අපේ දේශපාලනයේ යුග පෙරළිය

අපේ දේශපාලනයේ යුග පෙරළිය
 

මෛත්‍රීපාල සිරිසේන

ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍ය

ශි‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික මහා සමුළුව වෙත සුබ පැතුම් පණිවුඩයක් එවනු ලබන්නේ පක්‍ෂයේ ලේකම්වරයා ලෙස හදපිරි සතුටිනි.

1951 සැප්තැම්බර් මස 2 වන දින සිට අද දක්වා අප මාතෘ භූමියේත් මුළු මහත් ජාතියේත් උන්නතිය සහ අභිවෘද්ධිය උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කළ මෙහෙය අති උදාර ය. එබැවින් ගෙවීගිය වසර 58 ක කාලය තුළ පක්‍ෂයට නායකත්වය දුන් නායකයින් සිහි කිරීම මගේ යුතුකම වේ.

දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් බිහිකළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට 8 වසරක් වැනි කෙටි කලක් එතුමා දුන් නායකත්වය මුළු මහත් ජාතියේ ගෞරවයට පාත්‍ර වේ. අපේකම, අපේ උරුමයන්, අපේ සංස්කෘතිය, අපේ ආර්ථිකය යන මේ සියල්ල අන්තර් ජාතික බලවේග තුළ නොසැලී ඉදිරියට ගෙන යන්නටත්, සුරක්‍ෂිත කරන්නටත්, පෝෂණය කරන්නටත්, දිවංගත ඒ ශ්‍රේෂ්ඨ නායකයා ගේ යුග මෙහෙවර ලක්වැසි පොදු ජනතාව තුළ සදානුස්මරණීය වේ.

ඉනික්බිති වසර 42 ක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නායකත්වය දුන් දිවංගත සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය සිය ස්වාමියා ගෙන ගිය ජාතික දේශපාලන අරගලය ශක්තිමත් කරමින් කරනු ලැබූ යුග මෙහෙවර අභිමානවත් ලෙස අප සිහිපත් කළ යුතුය. දේශීය මෙන් ම විදේශීය දේශපාලන කුමන්ත්‍රණ අද මෙන් ම එදත් අඩුවක් නොමැතිව අප පක්‍ෂයේත් නායකයන්ගේත් අරමුණු සහ ඉලක්ක දුර්වල කිරීමට අභියෝගාත්මකව හරස් විය.

එහෙත් ඒ කිසිවකින් එතුමිය නොසැලී පක්‍ෂය ආරක්ෂා කරමින්, පොදු මහජනතාව වෙනුවෙන් දැඩි ප්‍රගතිශීලි ක්‍රියාමාර්ග ගනිමින් ජාතික දේශපාලනය පමණක් නොව අන්තර්ජාතිකව ද යෝධ පෞරුෂයක් පෙන්වමින් තම මාතෘ භූමිය වෙනුවෙන් එතුමිය ගේ යුග මෙහෙවර ඉටු කිරිම ශ්‍රී ලංකා දේශපාලනයේ ඉදිරි වසර සියගණනක් යනතුරු ද අමතක නොවනු ඇත.

1994 වසරේ දී බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය 17 වසරක එ. ජා.ප. පාලනය පෙරළා දමා 2005 වසර දක්වා පක්‍ෂයට නායකත්වය දෙමින් සිය යුගයේ අභියෝග හමුවේ නොසැලී කටයුතු කිරිම අප ප්‍රගතිශීලි ගමන් මග ශක්තිමත් පදනමක් ඇති කිරීමට වඩාත් ඉවහල් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිව්වන නායකයා වූ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා රාජ්‍ය නායකත්වය මෙන්ම පක්‍ෂ නායකත්වය ද භාරගැනීමෙන් ශශ්‍රී ලාංකීය දේශපාලනයේ ඓතිහාසික මහා යුග පෙරළියක් සහ විශිෂ්ට ජයග්‍රහණ රැසක් ලබාගැනීමට හැකි විය.

අප මාතෘ භූමියේත්, ජාතියේත් වාසනාවට පහළ වූ එම අභීත නායකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඉතිහාසයේ ස්වර්ණමය යුගය යැයි පක්‍ෂයේ ලේකම්වරයා වශයෙන් මම ප්‍රකාශ කරමි.

බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු අප රටට නායකත්වය දුන් රාජ්‍ය නායකයින් 10 දෙනා අතරින්, දස වැන්නා වූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා තරම් සංකීර්ණ වු ජාතික ගැටලුවලට මුහුණ දුන් නායකයෙක් තවත් ඇතැයි කිව නොහැක.

අපට පමණක් නොව ලොවටම ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මගට සහ මානවවාදීන්ගේ ප්‍රගතිශීලි බලමුළුවලට දැඩි අභියෝගයක් වී ඇති ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ප්‍රබල පුරුකක් වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ එල්. ටී. ටී.ඊ. සංවිධානය විනාශකර මුළු මහත් ජාතියට නිදහස සහ සාමය ලබාදීම එතුමා ලැබූ ඓතිහාසික ජයග්‍රහණයේ ප්‍රතිඵලයයි.

එය ජනතාව ගේ හෘද ස්පන්දනය තුළ වසර දහස් ගණනක් ඉදිරියට දැනෙන මහා ජයග්‍රහණයක් මෙන් ම මුළු මහත් ජනතාව ගේ සෞභාග්‍යමත් අනාගතයක් සඳහා නොසැලෙන පවුරකි.

ඒ සියල්ලෙන් ලැබූ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙවර විශේෂ ජාතික මහා සමුළුව පවත්වන්නේ අප මාතෘභූමියේ අනාගතය වෙනුවෙන් තවත් ප්‍රබල දේශපාලන පිම්මක් පනිමින් ශ්‍රී ලාංකීය දේශපාලනයේ විප්ලවීය පරිවර්තනයක් උදෙසා ය. වසර 58 ක කාලය තුළ පක්‍ෂයට නායකත්වය දුන් නායකයින් මෙන් ම අවසාන සාමාජිකයා දක්වා සිය දහදිය, කඳුළු රුධිරය පමණක් නොව ජීවිතය ද පූජා කළ බව සිහිපත් කරනුයේ ආත්මීය සොවින් මෙන් ම ජාතිය වෙනුවෙන් ඔවුන් ඉටු කළ අභිමානවත් මෙහෙවර අගයමිනි.

අද ශ්‍රී ලංකාවේ ප්‍රබලත ම දේශපාලන පක්‍ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තව තවත් ශක්තිමත් කරමින් අප මාතෘ භූමියත්, ජනතාවත් ලොව ප්‍රබුද්ධ, ප්‍රබල, ශ්‍රේෂ්ඨ ප්‍රෞඪ ජාතියක් සහ රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගේ නායකත්වයෙන් ඉදිරියට යමුයි කරනු ලබන ගෞරවනීය ආයාචනයත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ ජාතික මහා සමුළුවට මාගේ ගෞරවය හා ආශිර්වාදය පිරිනමමි.
 


ආසියාවේ ශක්තිමත් ම දේශපාලන පක්ෂය ශ්‍රීලනිපය යි

දි.මු. ජයරත්න

වැවිලි කර්මාන්ත අමාත්‍ය හා පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම්,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකර වසර 57ක් සපිරෙන මේ මොහොතේ ජීවතුන් අතර සිටින එහි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වන මා හට අදහසක් ඵලකිරීමට අවස්ථාව ලැබීම අතිශයින් වැදගත් බව මාගේ හැඟීමයි. 1951 සැප්තැම්බර් 02 දින මහනුවර දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිට වූ දිනයේ 13 වෙනි සාමාජිකයා ලෙස එම පක්ෂයේ සාමාජිකත්වය ලැබූ අතීතය අද ද මා සිහිපත් කරන්නේ ඉමහත් කෘතවේදිත්වයෙන් යුතුව ය.

පක්ෂයේ පැරැණිත ම සාමාජිකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැමිණි ගමන් මඟ පිළිබඳ ආපසු හැරී බැලීමේ දී හැඟී යන්නේ රට සෞභාග්‍යයේ මාවතට යොමු කළ ශක්තිමත් ම පක්ෂය වශයෙන් එහි ගෞරවය ඔබ සියල්ලන්ට ම හිමි වන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කරගනිමින් වැඩ කරන ජනතාව සඳහා ගොඩනැගුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ අපගේ හුස්ම තරමට ම අප ගේ ජීවිතවලට බැඳී පවතින බව මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ගේ නායකත්වයෙන් ඇරඹුනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමය තුළ දී ජනතාව අතර වඩාත් ප්‍රචලිත වූ බව මගේ විශ්වාසයයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වය තුළ ද තවත් අලුත් මානයක් ලැබිණි.

නමුත් මේ සියලු තත්ත්වයන් අභිබවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ජනතාව ගේ පක්ෂයක් ලෙස ඒ අරමුණ සපුරා ගැනීමට හැකි වී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ නායකත්වයෙන් යුත් වර්තමානය තුළ බව මම තරයේ අදහමි.

මෙතෙක් කලක් නොතිබූ නව දැක්මකින් පක්ෂය ජයග්‍රහණයේ මාවත කරා මෙහෙයවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයට හැකියාව ලැබුණු බව අප අවිවාදයෙන් යුතුව පිළිගත යුතු ය.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම පරම මෙහෙවර ලෙස වසර තිහක් තිස්සේ පැවැති යුද්ධය අවසන් කිරීම ම දැකවිය හැකි ය. එමෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ගොඩනැගුණු ආණ්ඩුවක් තුළින්, ගාම්භීර නායකත්වයක් මඟින් කොටි ත්‍රස්තවාදය සහමුලින් ම අවසන් කිරීමට හැකිවීම පක්ෂයේ ජ්‍යෙෂ්ඨතමයා ලෙස මට ඉමහත් අභිමානය ගෙනදෙන කරුණකි.

දැන් අප මුහුණ දෙමින් සිටින්නේ අතිශයීය තීරණාත්මක කාලවකවානුවකට ය. වසර 58 ක් පුරා අප ආරක්ෂා කරගනිමින් පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අප විසින් වඩාත් ආදරයෙන්, ගෞරවයෙන් ආරක්ෂා කොට, හෙට දිනෙන් එළඹෙන අනාගතය ද සුරක්ෂිතකරදීමේ වගකීම එහි සාමාජිකයන් හා පාක්ෂිකයන් වන අප සතු මහා වගකීමකි.

ශක්තිමත් පක්ෂයකින් ගොඩනැගෙන ආණ්ඩුවක් ශක්තිමත් ආණ්ඩුවක් බව අලුතින් කිව යුතු නැත. එබැවින් අප පක්ෂයේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් විසින් රටට උදා කර දුන් සුවිශාල විජයග්‍රහණයන් ද ආරක්ෂා කරගනිමින් අන්කවරදාටත් වඩා පක්ෂය ජව සම්පන්න කර ගැනීම සඳහාවන ඓතිහාසික අවස්ථාවක් මේ වන විට එළඹ ඇති බව අවධාරණයෙන් කිව යුතුව ඇත.

එම ඓතිහාසික ජයග්‍රහණය සේ ම, ඊට උරදුන් පක්ෂ නායකත්වය ද චිරාත් කාලයක් ආරක්ෂා කරගනිමින් ආසියාවේ ශක්තිමත් ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරාජමාන වනු දැකීම මරණින් මතු ද මගේ පරම අපේක්ෂාව වන්නේ ය.
 


වත්මන් ආණ්ඩුව පොදු මතයට සළකනවා
 

තිලංග සුමතිපාල

පළාත් සභා මන්ත්‍රී

බොරැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක

පුළුල් යෝධ සංවර්ධනයක් සමඟ ඇති නායකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත වරක් පැමිණීමට බලපෑ පළමු සාධකයයි. එම නායකත්වයක් චන්ද්‍රිකා මැතිණිය ගේ කාලයේ තිබුණේ නෑ. ඒ වගේ ම එම කාලය තුළ ආර්ථික, දේශපාලන, ප්‍රතිපත්තිමය, වශයෙන් සංවර්ධනය පිළිබඳ විවිධ ප්‍රශ්න මතු විය. නමුත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පක්ෂ නායකයා ලෙස පත් වූ පසු ඔහු පක්ෂයේ සියලු කණ්ඩායම් ඒකරාශී කළා.

ඒ නිසා අපටත් එතුමා සමඟ එකතුවීමට අවස්ථාව ලැබුණා. අර්බුදකාරී, ව්‍යාකූල අවස්ථාවක පොදු එකඟතාවයකට පොදු මතයකට සෘජු නායකත්වයක් දී නිදහස් නිවහල් ස්වෛරී රටක් උරුම කර ගැනීමට නිසි නායකයෙක් ලෙස නායකත්වය දීමට ජනපතිතුමාට හැකි වුණා. ඒ අවස්ථාවේ දී එම කාර්යයට සහාය දීමට මට ලැබීම ගැන බෙහෙවින් ම මම සතුටු වෙනවා.

තිස් වසරක් පුරා මේ රට භීතියෙන් වෙලාගත් ත්‍රස්තවාදය පරාජය කර ඒ අඳුරු යුගය යළිත් ඇති නොවන්නට කටයුතු කළා. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම ගැන අද ලංකාවේ පමණක් නොව මුළු ආසියාවේ ම, යුරෝපයේ ම ලොකු ගෞරවයක් ජනාධිපතිතුමා ගැනත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ගැනත් ඇති වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ එහි ගමන්මග පිළිබඳ විශාල ප්‍රශ්න තිබෙනවා. මෙහි තිබෙන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් දෙබිඩි පිළිවෙතක්. ආර්ථිකය, ත්‍රස්තවාදය, බලය විමධ්‍යගත කිරීම, ව්‍යවස්ථා සංශෝධන ආදී කුමන ආකාරයේ ජාතික ප්‍රතිපත්තිමය ගැටලුවක දී වුවත් ස්ථාවරයක් නොමැති දෙබිඩි ආකාරයේ නායකත්වයක් එක්සත් ජාතික පක්ෂය තුළ දකින්න පුළුවන්.

ඒ නිසා පක්ෂය අර්බුදයකට තල්ලු වෙලා. එක්සත් ජාතික පක්‍ෂය වසර ගණනාවක් පුරා ගොඩනගා ගත් සියල්ල පසුගිය වසර 10 තුළ විශාල පසුබෑමකට ලක්කළා. මේ නිසා ප්‍රතිපත්තිමය වශයෙන් ජනතාව තුළ මේ පිළිබඳ තිබෙන්නේ අපැහැදිලිතාවයක්. ජනතාව දිනවිය හැකි රට සංවර්ධනය කරා ගෙන යා හැකි පැහැදිලි ප්‍රතිපත්ති රාමුවක් එක්සත් ජාතික පක්ෂයට නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ බහුතර ජනතාවගේ ගෞරවය, විශ්වාසය දිනාගත් පක්ෂයක් බවට වත්මන් ජනාධිපතිතුමා පත්කර තිබෙනවා. එනිසා මේ විශ්වාසය මත විශාල ගෞරවයක්. ඒ වගේ ම අතිවිශාල සහභාගීත්වයක් දැන් ලැබෙමින් පවතින අතර අනෙක් සියලු ම පක්ෂ එකතු කළත් ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකත්වය සහ ඡන්ද පදනම පරදවන්න බෑ. ඒ තරමට ම එය වර්ධනය වී තිබෙනවා.

ජනතාව ගේ සිතුම් පැතුම් හඳුනන ජනතාව ගේ සිතුම් පැතුම් සමඟ වැඩ කරන පක්ෂයක් ලෙස පැහැදිලි දේශපාලන ස්ථාවරයක් තිබෙන බවත් දේශපාලනයේ අනාගතය සුරක්ෂිත බවත් ඒ හරහා මේ රට ආර්ථික හා සමාජ වශයෙන් යෝධ ඉදිරි පිම්මක් තබන බවත් මට කියන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි ඉතා විධිමත් සැළැසුම් සහගත වැඩ සටහනක් සමඟ ජනතාව අතරට යමින් සිටිනවා.

පැහැදිලිව ම රටක් හුදකලාව පැවතිය නොහැකි යුගයක අපි ඉන්නේ. කලාපීය වශයෙන් ඇති අභියෝග හා හැකියාවන්, ගෝලීය වශයෙන් ඇති හැකියාව හා අවස්ථාවන් ගැන අවබෝධයක් අප පක්ෂයට තිබෙනවා.

එම අවබෝධය ඇති කර ගෙන කෙටි කාලීන අවුරුදු තුනකින් වැනි කාලයක් තුළ නිමකළ හැකි සංවර්ධන ව්‍යාපෘති, මධ්‍යකාලීන අවුරුදු තුන සහ පහ අතර කාලය තුළ කළ යුතු හා කළ හැකි ව්‍යාපෘති, දීර්ඝකාලීන වසර දහයකට වැඩි කාලයක් තුළ නිමකළ හැකි හා නිමකළ යුතු සංවර්ධන ව්‍යාපෘති වැඩසටහන් වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් බොහොමයක් සැළැසුම් කර අවසන් අතර තවත් ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්‍රියාත්මක කරනවා.

එමෙන් ම මේ ව්‍යාපෘති, සංවර්ධන වැඩසටහන් මිනිස් සම්පත් වැඩි දියුණු කිරීම සහ ස්වාභාවික සම්පත් රැකගැනීම සඳහා අවශ්‍ය සංවර්ධන සැළැස්මක් සමඟ නව ආරකින් වැඩසටහන් ඉදිරිපත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා ඒ අරමුණු කරා යාමට එය ක්‍රියාත්මක කිරීමට මුළු රටේ ම සහභාගීත්වය සහයෝගය හා ආශිර්වාදය මත ඉදිරියට යාමට ද අපි අපේක්ෂා කරනවා.
 


අධිරාජ්‍යවාදී බලපෑම් හමුවේ නොසැලුණු නායකත්වයක් අපට තියෙනවා

විමල් වීරවංශ (පා.ම)

සභාපති ජාතික නිදහස් පෙරමුණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ජාතික මහ සමුළුව ඉමහත් අභිමානයෙන් යුතුව පවත්වනු ලබන මේ අවස්ථාවේ ජාතික නිදහස් පෙරමුණේ අපි අපගේ උණුසුම් සුබ පැතුම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත පුද කර සිටිමු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම ජාතික මහ සමුළුව පවත්වනු ලබන්නේ, නව අභියෝග රැසකට මාතෘභූමිය මුහුණ දී සිටින මොහොතක දී ය. එමෙන් ම, අප මාතෘභූමියට එරෙහි විජාතික සතුරු මෙහෙයුම් රැසක් එකවර දියත් ව තිබෙන අවස්ථාවක දී ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නායකත්වයෙන් යුත් වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් අප මාතෘභූමිය නිදහස් කර ගැනීමේ සටන සාර්ථකව නිමා කළේ ය. එය සාර්ථකව නිමා කරන ලද්දේ ඉමහත් අන්තර්ජාතික පීඩනයකට මුහුණ දෙමින් බව රහසක් නොවේ.

ඇතැම් අධිරාජ්‍යවාදී රටවලින් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ රාජ්‍ය නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දණ ගැසුවේ නම්, කොටි ත්‍රස්තවාදය අවසන් කර ගැනීමට අපට හැකි වනුයේ නැත.

එම බලපෑම හමුවේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා යටත් නොවීම හේතුකොටගෙන අද ඇතැම් අධිරාජ්‍යවාදී බලවේග කටයුතු කරනුයේ ජනාධිපතිතුමන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව කුමන ආකාරයෙන් හෝ පෙරළා දැමීමේ අරමුණ සහිතව ය.

එමෙන් ම මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ ඊනියා චෝදනා හා යුද අපරාධ පිළිබඳ ඊනියා චෝදනා ඔවුන් එල්ල කරනුයේත්, ශ්‍රී ලංකාවට යළි නැඟී සිටීම පිණිස උදා වී ඇති මේ ඓතිහාසික අවස්ථාව කෙසේ හෝ උදුරා ගනු පිණිස ය.

මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, මෙරට ප්‍රගතිශීලි ජාතිකවාදී බලවේගයන්ටත් පැවරෙන කාර්යභාරය අතිමහත් ය. දේශීය සළු පිළි අන්දවා, අධිරාජ්‍යවාදී බලවේග විසින් කරළියට ගෙන එනු ලබන දේශපාලන පිල්ලි පරාජයට පත්කොට උදා කෙරුණු ගෞරවණීය සාමය යටතේ දේශය ගොඩනැංවීමේ මහා සංග්‍රාමයට දැන් අප සියලු දෙනා ම සමඟිව උරදිය යුතුව ඇත.

ශ්‍රී ලංකාව නැවත ආපස්සට රැගෙන යෑමට අධිරාජ්‍යවාදී සතුරු බලවේග දරන උත්සාහය අප පරාජයට පත් කළ යුතු ම ය. එම අධිරාජ්‍යවාදී බලවේගයන් ගේ තැරැව්කාර දේශීය කල්ලි කණ්ඩායම් තීරණාත්මක පරාජයට පත් කිරීම එහිලා අත්‍යවශ්‍ය වේ.

දෙවැනි නිදහස් අරගලයේ මෙකී පරිච්ඡේදය නිවැරදිව, සාර්ථකව නිමා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැවරී ඇත්තේ ඓතිහාසික භූමිකාවකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ගේ නායකත්වයෙන් යුතු එම පක්ෂයට, එකී ඓතිහාසික භූමිකාව ඉටු කිරීමේ හැකියාව ඇතැයි අපි උදක් ම විශ්වාස කරමු!

එමෙන් ම ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තිය හා ධෛර්යය ලැබේවායැයි ද අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.
 


දමිළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මං ශ්‍රීලනිපයට එකතු වුණා

විනයාගමූර්ති මුරලිදරන්

ජාතික ඒකාබද්ධතා සහ ප්‍ර‍්‍රතිසංවිධාන ඇමැති

ල්. ටී. ටී. ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන කලකිරී ඉන් වෙන්වීමට සිතා තමිල් මක්කල් වුදිඩලෙයි පුලිහ පක්ෂය පිහිටුවා ගත්තා. එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් වෙන් වූ ගමන් ම පක්ෂයක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවයක් මට දැනුණා.

එසේ පක්ෂයක් පිහිටුවා නොගෙන කෙලින් ම රජයට එකතු වුණා නම් එල්. ටී. ටී. ඊ. සංවිධානය පාවා දුන්නාය එසේත් නැත්නම් සංවිධානයට ද්‍රෝහිකම් කළාය යන චෝදනා එල්ලවීමට ඉඩ තිබුණා. එම චෝදනාව එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් වගේ ම දෙමළ ජනතාවගෙනුත් එල්ල විය හැකියි.

දෙමළ ජනතාවගේ සැබෑ අයිතිවාසිකම් ලබා ගැනීමට ප්‍රධාන ජාතික පක්ෂයක් සමඟ එකතුවිය යුතු යැයි කියන මතයේ මම හිටියා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සැබෑ නායකයෙක්. ගමෙන් ආ කෙනෙක්. ජනතාවගේ දුක් ගැනවිලි හොඳට හඳුනන කෙනෙක්. මට අවශ්‍ය දේ කෙළින් ජනාධිපතිතුමා සමඟ කතා කරන්න පුළුවන්. අපි කියන දේට හොඳට ඇහුම්කන් දෙනවා.

අවුරුදු තිහක් පමණ උඩුදුවා තිබුණු දෙමළ ජනතාවගේ ප්‍රශ්න හොඳින් හඳුනාගත් නායකයෙක්. ජනාධිපතිතුමා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදිය යුතුය යන සැබෑ හැඟීමෙන් කටයුතු කරන නායකයෙක්. එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ ප්‍රධාන ජාතික පක්ෂයකට එකතු වුණා.

එක්සත් ජාතික පක්ෂයට එකතු නොවූයේ එදා සිට අද දක්වා ම එක්සත් ජාතික පක්ෂය විදේශ බලවේගවලට යට වී තිබුණු නිසයි. විදේශ බලවේගවල කීම විතරයි එක්සත් ජාතික පක්ෂය ඇහුවේ. ත්‍රස්තවාදය පරාජය කළ යුතුය යන ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂය හිටියෙ නෑ.

ඔවුන් සෑම විටම විසැඳුම් සෙව්වේ සාකච්ඡා මාර්ගයෙන්. නමුත් ජනාධිපතිතුමා ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදිය යුතුයි. කියන ස්ථාවරයේ හිටියා.

මගේ පළවෙනි බලාපොරොත්තුව වූයේ ත්‍රස්තවාදය පරාජය කිරීම. එය ජනාධිපතිතුමා අද ඉටු කර තිබෙනවා. ඒ වගේ ම දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශ සංවර්ධනය කිරීම අද කඩිනමින් සිදුවෙනවා.

උතුරු වසන්තය, නැඟෙනහිර උදානය යන වැඩ සටහන් තුළින් අද මේ කඩිනම් සංවර්ධනය සිදු කරනවා. නමුත් මෙය ටිකක් ප්‍රමාදයි.

වසර තිහක් ආපස්සට ගිය දේවල් නැවත ඉදිරියට ගැනීම දුෂ්කරයි. ඒත් ඒ සඳහා අද කාලය එළැඹිලා.

උතුරු නැඟෙනහිර ඇතුළු සියලු පළාත්වල දෙමළ ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් බවට පත් කිරීමටත් ඒ සමඟ ම ඉදිරි ජනාධිපති මැතිවරණයේදී විශිෂ්ට ජයක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදීමටත් දැනට කෙරෙන සංවර්ධන කටයුතු කඩිනම් කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා.

ජනාධිපතිතුමා මේ ජනාධිපතිධූරයේ දෙවන අදියරට පාතබන මොහොතයි. ත්‍රස්තවාදය පරාජය වූවාට දෙමළ ජනතාවගේ ප්‍රශ්න ඉවර නෑ.

ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්නවලට ස්ථිර විසැඳුම් ජනාධිපතිතුමා ලබාදෙන බව විශ්වාසයි. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදිය යුතුය යන හැඟීමෙන් කටයුතු කරන යම් පක්ෂයක් වේද ඔවුන් අනිවාර්යෙන් ම සහාය දිය යුත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට යි.
 


නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක් දැන් අපට තියෙනවා

ආර්. දුමින්ද සිල්වා

පළාත් සභා මන්ත්‍රී, කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක

නාධිපති මහින්ද රාජපක්ෂ කියන්නේ, අහිංසක අසරණ මිනිසුන්ගෙ දුක, කඳුළ, ඔවුන්ගේ හදගැස්ම ඉතාමත් හොඳින් තේරෙන නායකයෙක්. ඉතින් ඒ වගේ නායකයෙක් එක්ක නැතුව වෙන කාත් එක්ක ද කොළඹ දිස්ත්‍රික්කයෙ අහිංසක අසරණ ජනතාවට සේවය කරන්න පුළුවන් වෙන්නේ.

ජනාධිපතිතුමා ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන රට එක්සේසත් කළා වගේම තවත් පැත්තකින් මුළු රටම කඩිනම් සංවර්ධනයක් කරා ගෙන යමින් සිටිනවා. ඒ වගේම මුළු රටේම පිනට පහළ වෙච්ච නායකයෙක් එක්ක විතරයි අපිට කොළඹ අහිංසක අසරණ ජනතාවට සහනයක් ලබාදෙන්න පුළුවන්.

එහෙම නැතුව ටයිකෝට් දාගෙන සීතල කාමරවල ඉදලා තීරණ ගන්න නායකයෙක් එක්ක ඉදල මේ අහිංසක අසරණ මිනිසුන්ට අපිට කවදාවත් සේවයක් කරන්න වෙන්නේ නෑ. ඒ අයට ඕනේ කොළඹ හතේ ඉහළ පැලැන්තියට හැමදේම ලබාදෙන්න විතරයි. ඒත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ ගමේ ගොඩේ, පැලේ පිළේ අහිංසක අසරණ මිනිසුන්ගේ දුක, කඳුළ තේරුම් ගන්න පුළුවන් ජනතාවගේ නායකයෙක්.

දැන් යූ. එන්. පීයේ අලුත්ම සෙල්ලම, තමන්ගේ ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන එක. හැබැයි ඉතින් ඒකට යූ. එන්. පී. ආණ්ඩුවක් එන්න ඕනෙනේ.

ඒකට කාලාන්තරයක් බලා ඉන්න වෙයි. දැන් යූ. එන්. පී. මහලේකම් කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා විතරක් නොමෙයි, පාර්ලිමේන්තුවට වගකියන අගමැති කෙනෙක් දාන්න ව්‍යවස්ථාවත් වෙනස් කරනවලු.

ඒ ව්‍යවස්ථාව වෙනස් කරන්න යන මහත්හොරු තමයි එදා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න හදපු වෙලාවේ ඒක පාර්ලිමේන්තුව ඇතුළේ පිච්චුවේ. 1978 ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා මේ ව්‍යවස්ථාව ගෙනල්ලා කිව්වේ ගෑනියෙක් පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක් ගෑනියෙක් කරන්නයි විතරයි මේකෙන් බැරි කියලා.

එහෙම කියලා විධායක බලතල අයුතු විදියට පාවිච්චි කළා. ඒත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විතරයි ඒ බලතල අයුතු විදියට පාවිච්චි නොකරන්නේ.

ජනාධිපතිතුමා තමන්ගේ බලතල යොදවල තියෙන්නේ හරි පැත්තට විතරයි. මුළු රටම ත්‍රස්ත විරෝධී මතයකට ගෙනැල්ලා කොටියා නැත්තටම නැති කළේ ඒ බලතල යොදවලා. ඉතිං ඒක වැරැදිද? යූ. ඇන්. පියට අද සටන් පාඨ නෑ. මරණය ආසන්නයේ ඉන්න යූ. ඇන්. පිය මර ලතෝනි දෙනවා. පරාජය පෙනි පෙනී මරණ බයෙන් කෑ ගහනවා.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්