‘දියවන්නාවේ නෑදෑයෝ’

 

 

 

 

 

කෝට්ටේ ‘අලි බලකොටුවක්’ කියන මතය මම නැති කළා

රෝහිත බෝගොල්ලාගම ගේ ජීවිතයට එබී බැලීමක්

හු දේශපාලනඥයකු වූයේ ඔහුට උපතින්ම හිමිව තිබූ ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රය අතහැර දමමින්ය. ‘අධිෂ්ඨානය’ සිය අවිය කරගත් මේ මහජන නියෝජිතයා සිය ‘පක්ෂයට’ වඩා ‘රට’ මූලික කරගෙන දේශපාලනයේ නිරතව සිටින්නෙකි.මෙවර දිනමිණ ‘දියවන්නාවේ නෑදෑයෝ’ විශේෂාංගයට සහෘද පාඨක ඔබව හමුවන්නේ මේ ජනතා නියෝජිතයාය. හේ නමින් රෝහිත බෝගොල්ලාගම නම් වේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමැතිවරයා ඔහුය. අපි ඔහුගේ ජීවිතයට එබී බලමු.

* ඔබව අප දන්නේ රෝහිත බෝගොල්ලාගම නමින්. ඔබේ සම්පූර්ණ නම සහෘද පාඨකයා දැනගන්න කැමැති ඇති...?

මගේ සම්පූර්ණ නම චන්ද්‍රසේකර රෝහිත බණ්ඩාර බෝගොල්ලාගම.

* එතකොට ඔබේ උපන් දිනය, උපන් ගම ලෙස සඳහන් කළ හැක්කේ?

මම ඉපදුනේ කොළඹ. එහෙත් අපේ ගම ලෙස සඳහන් කළ හැක්කේ වයඹ පළාතේ නිකවැරටිය. ඒක තමයි අපේ පරම්පරාවෙන් එන ගම. නිකවැරටියේ තමයි බෝගොල්ලාගම තියෙන්නේ. මම උපන්නේ 1954 වර්ෂයේ අගෝස්තු මාසයේ 6 වැනිදා.

* ඔබේ මවුපියන් ගැන කතා කරන්න ඔබ කැමැති ඇති?

මගේ පියාගේ නම සී. එම්. බී. බෝගොල්ලාගම. චන්ද්‍රසේකර මලල බණ්ඩා බෝගොල්ලාගම. මගේ මවගේ නම විනීතා පියසීලි සෙනරත්. මගේ පියා නීතිඥවරයෙක්. මගේ පියාගේ පියා ඒ කියන්නේ මගේ සීයා කලෙක බස්නායක නිලමේ කෙනෙක් ලෙසටත් කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ පසුබිම ව්‍යාපාරික ක්ෂේත‍්‍රය.

ඒ හා සමානව මගේ මවගේ පියා ජේ. සෙනරත් නාරම්මල පළමුවන ගම් සභාපති ලෙස කටයුතු කර තිබෙනවා. ඊට පෙරාතුව එතුමා ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කර තිබෙනවා. එතුමාගේ ගම ඇත්තටම වේයන්ගොඩ. එහෙත් එතුමා ව්‍යාපාරික කටයුතුවලට තෝරා ගත්තේ දඹදෙණිය ආසනය. විශේෂයෙන්ම නාරම්මල. ඒ අනුව තමයි නාරම්මල මවගේ ප‍්‍රදේශය ලෙස ගොඩනැඟුණේ.

මම අපේ පවුලේ දෙවැනියා. අපේ පවුලේ පිරිමි හතර දෙනයි ගෑනු එක්කෙනයි. අපේ පවුලේ කවුරුවත් දේශපාලනයට සම්බන්ධ නෑ. මම පමණයි දේශපාලනය කෙළේ. අනෙක් අය එයාලගේ වෘත්තීන්වල නිරතවෙලා ඉන්නවා.

* ව්‍යාපාරික පවුලකට උරුමකම් කියපු ඔබ කොහොමද එකපාරට දේශපාලනය වැනි දුෂ්කර, අභියෝග ඇති ක්‍ෂේත‍්‍රයකට යොමුවන්නේ?

අපේ පවුලට දේශපාලනය ආධුනික නැහැ. මොකද මගේ පියාගේ පියාත් දේශපාලනය කළා. ඔහු නිකවැරටිය පළමුවන ගම් සභාපති. මගේ මවගේ පියාත් ගම් සභාපති. ඒ වගේම මගේ පියාත් දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂ දේශපාලනයේ නිරතව සිටියා. එජාප දේශපාලනය තමයි අපට පුරුදුව තිබුණේ. මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විදුහලේ.

මමත් බේරුවල ඉමිටියාස් බාකීර් මාකර් මහතාත් එකම කාලයක පාසලේ ඉගෙන ගත්තේ. ඒ දවස්වල මට මතකයි ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ පාලන කාලයේ දී අපි සමවාදී ශිෂ්‍ය පෙරමුණ හදලා ඒකෙන් තමයි අපි එළියට ආවේ. කරුණාසේන කොඩිතුවක්කුª මහතා අපිට වඩා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් වූවත් මේ කටයුතුවල අප සමඟ එකට කටයුතු කළා. 1971 වර්ෂයේදී පමණ පාසල් ශිෂ්‍යයකු සිටියදීයි මම දේශපාලනයට අවතීර්ණ වුණේ.

* ඔබලාගේ පවුල් පසුබිමත් එක්ක ඔබ කුඩා කළ සිට ආනන්ද විදුහලේද ඉගෙන ගත්තේ ?

මම කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ පස්වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තා. ඉන්පසු අවුරුදු 10 දී කොළඹ ආනන්ද විදුහලට ඇතුළු වුණා. උසස් පෙළ දක්වා එහි ඉගෙන ගෙන නීති විදුහලට ඇතුළු වුණා. ඉන්පසුව මම 1976 වර්ෂයේදී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නා. ඒ වෙනකොට මම තමයි ශ‍්‍රී ලංකාවේ ලාබාලම අධිනීතිඥවරයා බවට පත්වුණේ. මම දිවුරුම් දෙනකොට මට අවුරුදු 22 ක් වගේ.

* පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයකු වූ ඔබ අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමැතිවරයා එපමණක් නොවෙයි ඔබ මේ වනවිට කෝට්ටේ ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා. කොහොමද මේ පරිවර්තනය සිදුවුණේ ?

නීතිඥ වෘත්තියෙන් ඉදිරියට පැමිණි මා රටේ වගකීම් කීපයක් ඉසුලුවා. මම අවුරුදු තිස් ගණන්වල සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. ඒ වගේම ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා ලෙසත් අධ්‍යක්ෂ ජෙනරාල් ලෙසත් කටයුතු කළා. ඒ වගේම විදේශ නැව් සමාගම්වල උපදේශකවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ඒ ආයතනවල නීති අංශයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළා. විදේශ වාණිජමය ක්‍ෂේත‍්‍රයේ උපදේශකවරයකු ලෙසද කටයුතු කර තිබෙනවා. මගේ දේශපාලනය එජාපයේ තිබූ අතර මගේ විකාශය සමස්තයක් ලෙස රටේත් ලෝකයේත් තිබුණා. ඒ මගින් මා ඉදිරියට ගියා.

දේශපාලනයේ මම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවුරුදු 14 ක් කටයුතු කළා. ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයාගේ සිට රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා දක්වා නොකඩවා කටයුතු කළා. මේ කාලයේදී රටේ සෑම නායකයකු සමඟම කටයුතු කළා. දේශපාලනයේ මම දැක්ක දේ තමයි රටේ ලොකුම පිළිලය වූ ත‍්‍රස්තවාදය නැති කරන්න නම් රටේ ජාතික එකඟතාවක් තිබිය යුතුයි කියන එක.

රෝහිත - දීප්ති විවාහවූදා

සිය බිරිය සහ මාමණ්ඩිය සමඟ...

දේශපාලනය කියන්නේ ජනතාව ඒකරාශී කිරීම මිසක් ජනතාව වෙන්කිරීම නෙවෙයි. ශ‍්‍රී ලංකාව පෝසත් වන්නේ නැත්තේ ඇයි ? මේ රට ශක්තිමත් රටක් බවට පත් කළ හැකි රටක්. මම දේශපාලනය කරන්න ආවේ අත්දැකීම් සමූහයක් අරගෙන. දේශපාලනයෙන් නෙමෙයි අත්දැකීම් ගත්තේ දේශපාලනයට බාහිරවයි.

ඒ අනුවයි එදා මම එජාපයේ දී නිකවැරටිය ආසනය නියෝජනය කළේ. එතැනත් එදා මම දේශපාලනය කෙළේ පක්ෂ අනුව නෙමෙයි රට වෙනුවෙන්. ජනතාව වෙනුවෙන්. පසුගිය ඡන්දයේදී නිකවැරටිය ආසනයේ ජනතාව 77% ක් මා සමඟ සිටියේ ඒ අනුව. මම පාර්ලිමේන්තුවේ හැමවිටම කතා කෙළේ ජාතික එකඟතාවක් සඳහා.

2004 වර්ෂයේ දී මම එජාපයේ සිට සන්ධාන ආණ්ඩුවට සම්බන්ධ වුණේ ඒ ජාතික එකඟතාවයේ අරමුණ අනුව. එජාපය එදා එයට සම්බන්ධ විය යුතුව තිබුණත් ඔවුන් එයට සම්බන්ධ වුණේ නෑ. මම දේශපාලන වශයෙන් අනාථ වෙන්න පුළුවන් කියා එදා සමහරු කීවා. මම ඒ වෙලාවේ කිව්වේ ආත්ම විශ්වාසය තමයි දේශපාලනය කරනකොට තිබිය යුතු හොඳම ආයුධය කියා.

මම ආණ්ඩුවට එනකොට චන්ද්‍රිකා ජනාධිපතිනිය කීවා මා සමඟ ගිවිසුමක් අස්සන් කළ යුතුයි කියා. මොකද මම මෙතැන හිටියේ නැත්නම් කවුද ඔබ පැමිණි වගකීම දරන්නේ කියා. එතකොට මම ජනාධිපතිනියට කීවා. “මැඩම් මම ගිවිසුම්වලට දේශපාලනය කරන්නේ නෑ. මම දේශපාලනය කරන්නේ මගේ නිදහස් මතයට.

ඒ අනුව මට ආත්ම ශක්තියක් තියෙනවා, හැකියාවක් තිබෙනවා. ඒ දේ ගැන මට විශ්වාසයි” කියා. මොකද නායකත්වයේ චන්ද්‍රිකා මැතිනිය හිටියත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටියත් දේශපාලනය කරන පුද්ගලයා දැනගන්න ඕන තමුන්ගේ දේශපාලනය කොහොමද හසුරුවා ගන්නේ කියා. නායකයා සමඟ වැඩ කරන්න තමන් නිහතමානී වෙන්න ඕන. නායකත්වය පිළිගන්න ඕන. ඒ අනුව රටේ වගකීම ඉෂ්ට කරන්න තමන් දැනගන්න ඕන. අන්න ඒ දේශපාලන න්‍යායයේයි මම කටයුතු කෙළේ.

2005 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ජයග‍්‍රහණය කරවන්න කැපවුණු සුළු පිරිසේ එක් අයෙකු වීම ගැන මම අද අසීමිත සතුටු වෙනවා. මම අදත්, මගේ බිරිය දීප්ති බෝගොල්ලාගමත් ජනාධිපතිතුමා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම වගකීම් කොටස ඉටුකරන්න ඇප කැප වෙලා ඉන්නේ.

* පාසල් යන කාලේ ඔබේ සිතේ යම් බලාපොරොත්තුවක් තිබුණද කිසියම්ම දවසක දේශපාලනඥයකු වෙනවා කියා ?

මට ඉස්සෙල්ලාම අවශ්‍යය වුණේ නීතිඥයකු ලෙස හොඳ ස්වාධීනත්වයක් ඇතිකර ගන්න. මේ සඳහා මට විශාල ශක්තියක් වුණා මගේ භාර්යාවගේ පියා ඩයස් සමරකෝන් මැතිතුමා. ඔහු සිවිල් සේවයේ හිටපු නිලධාරිවරයෙක්. නීතිඥවරයෙක්. මගේ භාර්යාව වෙනුවෙන් විශාල කැපවීමක් කළා. විශේෂයෙන් කොළඹ තලයේ මට ඉදිරියට එන්න ශක්තියක් වුණා. ඒ අනුව ඉදිරියේදී මම දේශපාලනයට ආවොත් රටේ වගකීමක් දරන්න පුළුවන් කටයුත්තක් කරන්න පුළුවන් කියන සිතුවිල්ල මා කෙරෙහි තිබුණා.

* ඔබේ ජීවිතයේ සෙවණැල්ල බඳු ඔබේ බිරිය (දීප්ති බෝගොල්ලාගම) ඔබට හමුවන්නේ කොහොමද?

ඇය මට හමුවන්නේ නීති විද්‍යාලයේදීයි. ඒ වෙනකොට ඇය දීප්ති සමරකෝන්. ඇය විශාඛා විද්‍යාලයේ ඉගෙනගෙන නීති විද්‍යාලයට ආවා. මම ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගෙන නීති විද්‍යාලයට ආවා. මම ඇයට වඩා එක අවුරුද්දක් ජ්‍යෙෂ්ඨයි.

චාරිකාවකදී...

සිය පවුල

ඇය නීති විද්‍යාලයේ හිටියේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පන්තියේ. එතුමා නීති විද්‍යාලයට ආවේ 1974 අවුරුද්දේ. අපි එකට ආශ‍්‍රය කළා. එතුමිය ජනාධිපතිතුමාව දන්නවා කුඩා කාලයේ සිට. ඒ ගෙදර ආශ‍්‍රයෙන්.

දීප්තිත් මමත් කලක් ආශ‍්‍රය කර සිත් හොඳින් දැන ගත්තාට පසු 1977 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 5 වැනිදා විවාහ වුණා. ඒ අනුව අපට මේ වනවිට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. දුවයි පුතයි.

මගේ පුතා දක්ෂිණ බෝගොල්ලාගම අමෙරිකාවේ අධ්‍යාපනය ලබා දැන් ඔහුගේ අවසන් අධ්‍යාපන කටයුතු සිංගප්පූරුවේ කරනවා. දුව දිල්ෂානී බෝගොල්ලාගම, එංගලන්තයේ ඉගෙනුම ලැබුවා. දැන් ඉන්දියාවේ ප‍්‍රධානම වෛද්‍ය විද්‍යාලයෙන් සිවුවන වසරේ අධ්‍යාපනය ලබනවා.

* ඔබේ බිරියගෙන් ඔබේ දේශපාලන දිවියට ලැබෙන අනුග‍්‍රහය ?

ආසන මට්ටමේ දේශපාලන සංවිධානයට ඇයට හොඳ හැකියාවක් තිබෙනවා. ඒ වගේම මගේ දේශපාලන දිවියට සැබැවින්ම ඇය ශක්තියක්.

* නිකවැරටිය වැනි ග‍්‍රාමීය ආසනයක සංවිධායකවරයෙක් වූ ඔබ අද කෝට්ටේ වැනි නාගරික ප‍්‍රදේශයක ආසන සංවිධායකවරයෙක්. මේ පළාත් දෙකේ ජනතාවගේ අවශ්‍යතා වෙනස්. එය ඔබ තේරුම්ගෙන ඇති ආකාරය?

ගම සහ නගරයේ ජීවත්වන ජනතාවගේ ඇත්තේ විශාල වෙනසක්. නිකවැරටිය කියන්නේ කොළඹ දිස්ති‍්‍රක්කය හා සමාන භූමි ප‍්‍රමාණයක් තියෙන විශාල ආසනයක්. කෝට්ටේ ආසනයේ ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 17 1/2 යි. ජනගහණයෙන් දෙකම එකයි. නිකවැරටියේ තියෙන්නේ ග‍්‍රාමීය ජනතාවගේ බලාපොරොත්තු. ගොවිතැන, ගමට විදුලිය, වතුර, ගොවි නිෂ්පාදනවලට හොඳ මිලක්. ගමේ ඉඳලා නගරයට එනන බස් එකක්.

ඔවුනට ඇත්තේ පොදු ප‍්‍රශ්න සහ අපේක්ෂා. කෝට්ටේ ජනතාවට වතුර තියෙනවා, ලයිට් තියෙනවා, හුඟක් අයට නිවාස තිබෙනවා. එහෙත් පරිසරාත්මක ප‍්‍රශ්න හුඟක් තියෙනවා. වැසි වතුර බැසයාමේ ප‍්‍රශ්න, කුණු ප‍්‍රශ්න, ජල ගැලීම් ප‍්‍රශ්න, නිසිපරිදි අපවිත‍්‍ර ද්‍රව්‍ය ඉවත් නොකිරීමේ ප‍්‍රශ්න, සහ රැකියා අවශ්‍යතා ඔවුනට තිබෙනවා. මෙතනදී නාගරික ජනතාවගේ ප‍්‍රශ්න සඳහා මුහුණදීම ටිකක් ලේසියි. ආයෝජනය අඩුයි. ගමේ ආයෝජනය වැඩියි. දුර ප‍්‍රමාණය අනුව.

ඉන්දීය සංචාරයකදී...

විදෙස් සමුළුවකදී...

* ඉදිරි මහ මැතිවරණයේ දී ඔබට කෝට්ටේ ආසනයේ සංවිධායකවරයා ලෙස කොළඹ දිස්ති‍්‍රක්කයට තරග කරන්න වෙනවා. ඒ ගැන මොකද කියන්නේ ?

කෝට්ටේ ආසනය මම බාරගත් පසු පැවැති පළාත් සභා මැතිවරණයේදී වැඩි ඡන්ද 12,500 කින් ඉතිහාසයේ පළමු වතාවට කෝට්ටේ සන්ධානය දිනාගත්තා. කලින් එහෙම වැඩි ඡන්ද ගණනකින් දිනාගෙන නෑ. කෝට්ටේ කිව්වහම සමහරු හිතනවා ඒක එජාපයේ අලි බලකොටුව කියා. සිරිකොතත් තියෙන්නේ කෝට්ටේ ආසනයෙනේ.

පසුගිය ඡන්දයේ ඒ මතය මම බින්දා. ඉදිරියේදී කෝට්ටේ දිගටම සන්ධානයේ බලකොටුවක් වේවි. මම කියන්නේ කෝට්ටේ ජනතාවට මා සමඟ එකතු වන්න කියා. එය එජාපයේ අයටත් මම කියනවා. පක්ෂයට වඩා අපට අපේ රට වටිනවා. ජනාධිපතිතුමා අපට ලබා දී ඇති නිදහස අර්ථවත් කළ හැක්කේ සියලුම දෙනා එකට එකතුවී ගමනක් යාමෙන්.

* ඔබ කැමැතිම ශ‍්‍රී ලංකාවේ සිටිය විදේශ ඇමැතිවරයා කවුද?

විදේශ ඇමැති ධූරයේ ඇති වගකීම සහ යුතුකම දර්ශනය සැබෑ ලෙස ඉෂ්ට කළ විදේශ ඇමැතිවරිය ලෙස මම සඳහන් කරන්නේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඇය එදා අනුගමනය කළ පිළිවෙත් අද විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කරන මටද විශාල ශක්තියක් වී තිබෙනවා.

ඒ අනුව ලෝකයේ වැඩිම රටවල් ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාව හා සම්බන්ධ වී කටයුතු කෙළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මා විදේශ ඇමැති ධූරය දැරූ පසුගිය වසර දෙකේදීයි.

* ඔබේ ලග්නය මොකක්ද?

කුම්භ ලග්නය.

* නක්‍ෂත‍්‍රය පිළිබඳව ඔබට ඇති මතය කුමක්ද?

ඔබතුමාට අනාවැකියක් කියන්න පුළුවන්නම් මම අහගෙන ඉන්නම්. (සිනාසී) නක්‍ෂත‍්‍රය කියන්නේ විද්‍යාවක්. විද්‍යාවක් අනුව යම් තක්සේරුවක් කරන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒ ආශ‍්‍රයෙන් නිවැරැදිව යම් දෙයක් කියන්න පුළුවන් නම් එහි වැරැද්දක් නෑ.

* ඔබේ සිත්ගත් දේශපාලනඥයා කවුද?

ශ‍්‍රී ලංකාවේ සිටි සියලුම දේශපාලන නායකයන්ගේ සුවිශේෂ වූ විවිධ ගති ලක්ෂණ තිබෙනවා.

* ඒ අතර වර්තමාන ජනාධිපතිතුමාට ඇති සුවිශේෂ ගති ලක්ෂණය කුමක්ද?

අපේ ජනාධිපතිතුමා ඉතාමත් අධිෂ්ඨාන පූර්වක නායකයෙක්. අධිෂ්ඨානයක් කරගත්තොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ දේ ඉෂ්ට කරනවා. මේ ඉලක්කයට රට ගෙනියන්න පුළුවන් කියන අරමුණ එතුමාට තිබෙනවා. මානුෂීය මෙහෙයුම අපට ජයගන්න පුළුවන් කියන අදිටන එතුමාට තිබුණා. ඒක එතුමා ජයගත්තා. රට සංවර්ධනයේ ඉලක්කයට ගෙනියන්න පුළුවන් කියන අධිෂ්ඨානය එතුමාට තිබෙනවා. ඒ තැනට එතුමා රට අරන් යනවා.

* අපේ රට අනෙකුත් දියුණු විදේශ රටවල තත්ත්වයට අපට ගෙනයන්න පුළුවන් කියන විශ්වාසය විදේශ ඇමැතිවරයා ලෙස ඔබට තිබෙනවද?

ඒකට ඕන රටේ සියලුම දෙනාගේ අධිෂ්ඨානය පමණයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා