ඌවේ කෘෂි භෝග නංවන වැඩපිළිවෙළක් ගේනවා

ඌවේ කෘෂි භෝග නංවන වැඩපිළිවෙළක් ගේනවා

මේජර් සුදර්ශන දෙණිපිටිය
එ.ජ.නි.ස අපේක්‍ෂක

ව පළාතේ ඉදිරි සංවර්ධනය, එජනිස යේ මැතිවරණ සූදානම හා රණවිරු සුබ සාධනය පිළිබඳ ඌව පළාත් සභා මැතිවරණය බදුල්ල දිස්ති‍්‍රක්කය නියෝජනය කරන මේජර් සුදර්ශන දෙණිපිටිය මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

* ඔබ දේශපාලනයට පිවිසෙන පළමු අවස්ථාව මෙයයි. රණවිරුවෙක් වශයෙන් ඌව පළාත් සභාව සහ දේශපාලනය ඔබට අලුත් දෙයක්. එය ජය ගැනීමට ඔබට හැකිවේ යැයි ඔබ සිතනවා ද?

ඇත්තෙන්ම ඔව්. මම රණවිරුවෙක්. අපට හමුදාවේදී හොඳ විනයක් වගේම ඕනෑම වැඩක් හොඳින් නිමකිරීමට කියාදෙනවා. එම නිසා මට දේශපාලනය ජයගත හැකියි. මාව මේ මැතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරා ගත්තේ යුද හමුදාවේ දී අවංකව සේවය කළ රණවිරුවෙක් නිසයි. එම අවංකකම දේශපාලනයේ දී ඉදිරියට ගෙනයාමට මට ආත්ම ශක්තිය තිබෙනවා.

අනෙක් කරුණ ඌව පළාත් සභාවට බණ්ඩාරවෙල ආසනයෙන් නිසි නියෝජනයක් තිබුණෙ නැහැ. පාර්ලිමේන්තුවේ දී වුවත් එය එහෙමයි. බණ්ඩාරවෙල නියෝජනයක් නැහැ. මීට පෙර බණ්ඩාරවෙල ආසනය නියෝජනය කළ ආර්. එම්. අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවට ගියාට බණ්ඩාරවෙල පිළිබඳ හැන්සාඩ් එකේවත් සඳහනක් නැහැ. එම නිසා මම මේ ඌව පළාත් සභාවට ඉදිරිපත් වන්න කියන ඇරියුම භාරගත්තා. මම හිතනවා මට ඌව පළාත් සභාවට ගිහින් ජනතාවට මෙහෙවරක් කිරීමට හැකියාව තිබෙනවා කියලා.

* ඌව පළාත් සභා මැතිවරණය ඔබ ජයග‍්‍රහණය කළොත් ඔබ මේ පළාතේ ජනතාව වෙනුවෙන් කුමන වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා ද?

විශේෂයෙන්ම ඌව පළාත් සභාව තුළින් ජනතාවට ලබාදෙන මෙහෙවර අකුරටම ඉටු කරනවා. මහින්ද චින්තනය ගැළැපෙන අයුරින් මේ පළාතේ ජනතාව පීඩාවිඳින අංශවලට විසඳුම් ලබාදීමට පියවර ගන්නවා. ඌව පළාතේ බදුල්ල දිස්ති‍්‍රක්කය කෘෂිකර්මාන්තය මගින් පෝෂණය වන දිස්ති‍්‍රක්කයක්. මේ පළාතේ වැවෙන භෝග වෙළඳපොළට යැවීම සඳහා යටිතල පහසුකම් දියුණුකිරීම ඉතාම වැදගත්.

ඒ සඳහා මා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා ඊට අමතරව කෘෂි භෝග විකුණා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා. මොකද මේ භෝග විකිණීමෙන් නිසි ලාභය ගොවියාට යන්නෙ නැහැ. අතරමැදියාට විශාල ලාභයක් ගලා යනවා. එය නැවැත්වීමට කටයුතු කරනවා. දිස්ති‍්‍රක්කයේ වෙසෙන වතු ජනතාවගේ ද ජීවිත නංවාලීමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන අතර, මේ දිස්ති‍්‍රක්කයේ සිටින රණවිරු පවුල්වල ද සුබසාධන වැඩසටහනක් කි‍්‍රයාත්මක කරනවා.

විශේෂයෙන්ම ජනාධිපතිතුමා මහින්ද චින්තනයේ සඳහන් කරලා තියෙනවා වතු ජනතාවට නිවාස ලබා දෙනවා කියලා. ඒ සඳහා කැපවීමෙන් වැඩකිරීමට මට හැකියාව තිබෙනවා. දැනටමත් වතු ජනතාවට නිවාස ලබාදීමට රජය වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. එම වැඩපිළිවෙළ ශක්තිමත් කරන ගමන් වතුකරයේ ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය හා අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරනවා.

* ශී‍්‍ර ලංකාවේ ආබාධිත රණවිරුවන් 22,000 ක් සිටිනවා. ඉන් සැලකිය යුතු ප‍්‍රමාණයක් බදුල්ල දිස්ති‍්‍රක්කයේ සිටිනවා. මේ ආබාධිත රණවිරුවන්ගෙ ජීවිත නංවාලීමට ඔබ පළාත් සභාවට තේරී පත්වුවහොත් පනතක් සම්මත කිරීමට හෝ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා ද?

රණවිරුවෙක් හැටියට රණවිරුවන්ගේ දුක සැප මම දන්නවා. එම නිසා මම මේ පළාත් සභාවට ඉදිරිපත් වනවිටත් ඔවුන් ගේ ජීවිත නංවාලීමට විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. දැනටමත් යුද හමුදාවේ සිටින හා ආබාධිත රණවිරු පවුල් සංගණනය කිරීමද කරමින් සිටිනවා. මිය ගිය රණවිරුවන් ගේ පවුල් සඳහා විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා.

රණවිරුවෙක් ආබාධිත තත්වයට පත් වුවහොත් හෝ මිය ගියහොත් ඒ අය සඳහා ලැබෙන දීමනා ලබා ගැනීමට රණවිරුවන්ගේ ඥාතීන්ට කොළඹට යාමට සිදු වෙනවා. ඒ සඳහා ලොකු වියදමක් සහ විශාල කාලයක් කැපකිරීමට සිදුවෙනවා. සමහරවිට ආබාධිත සෙබළුන් සඳහා රණවිරු සෙවණට යාමට ද විශාල වෙහෙසක් දැරීමට සිදුවෙනවා. එම නිසා මා පළාත් සභාවට තේරී පත්වූ වහාම රණවිරුවන්ගේ ජීවිත නංවාලීමට පනතක් සම්මත කරගැනීමට බලාපොරොත්තු වෙනවා.

* එජාප ය පවසනවා පසුගියවර පළාත් සභාව තුළින් ජනතාවට කිසිම දෙයක් සිදුවී නැති බව. ඊට අමතරව නව ප‍්‍රවේශයක් ලබාගෙන මෙවර ඌව පළාත් සභා මැතිවරණය ජයගන්නා බව මේ පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?

එජාපය මධ්‍යම, වයඹ, සබරගමුව, උතුරුමැද, බස්නාහිර පළාත් සභාවලදීත් කිව්වේ නව ප‍්‍රවේශයක් කියලා. නමුත් ඒ හැම මැතිවරණයක්වත් එජාපයට ජය ගැනීමට හැකිවුණේ නැහැ. ජනතාව දන්නවා එජාපයේ කි‍්‍රයාකලාපය කුමක් ද කියලා ඔවුන්ට අවශ්‍යවන්නේ කෙක්කෙන් හෝ කොක්කෙන් බලයට පත්වීම.

නමුත් එජාපය අද ජනතාවට එපාවෙලා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළ වැඩපිළිවෙළ හා මේ රටේ කරන දැවැන්ත සංවර්ධනයට ජනතාවට ලොකු පැහැදීමක් තිබෙනවා. ජනතාවට ලොකු විශ්වාසයක් තිබෙනවා එජාපය කුමන ප‍්‍රවේශයකින් මේ මැතිවරණයට සහභාගි වුවත් අන්ත පරාජයකට පත්වෙනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා