සෝමාලියාව හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කරයි

සෝමාලියාව හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කරයි

යුද්ධයකට ගොදුරු වී සිටින සෝමාලියාවේ හමුදාව කැරලිකරුවන් සමග සටනට පිවිස සිටියදී එරට රජය පෙරේදා නිල වශයෙන් හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කෙළේය.

රට මුහුණ දී ඇති දුෂ්කරතාවන් ජය ගැන්ම හදිසි නීතිය පැනවීමේ අරමුණ බව ජනාධිපති ෂික් ෂරික් ෂික් ආමද් පුවත් පත් සාකච්ඡාවකදී පැවැසීය.

ඉකුත් සතියේ හදිසි නීතිය පැනවීම සඳහා කැබිනට් අනුමැතිය පලවීමෙන් පසු පෙරේදා ජනාධිපතිවරයා එම ප‍්‍රකාශනය අස්සන් කෙළේය.

ඉකුත් සති කීපය තිස්සේ ඉස්ලාමීය කැරලිකරුවන් සමග සෝමාලියා රජය සටන් වැද සිටින්නේ මොගදීෂු නගරයෙන් උතුරේදී අලුතින් සටන් පැන නැගීමත් සමගය. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිවු දෙනකු ඉකුත් සතියේ ඝාතනය වූ අතර රජයේ හමුදා හා කැරලිකරුවන් සිය ගණනක් මිය යාම හෝ තුවාල ලබා ඇතැයි පැවසේ.

සෝමාලි පාර්ලිමේන්තු කතානායක වරයා කැරලි මර්දනය සඳහා යාබද රටවලින් හමුදා එවීමෙන් රජයට සහාය වන්නැයි ඉල්ලා ඇත. කැරලිකාර අල් ෂාබාබ් සංවිධානය රජයට එරෙහි යුද්ධයේදී විදෙස් සටන්කාමීන්ගේ සහාය ලබාගෙන ඇතැයි ජනාධිපතිවරයා චෝදනා කර තිබේ. අල් කයිඩා සහාය මෙහිදී කැපී පෙනෙන බව ඔහු පවසයි.

ඔහු පවසන්නේ ඔවුනට සෝමාලියාව ත‍්‍රස්ත රැකවරණස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය වී ඇති බව ඔහු කියා සිටී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා