එල්. ටී. ටී. ඊ. යේ සන්නිවේදන කුළුණ එක් පැත්තකින්, උපකරණ තවත් පැත්තකත්, කෑම උයන තැන එක පැත්තකත්, ඒවා රැගෙන යන ට‍්‍රැක්ටර් තවත් පැත්තකත් තිබුණා. ඔවුන් දැඩි අසීරුවකට පත්වෙනවා.

ලක්‍ෂයකට අධික ජනතාවක් හමුදා පාලන ප‍්‍රදේශයට පැමිණියා. උදේ පාන්දරම මේ සිද්ධිය වාර්තා කරමින් 50,000 ක් පමණ එන බව මම කිව්වා. ඒ අවස්ථාවේ හමුදා ප‍්‍රකාශකත් අපේ සජීවී ප‍්‍රවෘත්ති වැඩසටහනකට සහභාගි වෙමින් සිටියේ. මේ අවස්ථාව අතරතුර මරාගෙන මැරෙන ප‍්‍රහාර තුනක් එල්ල වුණා.

එක් අවස්ථාවක සෙනඟ දහස් ගණනින් එද්දි ඒ දර්ශන එයාකාරයෙන් ම පෙන්වන්න මට ඕන කළා. එහි තිබූ ඩෝසරයකට නැඟ එය ඉහළට ඔසොවා ඒ මත හිඳ දර්ශන ලබාගත්තා. පහළට බසිනවාත් සමඟම එල්. ටී. ටී. ඊ. ය ඊට ප‍්‍රහාරයක් එල්ල කළා. එතැනදී සාමාන්‍ය වැසියන් පස්දෙනෙක් මියගියා. අපි මේ දර්ශන ලබා ගත්තා.

පුදුමාතලන් යුද මුක්ත කලාපය අත්කර ගැනීමෙන් පසු මා සමඟ එහි ඇවිද ගියේ “නීරෝ” යි. “නීරෝ”; ඔහු තමයි හමුදාවේ සිටි හොඳම වෙඩික්කරුවා.

නමුත් මම දර්ශන ලබාගෙන ප‍්‍රවෘත්තිය සකස් කර එය චන්ද්‍රිකා තාක්‍ෂණය මගින් යොමුකොට රාතී‍්‍ර ප‍්‍රවෘත්ති බලන්නැයි ඔහුට කියන්නට යන විට ඔහු සටනේදී ජීවිතය පූජා කර තිබුණා. ඒ මොහොතේත් නැවතත් මහා දුකක් දැනුණා.

ඔහු මට ගොඩක් උදව් කළා. වෙල්ලාමුල්ලිවයික්කාල් සිට කරයාමුල්ලිවයික්කාල් දක්වා අත්කර ගන්නා කි‍්‍රයාන්විතයේදී මිනිසුන් එන අතරතුර එල්. ටී. ටී. ඊ. දරුණු ලෙස ප‍්‍රහාර එල්ල කළා. අපි දර්ශන ලබාගත්තේ ගෙම්බො පනිනවා වගේ තැන තැනට පැන මුවාවෙමින්.

මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල වූ නිසා මිනිසුන් ඉදිරියට යාමට යම් තිගැස්මකුත් තිබුණා.

නීරෝ ගේ මරණයට පසු දා මිනිසුන් එන දර්ශන ලබාගනිමින් සිටියදී තුවාල ලැබූ සොල්දාදුවෙක් මැස්සක තබාගෙන රැගෙන යනවා.

”සමන් අයියා... සමන් අයියා...” කියලා කෑගසන හඬ මට ඇහුණා. ඔහු මට කැමරා ගතකිරීම් සඳහා මුලදීම උදව් කළ කොමාන්ඩෝ භටයෙක් ඔහුගේ පාදය තදබල ලෙස තුවාල වෙලා. මම ඔහුව ධෛර්යමත් කළා.

”කකුල නැතිවුණාට කමක් නෑ මල්ලී උඹේ ජීවිතය බේරුණානේ”.

ඔහු එතකොටයි දන්නේ ඔහුට පාදය අහිමිවෙලා කියලා. ඔහු පහළට අතගාලා බැලුවා. කකුල නැහැ. එය අවසන් කි‍්‍රයාන්විතයේදී අප ලැබූ ඉතාම සංවේදී අත්දැකීමක්.

ඊළඟට කාගේත් අවධානය යොමුවුණ හැමෝම බලා සිටි ප‍්‍රවෘත්තිය “ප‍්‍රභාකරන්ගේ් මරණය.” අප කලපුව දෙසට යන විට ප‍්‍රභාකරන්ගේ මළසිරුර රැගෙන එමින් තිබුණා. ඒ වන විට ප‍්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනීගේ මළසිරුරේ දර්ශන අපි ලබාගෙන තිබුණා. ප‍්‍රභාකරන්ගේ මළසිරුරේ දර්ශන ලබාගැනීමෙන් පසු, බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ගේ “වොයිස් කට්” එකකුත් ගත්තා.

මේජර් ජනරාල් කමල් ගුණරත්නත් එහිදී කතා කළා. ඊට පෙර දිනය වන විට සජීවී වාර්තාකරණයට අවශ්‍ය උපකරණ අපි රූපවාහිනියෙන් ගෙන්වලයි තිබුණේ.

අපි ඕනෑම අවස්ථාවක මේ තොරතුරු ලබා දෙන්න සූදානමින් සිටියා. මම ලබාගත් දර්ශන සජීවීව යොමුකිරීමට උත්සාහ කළත් එහි ආ හමුදා නිලධාරියෙක් යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත කළ යුතු දේ දන්වන තෙක් එයින් වළකින ලෙස දැනුම් දුන්නා. අපි හැම විටම යුද හමුදාවේ අවශ්‍යතාවය පිළිබඳ සැළකිලිමත් වුණා. ඒ දක්වා ඉවසීමෙන් සිටින අතර රූපවාහිනියෙන් මට කතා කර කිව්වා වෙනත් නාලිකාවක මේ දර්ශන ප‍්‍රචාරය වෙනවා කරුණාකර දර්ශන ලබා දෙන්න කියලා.

ඒ කාරණය ඔවුන්ට දැනුම් දෙමින් මම වහාම දර්ශන කොළඹට යොමු කළා. මේ කලබල වීම් තුළ ප‍්‍රභාකරන්ගේ අවසානය ලෝකයට ඉදිරිපත් කිරීමේ කිසියම් සැලැස්මක් තිබුණා නම් එයට බාධාවන්නට ඇතැයි සිතෙනවා. මම හිතන්නේ මාධ්‍ය අනවශ්‍ය පරිදි ඉක්මන් වෙමින් වගකීම පැහැර හැරියා. මට මේ දර්ශන පමා කරන්නැයි දැන්වූ නිලධාරියා කොපමණ කලබලයකින් සිටියාද කිව්වොත් ඔහු එහි ළඟාවූ අවස්ථාවේම වතුර බෝතලයක් කියල බිව්වේ ගම් බෝතලයක්. එවිට මම ප‍්‍රභාකරන් ගේ මරණය හමුවූ තැනට ඉතා ආසන්නයේ සිටියා. ඒ 11 වෙනි පාබල සේනාංකයත් සමඟ.

මානුෂීය මෙහෙයුමේ මුල පටන් අවසානය දක්වා අත්කරගත් සියලු ජයග‍්‍රහණ ජාතික රූපවාහිනිය මුලින්ම වාර්තා කළා. ඒ ප‍්‍රදේශවලට මුලින්ම ගියේ අපි. නමුත් ඇතැම් අවස්ථාවල වගකීම ගැන අපට වැඩියෙන් සැළකිලිමත් වෙන්න වෙනවා.

ගෑස් ප‍්‍රහාරයක් එල්ල වුණාම ක්ෂණිකව ඒක රටට කිව්වොත් නිවාඩුවට ගිය සොල්දාදුවා ආපසු එන එකක් නැහැ. ගෙවල්වලින් ඔවුන්ට බලපෑම් ඇතිවෙන්නත් පුළුවනි. හමුදා සොල්දාදුවන්ගේ චිත්ත ධෛර්යය අඩපණ වන දේවල් අප වාර්තා කළේ නැහැ.

මේ වගකීම ගැන ප‍්‍රභාකරන්ගේ මරණය වාර්තා කරද්දීත් අපි මුල්කොට ගත්තා. ප‍්‍රභාකරන්ගේ මළසිරුර හමුවුණ හැටි සජීවීව ඉදිරිපත් නොකළාට ඊට පසුදා යුද්ධයේ නිමාව සංකේතවත් කරන වෙඩි හඬ නිහඬ කිරීමේ උත්සවය අප රටට සජීවීව විකාශනය කළා.

සියලු නාලිකාවලට අප එය ලබා දුන්නා. සියල්ලට වඩා ප‍්‍රමුඛ වන්නේ ජාතික වගකීම බව අපි පිළිගන්නවා. යුද්ධයේ අවසානය සටහන් කළ ඒ ඓතිහාසික මොහොත සජීවීව වාර්තා කරන්නට ලැබීම මම ලබපු විශාල භාග්‍යයක් ලෙස සළකනවා.

”මේ ඔබ දකින්නේ, අසන්නේ අවසන් වෙඩි මුරයයි” කියන ප‍්‍රකාශය මම කළේ ඉතාම සතුටින්. මේ යුද්ධයේ මුල්ම ජයග‍්‍රහණය ගැන කිව්වා වගේ ම යුද්ධයේ අවසානය ගැනත් මට සියලු නාලිකා ඔස්සේ කියන්න ලැබුණා. මාධ්‍යවේදියකුට කිසිදා නොලැබෙන වරප‍්‍රසාදයක් ලෙස මා මේ අත්දැකීම නිහතමානීව සිහිපත් කරනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා