සන්ධානය දිනවන්න ඌව ජනතාව තීන්දු කරලා ඉවරයි

සන්ධානය දිනවන්න ඌව ජනතාව තීන්දු කරලා ඉවරයි

මානෙල් රත්නායක
එ. ජ. නි. ස. අපේක්‍ෂක

ව පළාත් සභාවේ මන්තී‍්‍රවරයකු ලෙසත්, එහි සභාපතිවරයා ලෙසත් මානෙල් රත්නායක මහතා වසර දහයක පමණ කාලයක් කටයුතු කළේය. හෙතෙම නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම අරමුණු කරගෙන ප‍්‍රගතිශීලී කඳවුරේ කැපී පෙනෙන චරිතයකි. මෙවර ඌව පළාත් සභාවට තෙවන වරටත් තරග කිරීමට ඉදිරිපත්ව සිටින මානෙල් රත්නායක මහතා සමඟ “දිනමිණ” කළ සංවාදයයි මේ.

* ඌව පළාත් සභා මැතිවරණයට ආණ්ඩුව යොමු වෙලා තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඌව පළාතෙන් මෙදා පාර මොනවගේ ප‍්‍රතිඵලයක් ද අපේක්ෂා කරන්නේ?

ඇත්ත වශයෙන්ම මේක තීරණාත්මක මැතිවරණයක්. වසර තිහකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ තිබුණ කුරිරු ත‍්‍රස්තවාදය පරාජය කොට රට එක්සේසත් කළාට පසුව පැවැත්වෙන ප‍්‍රථම මැතිවරණය මෙයයි. ජනාධිපතිතුමා පිළිබඳ රටේ ඇති බහුතරයක් ජනතාව තබා තිබෙන විශ්වාසය අපට පසුගිය කාලයේදී දැකගන්න ලැබුණා.

ඒ අනුව අපට ජයග‍්‍රහණය පිළිබඳ කිසිම ප‍්‍රශ්නයක් නෑ. ඌව පළාතේ ජනතාවගෙන් වැඩි පිරිසක් මහින්ද චින්තනය හරි කියලා දැන් පිළිඅරගෙන තියෙනවා. මෙවරත් සන්ධානයේ ජයග‍්‍රහණය ගැන ඌව පළාතේ ජනතාව දැනටමත් තීන්දු කර හමාරයි. ඒ අනුව ඌව පළාතෙන් මේ පාර සන්ධානය සුවිශේෂී ජයග‍්‍රහණයක් ලබනවා.

* ඌව පළාත ගත්තොත් විශේෂයෙන්ම බදුල්ල දිස්ති‍්‍රක්කය එ. ජා. ප. බලකොටුවක් ලෙසයි සැලකෙන්නේ? ඔබ නියෝජනය කරන බදුල්ල දිස්ති‍්‍රක්කය පිළිබඳ ඔබට සැහැල්ලුවෙන් හිතන්න හැකිද?

හිතන්න අමාරුයි. වතුකරයේ ජීවත්වන දෙමළ සහෝදර ජනතාවගෙන් බහුතරයක් මෙතෙක් කාලයක් හිටියේ එ. ජා. ප. යට ලැදිවයි. නමුත් ජනාධිපතිතුමා යුද්ධය අවසන් කර සාමය ස්ථාපිත කලාට පස්සේ එම තත්ත්වයෙන් සෑහෙන වෙනසක් අද දකින්න ලැබෙනවා. දමිළ මුස්ලිම් ජනතාව බහුතරයක් අද එ. ජා. ප. යෙන් මුළුමනින්ම ඈත්වෙලා. බදුල්ල දිස්ති‍්‍රක්කයේ වතුකරයේ සිටින ජනතාව අද ජනාධිපතිතුමා වටා රොක්වෙනවා. මුස්ලිම් ජනතාව පුදුමාකාර විදියට අද එ. ජා. ප. යෙන් ඉවත්වී රජයට සහයෝගය ලබාදෙනවා.

* යුද ජයග‍්‍රහණය රජය දේශපාලන වාසියට යොදා ගන්නා බවට එජාපය හා ජවිපෙ චෝදනා කරනවා නේද?

රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂයක නායකයාත්, රටේ සේනාධිනායකයාත්, මහජන ඡන්දයෙන් තේරීපත්වූ ජනාධිපතිතුමාත් එකම පුද්ගලයෙක් වුණාම එය නවත්වන්න බැහැ. ජනතා තීන්දුව එයයි. ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙළේ සාර්ථකත්වය අද මහජනතාව අත්විඳිනවා. එයට පක්‍ෂ, පාට, ජාති, ආගම් භේදයක් නැහැ.

ජනතාව එහි ගෞරවය නිරායාසයෙන් රජයට ලබා දෙනවා. මේ නිසා එජාපයට අද කියන්න දෙයක් ඉතිරිවෙලා නෑ. ඒ වගේමයි ජ. වි. පෙත් ඒ තත්ත්වයට වැටිලා. ඌව පළාත තුළ සංවර්ධනය පැත්තෙන් දැනට ඔබ දකින අඩුපාඩු මදිපාඩු මොනවාද? - ඇත්තවශයෙන්ම උතුරු, නැඟෙනහිර ප‍්‍රදේශ දෙක හැරුණු විට දැනට තිබෙන අඩුම සංවර්ධන කලාපය ඌව පළාතයි. අපි හැමදාමත් මේ ගැන කිය කියා ඉදීමෙන් පලක් නෑ. එය දියුණු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන සංවර්ධන උපාය මාර්ග අපි හඳුනාගත යුතුයි. අවාසනාවකට වගේ අපි තාමත් එය තේරුම් ගෙන නැහැ.

* එම සංවර්ධන උපාය මාර්ග ලෙස ඔබ දකින්නේ කුමක්ද?

ඌව පළාත ගත්තොත් බදුල්ල දිස්ති‍්‍රක්කයේ අපි ජීවත්වන්නේ කඳුකර ප‍්‍රදේශයකයි. කඳු, හෙල්, බෑවුම් සහිත මේ ප‍්‍රදේශය තුළ අපට හොඳ මාර්ග පද්ධතියක් නොමැතිකම විශාල අඩුපාඩුවක් ලෙසයි මා දකින්නේ. මේ ප‍්‍රදේශයට පිවිසෙන ප‍්‍රධාන මාර්ග පද්ධතිය හැරුනු විට ග‍්‍රාමීය ප‍්‍රදේශවල බොහොමයක් මාර්ග අද පවතින්නේ අබලන් තත්ත්වයකයි.

උදාහරණයක් ලෙස ගත්තොත් පිටමාරුවේ සිට මීගහකිවුලට එන්න ඉතා කෙටි මාර්ගයක් ඇතත් එම මාර්ගයේ පවතින අබලන් තත්ත්වය නිසා දැනට පිටමාරුවේ සිට මීගහකිවුලට එන්න පස්සරට පැමිණ එතැනින් බදුල්ලට ඇවිත් බදුල්ලේ සිට මීගහකිවුලට පැමිණිය යුතුයි. හරියට පරංගියා කෝට්ටේ ගියා වගේ ගමනක්.

මේ වගේ දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශ ගණනාවක්ම බදුල්ල දිස්ති‍්‍රක්කය තුළ දැනට තිබෙනවා. ඒවා තාමත් පවතින්නේ පැරැණි තත්ත්වයෙන්මයි. දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල දැනට ප‍්‍රධාන නගර සම්බන්ධ කෙරෙන මහා මාර්ග අධිවේගී මාර්ග බවට සංවර්ධනය වෙමින් පවතිනවා. නමුත් මේ පළාතේ ග‍්‍රාමීය මාර්ගවල එවැනි සංවර්ධනයක් තාමත් දකින්න නැහැ.

කඳුකරයේ ඉන්න අපට හොඳ මාර්ග පද්ධතියක් අත්‍යවශ්‍යයයි. ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන, ආර්ථික තත්ත්වය නගාසිටුවීමට නම් මේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කළ යුතුයි. ගොවි නිෂ්පාදනවලට හොඳ මිලක් ලබාගත හැකිවන්නේ ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමෙනුයි.

ඒ වගේම ගැමි ආර්ථිකය නගා සිටුවීමට නම් අපේ කෘෂිකර්මාන්තය නවීකරණය කළ යුතුයි. හොඳ පාසල් පද්ධතියක් අපට අවශ්‍යයයි. ග‍්‍රාමීය ප‍්‍රදේශ කේන්ද්‍රකරගත් ජාතික මට්ටමේ පාසල් ඌව පළාත තුළ ආරම්භ කළ යුතුයි. ගම නැඟුම තුළින් සාර්ථක ප‍්‍රතිඵල ලබාගන්න නම් ග‍්‍රාමීය මාර්ග පද්ධතිය නවීකරණය කළ යුතුමයි. ඉදිරි පළාත් සභාව මේ අභියෝගය ජයගන්න කැපවී කි‍්‍රයා කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා