නව ගමන් මඟක් සනිටුහන් කරන ඓතිහාසික සමුළුවක්

නව ගමන් මඟක් සනිටුහන් කරන ඓතිහාසික සමුළුවක්

ශක තුනක් තිස්සේ අවිබලයෙන් මුළු රටම භීෂණයට පත්කරගෙන සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුදුරු ත්‍රස්තවාදයට දැන් තිත තබා අවසන්ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියේ සිව්වැනි සංවත්සරය යෙදී ඇත. මෙම 19 වෙනිදිනට එතුමාගේ ජන්ම දිනය ද සමරමින් නොවැම්බර් 15 දා (හෙට) පෙරවරුවේ කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 19 වැනි ජාතික මහා සම්මේලනය පැවැත්වේ.

මෙරට දේශපාලන ගමන් මඟ ඉතා තීරණාත්මක ලෙස වෙනස් කළ සන්ධිස්ථානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භය යි. අන්තවාදී වාමාංශයට හෝ දක්ෂිණාංශයට අයත් නොවී මැද පිළිවෙතක් අනුගමනය කරමින් සියලු ජන කොටස්වල අභිලාශයන් සපුරාලමින් පනස් අට වසරක් කල් ගෙවා පැමිණ ඇත.

අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ජවයක් ගෙන දුන් ජනනායකයෙකුගේ නායකත්වය ගත වූ සිව් වසරක රාජ්‍ය පාලනයේ දී අප දුටු සුවිශේෂී වූ ජයග්‍රහණයෙන්ගෙන් තහවුරු කොට තිබීම ප්‍රබෝධයට හේතුවන්නකි.

පක්ෂයේ වැටීම්, නැගිටීම් විවිධ බාධක හා හැල හැප්පීම් මැද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ එතෙක් මෙතෙක් ආ ගමන් මඟට ඉවහල් වූයේ ඔහු තුළ තිබූ අවංකභාවය හා ක්‍රියාශීලිත්වය යි.

හයෙන් පහ

1977 දී හයෙන් පහක අසීමිත ජනවරමකින් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය පුරා දාහත් වසරක් ආඥාදායක පාලන තන්ත්‍රයක් පවත්වාගෙන යන ලදී. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගාධයකට ඇද හෙළන්ට කටයුතු කළහ. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක නායිකාවක් වූ සිරිමාවෝ ආර්.ඩී.බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර දැමීමෙන් පක්ෂය අකර්මන්‍ය කිරීමට එම රජය පියවර ගනු ලැබීය.

විපක්ෂයක් ලෙස එදා බිඳ වැටුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැති වී ගිය ශක්තිය යළි ගොඩනැගීමේදී රජය සමඟ සෘජු සටනකට අවතීර්ණ වූ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පළිගැනීම්වලට ලක් වූ සැමටම යුක්තිය හා සාධාරණය ඉටුකර දීමටත්, මානව හිමිකම් රැකගැනීමටත් අධිකරණයේ පිහිට ලබාදීමට නීතිඥයෙකු ලෙස ඉදිරිපත් විය.

ගිරුවාපත්තුවෙන්

1989 මහ මැතිවරණයෙන් යළි පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ හා කාන්තා සංවිධාන, ඇතුළු සෙසු සංවිධාන ආරම්භ කොට ඒවා සවිබල ගැන්විය.

එදා ගිරුවාපත්තුවෙන් පාර්ලිමේන්තුවට ආ කීර්තිමත් රාජපක්ෂ පරපුරේ ලාබාලම මන්ත්‍රීවරයා ලෙස වාර්තාගත නාමයක් හිමිකර ගත්තේය. මහින්ද රාජපක්ෂ තරුණ මන්ත්‍රීවරයාත්, අනුර බණ්ඩාරනායක මහතා සමග එක් වී එතෙක් මන්දෝත්සාහීව පසුබැස සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නවපණක් දීමට සමත් වූවේය.

එදා ආරම්භකළ පාදයාත්‍රා වැඩසටහනට දසදහස් ගණනින් ජනතාව රොද බැඳ ගැනීමෙන් රජයට එරෙහි ජනතා නැගිටීම් මහා බලවේගයක් බවට පත් විය. ප්‍රජාතන්ත්‍ර විරෝධී එජාප ක්‍රියාදාමයන්ට එරෙහිව දිනෙන් දින ජනතාව පිබිදෙමින් ඉදිරියට එද්දී මහින්ද රාජපක්ෂයන්ගේ ජනනායකත්වය වඩාත් කැපී පෙනෙන්නට විය. නගරයෙන් නගරයට අත්වැල් බැඳගනිමින් රජයට එරෙහිව ජනතා උද්ඝෝෂණ වඩ වඩාත් තීව්‍ර කරවන්නට විය.

අනුරාධපුරයට අගනුවරින් රථයාත්‍රාව පැවැත්වීමත්, එක්දිනක මුළු රටපුරා බලපැවැත්වෙන ශබ්ද විරෝධතාවයන් කැපී පෙණුනු අහිංසාවාදී සටන් බවට පත්වීමෙන් පාක්ෂිකයින්ගේ උද්යෝගය විශාල ධෛර්යයක් ගෙන දුන්නේය.

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විප්ලවීය සටන් මඟ එදා දෙකොණදැල්වෙන භීෂණ රැල්ලක් මැද පවත්වාගෙන යාමේ අසීරු අභියෝගයට ජයග්‍රාහීව මුහුණ දීමට හැකිවීම විය. එපමණක් නොව එදා මහින්දගේ “කාහළනාදය” පොදුජන එක්සත් පෙරමුණු රජයක ආරම්භය බවට පත්විය. ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙකී පොදු පෙරමුණු රජයේ ආකර්ෂණීය නායිකාව බවට පත්වන්නට මහින්දගේ සටන් මඟ එකම ආධාරකය වූ බව කිසිවෙකුටත් අමතක නොවේ.

පොදුජන එක්සත් පෙරමුණු රජය එසේ බිහි වූ පසු එහි කම්කරු අමාත්‍ය ධූරයට පත් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා රටේ වැඩකරන ජනතාවගේ එදා අහිමි වී ගිය අයිතිවාසිකම් මෙන්ම රැකියාවන්ද ආපසු ලබාදීමට සියලු පියවර ගන්නා ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති සාමාජිකයින්ට මෙයින් නව ජීවයක් ලැබුණු අතර, රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම වෘත්තීය සමිති වඩ වඩාත් ශක්තිමත් වන්නට විය.

වැඩකරන ජනතාවට යෝධ සවියක් වූ එතුමා ඔවුන් සමගම එකට වැඩ කළේය. හැමටම සුදුසු රැකියාවක් යන තේමාවට අනුව එතුමාගේ සංකල්පයක් මත වෘත්තීය පුහුණු අධිකාරිය ආරම්භ කළේය.

ඉන් විශාල පිරිසකට මේ දක්වා රැකියාලාභීන් වීමේ විශේෂ වරප්‍රසාදයක් උදාකර දී තිබේ. මේ වනවිට දිවයින පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන බිහි විය.

නිදහස් වෙළඳ කලාපවල පිහිටි බහුජාතික සමාගම්හි එදා වහලුන් බවට පත්ව සිටි සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරලීමත්, සමස්ත වැඩ කරන ජනතාවගේ අහිමි වී ගිය හිමිකම් උරුමකර දීමත්, අරමුණු කොටගත් “කම්කරු ප්‍රඥප්තිය” මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ගොඩනැගුනකි.

ධීවර ජනජීවිත නගාසිටුවීමේ පරමාර්ථය පෙරදැරි කොට ගෙන “ධීවර ගම්මාන” පිහිටුවීමේ පුරෝගාමී මෙහෙවර ඉටුකළ මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා “දියවර ගම්මාන” සංකල්පයේද නිර්මාතෘ වරයා යි. වෙරළබඩ ඉතා දුෂ්කර ජීවිත ගතකරන ධීවර ප්‍රජාවට මහගු සෙතක් අත්පත් කරදුන් එතුමා ධීවර වෘත්තියට ගෞරවයක් හා තැනක් හිමිකරදීමේ අටියෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට “සාගර විශ්ව විද්‍යාලයක්” ස්ථාපිත කරමින් නව ලොවට සරිලන සාර්ථක ධීවර කර්මාන්තයක් හඳුන්වා දීමට උත්සාහ කළේය.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ක්‍රියාකාරීන්ට තම වැඩපලට ඇතුළුවීමට පවා තහංචි පනවා තිබූණි. ඔවුන්ගේ සේවා අයිතීන් රැකදීමට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා එම ස්ථානවලට මා පිටත්කර හරින ලද අවස්ථාවල සිය දිවි පරදුවට තබා ක්‍රියාකරන්නට සිදුවූ අවස්ථා නැත්තේ නොවේ. ලංකා ඛනිජ තෙල් පිරිපහදුවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් ක්‍රියා කාරීන් වැඩබිම තුළට ගෙන ගොස් සේවයේ පිහිටුවීම ඉන් එක් අවස්ථාවකි.

ජනතා ආදරය

දුගී පැල්පතේ සිට රජමැදුර දක්වා මේ රටේ වෙසෙන සහෝදර ජනතාවගේ රුව, ගුණ, සිනහව, කඳුළ, සුසුම එක ලෙසින්ම හඳුනාගත් ජනනායකයෙකුට ගෞරව කරනු පිණිස ඔවුන් විසින් තම නායකයාගේ 60 වෙනි ජන්ම දිනයට පිරිනැමූ උපන්දින තෑග්ගක් ලෙස මෙම පදවි ප්‍රාප්තිය සැලැකිය හැකිය.

ත්‍රස්තවාදය පරාජයට පත්කරමින් අලුත් ආර්ථික ගමනකට සැරසෙන රජයකට, විරුද්ධ බලවේග රැසක් පවතී. මේ සාමූහික දුෂ්කර බලවේග අන්තර්ජාතික වශයෙන්ද, දේශීය වශයෙන්ද ක්‍රියාත්මක වේ. රාජ්‍ය සේවකයාද මේ කුමන්ත්‍රණවලට හසුවුවහොත් රටට විශාල හානියක් සිදුවනු ඇත. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඔවුනට යහපත් අනාගතයක් ඉතිරිව තිබේ. එය රැක ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගමන් මඟට එක්වන්නට බුද්ධිමත් වැඩකරන ජනතාවට ආයාචනය කරනු කැමැත්තෙමි.

ජයග්‍රාහී වර්ෂයක්

මේ රටේ දේශපාලන වංශ කථාවේ රට කරවූ නායකයින් ලෙස මුලින් සිටින්නේ ජයවර්ධන හා බණ්ඩාරනායක පවුල්ය. පක්ෂ නායකත්වය සම්බන්ධයෙන්ද එය එසේම ය. ගිරුවාපත්තුවේ සිට එලෙස පැමිණි ගමනේදී එම පවුල්වලින් පසු රට කරවන නායකත්වය රාජපක්ෂ පවුලට මාරු වී තිබේ. ශත වර්ෂයකට ආසන්න කාලයක් (වසර 73 ක් පමණ) එදා මෙදා තුර රාජපක්ෂලා පැමිණි දේශපාලන ගමන්මඟ තවත් ශත වර්ෂයක් ජයග්‍රාහීව ඉදිරියට යනු නොඅනුමාන ය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර

ජනාධිපතිතුමාගේ දේශපාලන කටයුතු හා වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්