ගැමිදිරියෙන් එළියවුණු කණවේගල්ල

ගැමිදිරියෙන් එළියවුණු කණවේගල්ල

ලය නොමැතිව පීඩාවට පත්වූ කාන්තාවන්ගේ සතුට සොම්නස ඉපිළී ගොසිණි. පඬරැළි සේ වියැළී තිබූ හදවත්වල උතුරා යන සිසිලක් ඇති බව තෙපළන වදන්වලින් පැහැදිලි වේ. ගමේ අස්සක් මුල්ලක් නෑරම පැතිරී ඇත්තේ සොම්නසේ ආලෝකයයි. පැවතියාවූ දිළිඳුකමේ කෙඳිරිල්ල සෞභාගයේ හසරැල්ලක් වී ඇත්තේ රජයේ සැබෑ වුවමනාවත්, ගම්වාසීන්ගේ කැපවීමත් කදිමට පසක් කරමිනි.

 වසර ගණනක් කණවේගල්ලට ජලය ලබා ගත් පොකිරි වළ

 ගැමිදිරියෙන් ලබා දුන් ජල ටැංකිය

කණවේගල්ල ගම්මානයේ සැබෑ වෙනස ගම්මුන්ගේ හැසිරීම්වලින් දක්නට ලැබේ. බිබිල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කණවේගල්ල ග‍්‍රාම නිලධාරි වසමේ පවුල් සංඛ්‍යාව 117 කි. ගම්මුන් සහභාගි කරගෙන ගමේ අවශ්‍යතා තේරුම් ගෙන කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොවූ කණවේගල්ල ගම්මානයට සොම්නස උදාවුණේ ගැමිදිරිය වසමට පැමිණීමත් සමඟ බව ගම්වාසීහු උජාරුවෙන් පැවසූහ. මේ සංවර්ධන පෙරළිය. සීමාසහිත කණවේගල්ල ගැමි දිරිය සමාගමේ සභාපති ටී. බී. සිරිවර්ධන මහතා මෙසේ පවසයි.

නිදහස ලැබීමට පෙර අපේ ගම ජනාවාස වී තිබුණා. මෙහි සිංහල දෙමළ සමඟිව ජීවත්වුණා. බිබිල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුදෙකලා වූ අපේ වසමට බිබිල නගරයේ සිට කි. මී. 14 ක් දුරින් පිහිටා තිබෙන්නේ. වසමේ සියලු දෙනාම ගොවිතැන් කරමින් ජීවත්වෙන්නේ. ගෙවතුවල වගා කරන දේවල් එකතු කරගෙන බිබිල, පදියතලාව නගරවල සතිපොළට ගෙන ගොස් මුදල් හොයාගෙන තමයි ජීවත්වෙන්නේ.

ගමේ අවශ්‍යතාවන් සොයා බලා ගම්වාසීන්ට සතුටුවිය හැකි සංවර්ධනයක් මෙතෙක් සිදුවුණේ නැහැ. ගමේ වැව් හතරක් තිබුණා. මේවා විනාශ වෙලා. අපේ ගමේ ආදායම් උපයන මාර්ග තිබුණේ නැහැ. මේ නිසා පවුල් බොහොම අසරණ ලෙස ජීවත් වුණේ. අපේ ගමට ශක්තියක් වුණේ ගැමි දිරිය වැඩසටහන. ඊට පසුව බලාපොරොත්තු ඇතිවුණා.

මාස හයක් අපගේ බලාපොරොත්තු දිරිමත් කළා. පවුල්වල සමඟිය එකමුතුකම ඇතිකරගෙන අපට ශක්තිය ලබා දුන්නා. ගමේ සංවර්ධනයට අප හවුල් කර ගන්න. ගමේ සංවර්ධනයට රුපියල් 33,18000 ක් ගමට ලබා දුන්නා.

මේ මුදල් සඳහා අවශ්‍ය සැලසුම් ගමේ අපි හැමෝම එකට එකතු වෙලා සකස් කළා. ගමේ දැඩිම ප‍්‍රශ්නයක් වශයෙන් තිබුණේ ජලය නොමැතිකම. ජලය ලබාදෙන ලෙස බලයට පත්වූ සියලු රජයන්ට අපි පැවසුවා ඔවුන්ගේ කිසිම සහායක් ලැබුණේ නැහැ.

ජාතිය ගොඩනැගීමේ අමාත්‍යංශය යටතේ කි‍්‍රයාත්මක වන ගැමි දිරිය මගින් රුපියල් 16,60,000 ක් ජලය ලබාගැනීමට අපට ලැබුණා. දැන් වසමේ සිලු දෙනාටම නළ ජලය ලබාගැනීමට පහසුකම් තිබෙනවා. අපේ ප‍්‍රධානම ගැටලුව විසැඳුණා. අපට හරිම සතුටුයි.

එච්. එම්. ධම්මිකා පි‍්‍රයදර්ශනි (ග‍්‍රාමීය ඉතුරුම් ණය සංවිධානයේ ගිණුම් නිලධාරිනී) - ජලය නැතිව අපමණ දුක් වින්ඳ්‍ර. අපේ දරුවන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වුණා. අපට නාන්න, බොන්න ජලය තිබුණේ එකම ළිඳයි. මේකට අපි කියන්නේ පොකිරි වල කියලා. ගැමිදිරියේ මහත්වරු ගමට ඇවිත් නෑවේ, බිව්වේ මේ පොකිරි වලේ ජලය. ඔවුන් අපේ ජල ප‍්‍රශ්නය දැක්කා. මීට පෙර මේ ගමට රජයේ නිලධාරි දේශපාලකයින් ආවා. ඔවුන්ට අපි මේ දුක කිව්වා. නමුත් කිසිම සෙතක් ඇතිවුණේ නැහැ.

ගැමිදිරියේ වෙනස මේ අනුව අපට දැනුණා. මේ නිසාම අපි ගැමිදිරිය ඉතා ඉහළින් පිළිගෙන එහි සජීවීකරණ කටයුතුවලට සහභාගි වී අපේ ශක්තිය වර්ධනය කර ගත්තා. ග‍්‍රාමීය ඉතුරුම් ණය සංවිධානයේ මේ වන විට අපේ මුදල් රුපියල් 65,000 ක් ඉතිරි කරලා තිබෙනවා. සාමාන්‍ය ඉතිරි කිරීම් රුපියල් 60,000 ක් දැනට ඉතිරි කරලා. අපේ මුදල් 1,15,000 ක් දැනට ග‍්‍රාමීය ඉතුරුම් ණය සංවිධානයේ තිබෙනවා. ගැමිදිරිය එන්නට පෙර මෙහෙම දෙයක් කරන්න පුළුවන් බව අපට හීනෙකින් වත් පෙනුණේ නැහැ.

ටී. බී. ගුණවර්ධන - කුණුකොල්ලයට වෙළෙන්දන් භාණ්ඩ මිලදී ගන්නේ. මම ගැමිදිරිය සමාගමෙන් ණය මුදලක් ලබාගෙන ගමේ කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමට කි‍්‍රයා කළා. දැන් ගමේ හැමෝම ගමේ කෘෂි නිෂ්පාදන මට ගෙනත් දෙනවා. ඔවුන්ට මම සාධාරණ මිලක් දෙනවා. දැන් මට රුපියල් ලක්‍ෂයක පමණ වටිනාකමක් ඇති වෙළඳසලක් තිබෙනවා.

එදා අපට ණයක් ගන්න තැනක් තිබුණේ නැහැ. ණය ගන්න අපට සුදුසුකම් තිබුණේත් නැහැ. ගැමිදිරිය ජනතා සමාගම ඒ කිසි දෙයක් නොබලා අපගේ අවශ්‍යතා තේරුම් ගෙන අපට උදව් කළා. අද අපට කියා බැංකුවක් තිබෙනවා. ගමේ සංවර්ධනය තේරුම් ගෙන කි‍්‍රයා කරන ආයතනයක් ගමට ලැබීම ගැන අප සතුටු වෙනවා.

පරිපාලන අධ්‍යක්‍ෂ එම්. එච්. තමරා නදිකා - තරුණ අපට ගමේ සංවර්ධනයට දායක වන්න ඉඩක් තිබුණේ නැහැ. කාන්තාවන් කොන්වෙලා හිටියේ. ගැමිදිරිය වැඩසටහන තුළ කාන්තාවන්ට, තරුණ තරුණියන්ට විශේෂ තැනක් ලැබිලා තිබෙනවා. මේ නිසා ගමේ හැමෝටම ගමේ වෙනසක් ඇතිකරන්න ඕනෑකම ඇතිවෙනවා. අපේ හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා රුපියල් 4,97,000 න් ලැබිලා තිබෙනවා. විවිධ පුහුණුවීම් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන් අපට අපගේ හැකියාවන් ගමේ සංවර්ධනයට දායක කරගන්න පුළුවන් වෙනවා.

ජාතිය ගොඩනැගීමේ ඇමැති ජගත් පුෂ්පකුමාර මැතිතුමා විශේෂ සොයා බැලීම් කරමින් වඩාත් සාර්ථක ලෙස වැඩසටහන අධීක්‍ෂණය කරනවා. ඌව පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය විජිත් විජිතමුනි සොයිසා මැතිතුමා ප‍්‍රධාන පළාත් සභා මන්තී‍්‍රවරුන් ද, බිබිල ප‍්‍රාදේශීය සභාව උපරිම සහාය ලබා දෙමින් කණවේගල්ල ගමේ ගැමිදිරිය වැඩසටහන වඩාත් සාර්ථක කර ගැනීමට සහාය ලබා දෙන බව ක්‍ෂේත‍්‍ර මෙහෙයුම් කාර්යාලයේ ප‍්‍රධාන පහසුකරණ ජී. ජී. සී. පෙ‍්‍ර්මකුමාර මහතා පැවසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා