රට නඟන සටනට ඌව


 

රට නඟන සටනට ඌව

එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදයෙන් මුදා ගත් මවුබිම නව සමාජ පරිවර්තනයක් සඳහා මුල පුරා ඇත. මහින්ද චින්තන රට ගොඩ නඟන වැඩ පිළිවෙළ වේගවත් සංවර්ධන සංග‍්‍රාමයකට රට යොමු කර තිබේ.

හුදෙක් එය භෞතික සංවර්ධනයට සීමා නොවෙමින් ගුණ ගරුක සමාජයක් ගොඩනැඟීම දක්වාම යොමුව ඇති බව පෙනේ. සේනාධිනායකයා ලෙස ත‍්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමට නායකත්වය දුන් ජනාධිපතිතුමා කීවේ ගුණ ගරුක යහපත් සමාජයක් බිහි කිරීමේ සංග‍්‍රාමයටද එඩිතරව නායකත්වය දෙන බවයි.

රජය ත‍්‍රස්තවාදයේ අභියෝගයට මුහුණ දෙන අතරම රටේ සංවර්ධන වැඩ පිළිවෙළද ඉදිරියට ගෙන ගිය බව නොරහසකි. එහි ප‍්‍රතිඵල ප‍්‍රායෝගිකව පෙනෙන්නට තිබේ.

දැන් එකී සංවර්ධන කි‍්‍රයාදාමයන් වඩා වේගවත් ලෙස මෙහෙයවීමට අවස්ථාවක් ඇතිවී තිබේ. වත්මන් ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘතීන් පෙරට ගෙන ගියේ ගමට වැඩි අවධානයක් යොමු කරමිනි.

ගම අමතක කර රට නඟන්නට නොහැකි බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය මුල පටන්ම තේරුම් ගනිමින් කි‍්‍රයා කෙළේය. රටේ දුෂ්කර ප‍්‍රදේශ ලෙස හඳුනාගත් ඌව වැනි පළාත් වල ඇතිවී ඇති දියුණුව ඊට ප‍්‍රබල නිදසුනකි.

ත‍්‍රස්තවාදීන් විසින් වනසනු ලැබූ උතුර ගොඩනැඟීම සඳහා උතුරු වසන්තය වේගයෙන් හමා යමින් තිබේ. නැඟෙනහිර උදානය නැඟෙනහිර ජනතාවගේ ජීවිත ආලෝකවත් කර තිබේ.

දකුණ, මධ්‍යම, බස්නාහිර, වයඹ, උතුරු මැද, සබරගමුව මෙන්ම ඌවේ ජන ජීවිතද නව සමාජ පරිවර්තන යුගයකට පෙළ ගස්වන ප‍්‍රායෝගික වැඩ පිළිවෙළක් පෙරට යමින් ඇත.

ඌව පළාත් සභා මැතිවරණය ඉදිරියේ තබාගෙන මෙවර සතියේ ගවේෂණයෙන් අප විමසා බලන්නේ එය ඌවට දැනෙන ආකාරය සහ රට නඟන සංග‍්‍රාමයේදී ඌවට පැවරෙන කාර්යභාරයයි.


නිවැරැදි දේශපාලන නායකත්වය නිසා විශිෂ්ට ජයක්

ජනක බණ්ඩාර තෙන්නකෝන් - පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය

1987 මෙරටේ පළාත් සභා ස්ථාපිත කිරීමෙන් පසු 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත ප‍්‍රකාරව පළමු පළාත් සභාව යටතේ ඌව පළාත සඳහා 1988.04.28 වන දින ප‍්‍රථම පළාත් සභා මැතිවරණය පැවැත්වූවා.

ඉන් අනතුරුව එම පළාත සඳහා දෙවන පළාත් සභාව යටතේ 1993.05.17 වන දිනද තුන්වන පළාත් සභාව යටතේ 1999.04.06 වන දින ද හතරවන පළාත් සභාව යටතේ 2004.07.10 වන දින ද මැතිවරණ පවත්වා තිබෙනවා.

ඌව පළාතේ නිල කාලය අවසන් විය යුතුව තිබුණේ 2009.08.05 වන දින වුවත් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව 2009.05.28 වන දින එම පළාත් සභාව විසුරුවා හරිනු ලැබුවා. මෙම පළාත අප රටේ සෙසු පළාත් අතර ප‍්‍රධාන ස්ථානයක් හිමිවෙන පළාතක්.

ආර්ථික, සාමාජයීය හා ඓතිහාසික අතින් බලන විට එහි වැදගත්කම වඩාත් පැහැදිලි වෙනවා. දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශ රැසකින් සමන්විත වන මෙම පළාතේ ජනතාවගේ දිළිඳුකම එහි සංවර්ධනයට විශාල බාධාවක් වී තිබුණා.

වත්මන් රජයේ මහින්ද චින්තන ප‍්‍රතිපත්තිය අනුව කි‍්‍රයාත්මක වන සංවර්ධන වැඩ පිළිවෙළට සමගාමීව ඌව කඩිනමින් සංවර්ධනය කිරීමේ තිරසාර ව්‍යාපෘති රැසක් අප රජය සතුයි.

ඒ අනුව පුබුදමු වෙල්ලස්ස සංවර්ධන සැලැස්ම යටතේ කඩිනම් සංවර්ධනයක් ඉදිරි සය වසර තුළ ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය වන දේශපාලන සංස්ථාවන් ශක්තිමත් කිරීම පිණිස පළාත් සභාව විසුරුවා හැර මැතිවරණයකට යාමට රජය අදහස් කළා.

පුබුදමු වෙල්ලස්ස සංවර්ධන සැළැස්ම යටතේ පළාතේ අධ්‍යාපනය නඟා සිටුවීම, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, වාරිමාර්ග පද්ධති ප‍්‍රතිසංස්කරණය කරමින් කෘෂි කර්මාන්තයට නව ජීවයක් ලබාදීමට අවශ්‍ය සැළැසුම් මේ වැඩ සටහන තුළ ඇතුළත්.

එසේ ම ඌව පළාතේ බදුල්ල, මොණරාගල යන දිස්ති‍්‍රක්ක දෙකේ පිහිටි පළාත් පාලන ආයතන විසිහතට අයත් බල ප‍්‍රදේශ රාශියක් මාගේ අමාත්‍යංශය යටතේ කි‍්‍රයාත්මක විශේෂ සංවර්ධන ව්‍යාපෘති හරහා සංවර්ධනය කිරීමට පියවර ගන්නේ මීට වසර හතරකට පමණ පෙර සිටයි.

ඒ යටතේ දුෂ්කර ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම, සූර්ය බලයෙන් පාසල් හා ග‍්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන සඳහා විදුලි බලය ලබාදීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් මේ වන විට අවසන් කර තිබෙනවා.

අගෝස්තු මාසයේ දී පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින් අතිවිශිෂ්ට ජයක් අත්කර ගන්නවා.

මේ ජයග‍්‍රහණයට මූලික හේතුව වන්නේ නිවැරදි දේශපාලන නායකත්වය හා රජයේ තිරසාර සංවර්ධන වැඩ පිළිවෙළයි.


මහ ඇමැතිගේ ඉල්ලීම මත පළාත් සභාව විසුරුවා හැරියා

නන්ද මැතිව් - ඌව පළාත් ආණ්ඩුකාර

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුව ආණ්ඩුකාරතුමාට කළ හැක්කේ ප‍්‍රධාන ඇමතිතුමාගේ ඉල්ලීම මත පළාත් සභාව විසුරුවා හැරීමයි.

ඒ අනුව ඌව පළාත් සභාවේ ප‍්‍රධාන ඇමැති ගාමිණී විජිතමුණි සොයිසා ගේ ඉල්ලීමකට අනුව ඌව පළාත් ආණ්ඩුකාරවරයා හැටියට මම ඌව පළාත් සභාව විසුරුවා හැරියා.

ඒ හැර වෙනත් කිසිදු හේතුවක් මේ විසුරුවා හැරීමට බලපෑවේ නෑ. මැතිවරණය සඳහා සූදානම් වීම පක්ෂ ගන්නා තීරණ මත සිදු වන්නක්.


ජනාධිපතිතුමා රට නිදහස් කරගෙන මුහුණ දෙන ප‍්‍රථම මැතිවරණයයි

එම්. රත්නායක - ඌව පළාත් සභාවේ හිටපු සභාපති

ඌව පළාත් සභාව විසුරුවා හැරීමට තිබුණේ අගෝස්තු අටවෙනිදා. නමුත් ඊට පෙර පළාත් සභාව විසුරුවා හැරීමට ප‍්‍රබල ම සාධකයක් වුණේ මන්තී‍්‍ර සංඛ්‍යාවේ තිබෙන දුබලකම් . එනිසා ඌව පළාත් මහ ඇමැති ගාමිණී විජිත්මුණි සොයිසා මහතාගේ ඉල්ලීමකට අනුව ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා මේ විසුරුවා හැරීම සිදු කළා.

සභාව තුළ කිසියම් වැදගත් යෝජනාවක් සම්මත කර ගැනීමට යාමේ දී මේ මන්තී‍්‍ර සංඛ්‍යාවේ තිබෙන අඩු ව තදින්ම බලපෑවා. සන්ධානය සමඟ එක්ව කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ සන්ධානයෙන් ඉවත්වීම මේ මන්තී‍්‍ර සංඛ්‍යාවේ අඩු වීමට හේතු වුණා.

ජනාධිපතිතුමා රට නිදහස් කර දීමෙන් පසුව පවත්වන ප‍්‍රථම මැතිවරණය වන්නේ ඌව පළාත් සභා මැතිවරණයයි.

වෙන මැතිවරණවලට වඩා මෙවර මැතිවරණය සඳහා ජනතාව තුළ විශාල උනන්දුවක් පවතිනවා. විශේෂයෙන් දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ සහයෝගය මෙවර සන්ධානයට ලැබෙනවා.

එවගේම සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සෞඛ්‍ය ක්ෂේත‍්‍රය පැත්තෙන් ඌව පළාතට කර තිබෙන සේවයත් සන්ධානයේ ජයග‍්‍රහණයට හේතුවෙනවා. මෙවර ජනතාව ජනපතිතුමා කළ මේ උදාර කාර්යය ගැන සිතා සන්ධානය දිනවන්න කටයුතු කරන බව මගේ විශ්වාසයයි.


මේ විසුරුවා හැරීම ප‍්‍රායෝගික නෑ

සුදත් බලගල්ල - ඌව පළාත් සභා කණ්ඩායම් නායක ජනතා විමුක්ති පෙරමුණ

ඌව පළාත් සභාව පමණක් නෙවෙයි මීට පෙරත් සෑම පළාත් සභාවක් ම විසුරුවා හැරියේ එම පළාත් සභාවල නිලකාලය අවසන් වීමට පෙරයි.

නමුත් මීට පෙර පළාත් සභා මැතිවරණ පැවැත්වූයේ යුද්ධය කරන අතරතුර ඒත් ඌව පළාත් සභා මැතිවරණය පවත්වන්නේ යුද්ධය නිමා වූවාට පසුව.

විශේෂයෙන් පළාත් සභාව විසුරුවා හැරියේ සභාව තුළ දැවැන්ත ප‍්‍රශ්න ගණනාවක් තිබෙන කාල වකවානුවක කිසිදු ප‍්‍රායෝගික තත්ත්වයකින් තොරව මේ විසුරුවා හැරීම සිදු කළේ.

ජනතා විමුක්ති පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයින් මේ වන විට නම් කර අවසන්, ජුනි 24 වෙනිදා වන විට නාම යෝජනා භාර දෙනවා. මේ මැතිවරණය සඳහා අපි සූදානම්.


අපි ආණ්ඩුවට සහයෝගය දෙනවා

කන්දසාමි විශ්වනාදන් - ලංකා කම්කරු කොංග‍්‍රසයේ හිටපු මන්තී‍්‍ර

මේ යුද්ධය නිමාවෙලා තියෙන වෙලාවක්. අපිට දැන් අපේ වැඩ කටයුතු නිදහසේ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඌව පළාත් සභාව නියෝජනය කරන අපි දෙන්නෙක් තමා ලංකා කම්කරු කොංග‍්‍රසයේ හිටියේ.

වර්තමාන ආණ්ඩුව කරගෙන යන වැඩ පිළිවෙළේ තිබෙන සාර්ථක බව නිසා ම ලංකා කම්කරු කොංග‍්‍රසය හැටියට අපි මේ වසර පහ තුළ ම ආණ්ඩුවේ වැඩ කටයුතුවලට සහාය ලබා දුන්නා.

අද වන විට ආණ්ඩුව ඉතාම හොඳ තත්ත්වයක තියෙනවා. එනිසා සන්ධානය ඉදිරියට යා යුතුමයි. මෙවර ඌව පළාත් සභාව තුළ අපි ඒ සඳහා සහයෝගය ලබා දෙනවා.

ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක මුත්තු සිවලිංගම් මහතාගේ සහ අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ මඟ පෙන්වීම යටතේ මේ සඳහා අපි කටයුතු කරනවා.


ඌව පළාත් සභාව අනෙක් පළාත් සභාවලට ආදර්ශයක්

අරවින්ද් කුමාර් - කඳුරට ජනතා පෙරමුණු හිටපු මන්තී‍්‍ර

ඌව පළාත් සභාව තුළ ගෙවී ගිය වසර පහ පක්ෂ විපක්ෂ සියලු දෙනාම සුහදව කටයුතු කළා. අනෙක් පළාත් සමඟ සංසන්දනය කර බැලුවා ම එය ඉතා වැදගත්. මේ සුහදතාවය සඳහා හිටපු මහ ඇමැතිතුමාගේ කි‍්‍රයා කලාපය ප‍්‍රබල ලෙස බලපෑවා.

කෙටියෙන්ම කියනවා නම් සන්ධානය මගින් සංවර්ධනය සඳහා ගත් කි‍්‍රයාමාර්ගවලදී 90% කම සහයෝගය විපක්ෂයෙන් ලැබුණා. මොනයම් හෝ ගැටලුවක් පැන නැගුණොත් මහ ඇමැතිතුමා විපක්ෂ නායක තුමා සමඟ සාකච්ඡා කර එම ගැටලු නිරාකරණය කර ගත්තා. එවගේම පළාත් සභාව තුළ සිටි මන්තී‍්‍ර මණ්ඩලය ඉතා ආදර්ශමත් ලෙස කටයුතු කළා.

සුළු ජාතිකයින් නියෝජනය කරන කෙනෙක් හැටියට මේ පළාත් සභාව ගැන කියන් දොසක් නැහැ. එනිසා ම ජනතාවට යමක් කිරීමේ හැකියාව ලැබුණා.

විශේෂයෙන් ම කිවයුතුයි ගණ පූර්ණය නැතුව සභාව කල් තැබූ අවස්ථා අවමයි. ඌව පළාත් සභාව ගෙවී ගිය වසර පහ තුළ ගෙන ගිය වැඩ පිළිවෙළ අනෙක් පළාත් සභාවලට ආදර්ශයක් වුණා.


සන්ධානයේ ජයග‍්‍රහණය ගැන කිසිදු ගැටලුවක් නැත

මහින්ද අබේසුන්දර - දිනමිණ ප‍්‍රධාන කර්තෘ

ත‍්‍රස්තවාදය මුළුමනින් ම මර්දනය කොට මුළු රට ම එක ම ධජයක් යටතට ගෙන ඒමෙන් පසුව ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වේ.

එය පැවැත්වෙන්නේ ජනමතය උරගා බැලීමට පමණක් නොව එම පළාත් සභාවේ කාලය ද අවසන් වී ඇති බැවිනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග‍්‍රහණය ගැන කිසිඳු ගැටලුවක් මතු නොවේ.

රටේ ජාතික නිදහස වෙනුවෙන් දිවිදුන් ජාතික වීරයන්ගෙන් පැවැතෙන ඌව ජනතාව මෙහි දී රට බේරාගත් රණවිරුවන්ට සහ එයට මාර්ගෝපදේශකත්වය දුන් ජනාධිපතිතුමන්ට සිය උපහාරය නොඅඩු ව පුද කරන මැතිවරණයක් බවට ඌව පළාත් සභා මැතිවරණය පවත්වනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා