අඩ සියවසක් ශක්තිමත් කළ පක්‍ෂයක්

අඩ සියවසක් ශක්තිමත් කළ පක්‍ෂයක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චරිත හේරත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්තරා ඓතිහාසික අවස්ථාවක බිහිවූ දේශපාලන ප්‍රවාහයකි. සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස් කරගැනීමෙන් පසුව රටට ආදරය කරන , රටේ සැබෑ අයිතිකරුවන්ගේ එකමුතුවෙන් බිහිකර ගත් පක්ෂයක් වේ.

1947 දී බිහිවූ එක්සත් ජාතික පක්ෂයට අයත් වන්නේ රටට ආදරයක් නොදක්වන මනසින් විජාතික අදහස් දරන පිරිසකි. මෙම විජාතික දේශපාලන පක්ෂයේ අදහස් නුරුස්නා කණඩායමක් 1951 දී එම පක්ෂයෙන් ඉවත්වී නව දේශපාලන පක්ෂයක් බිහිකර ගැනිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම නව දේශපාලන පක්ෂයයි. දේශීය ජාතික චින්තනය පදනම් කරගනිමින් බිහිකරගත් මෙම පක්ෂයේ එකල ප්‍රධාන නියැමුවන් ලෙස එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ ඩී. ඒ. රාජපක්ෂ යන මහත්වරු කටයුතු කළහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස කටයුතු කරයි. රාජ්‍යයේ මැදිහත්වීම තුළින් හඬක් නැති ජනතාවට සුබසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පක්ෂය විසින් සිදු කෙරේ. එජාපය නියෝජනය කරනු ලබන්නේ ධනේෂ්වර පන්තියේ ජනතාවයි.

පීඩනයට පත් සමස්ත ජනතාව නියෝජනය කරන ශ්‍රීලනිපයට සැබෑ නායකත්වයක් ලැබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වයට පත්වීමත් සමඟයි.

ශ්‍රීලනිප ඡන්ද දායකයන් වන්නේ ග්‍රාමීය ජනතාව පදනම් කරගත් රටේ සැබෑ පුරවැසියන්ය. ශ්‍රීලනිපය ආරම්භ කර මෙතෙක් එහි නායකත්වය දැරූ බොහෝ නායකයන් ජනතාවගේ සැබෑ ප්‍රශ්න තේරුම් නොගත් පිරිසකි. එහෙත් ජන හඳ හඳුනන නියම නායකත්වයක් වර්තමානයේ මෙම පක්ෂයට ලැබී ඇත.

එම නායකත්වය හරහා සමාජයේ සෑම ජන කොට්ඨාසයක්ම ඉලක්ක කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම සිදුකරයි. මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වැඩසටහන වන්නේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. මහින්ද චින්තන දස අවරුදු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හරහා රටේ සංවර්ධන කටයුතු බොහොමයක් දැනටමත් සිදුවෙමින් පවතියි.

මහින්ද චින්තන ප්‍රතිපත්තිය හරහා ත්‍රිමාන ආකෘතියක් ඉදිරිපත් කර තිබේ. ජනතාවගේ සුබසාධන කටයුතු ආරක්ෂා කර ගනිමින් රටේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම, ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා මැදිහත් වීම, ප්‍රජාතන්ත්‍රවාදය සමාජයේ ස්ථාපිත කිරීම යනාදි කරුණු ඔස්සේ මෙම ත්‍රිමාන ආකෘතිය ඉදිරිපත් කර තිබේ. මෙම ආකෘතිය නිවැරදිව ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ සංවර්ධන කටයුතු වර්තමානයේ ශීඝ්‍රයෙන් සිදුකෙරෙමින් පවතියි.

මෙරට යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබේ. එම ප්‍රශ්නය මේ රජය විසින් ක්‍රම ක්‍රමයෙන් ජයග්‍රහණය කරමින් පවතියි.

සංවර්ධනයත්, සුබසාධනයත් දෙකම ඒකාබද්ධව ක්‍රියාත්මක වේ. එතුළින් මහින්ද චින්තනය තව තවත් සවිබල ගැන්වී ඇත.

නිසිකලට නිසි තීරණ වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛත්වයෙන් සිදුවේ. නියම නායකයෙකු සතුවන දක්ෂ කළමනාකාරිත්වයකින් යුත් ගුණාංගය වත්මන් ජනාධිපතිවරයා සතු වන්නේ ය. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා එය මහඟු ගුණාංගයක් විය.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි නොකළ එකම පක්ෂය ලෙස ශ්‍රීලනිපය ඉතිහාසගත වේ. එය සරලව පවසන්නේ නම් සිය දෑත්වල රුධිරය තවරා නොගත් නායකයන් පිරිසක් මෙහි සාමාජිකත්වය දරති. මැද මාවතේ ගමන් කරන පක්ෂයක් ලෙස මෙම පක්ෂය බිහි විය.

පක්ෂය බිහිකර ගන්නා කාලයේ දී ලෝකය කොටස් දෙකකට බෙදී පැවැතිණි. ධනේෂ්වර ආකෘතිය සහ සෝවියට් ආකෘතිය එම දෙකොටස වේ. මෙම ආකෘති දෙකටම ලඝු නොවී එකල ශ්‍රීලනිපය බිහිවිය. එදා පැවැති අභියෝගවලට වඩා වැඩි අභියෝග ප්‍රමාණයක් වර්තමානයේ ශ්‍රීලනපයට ජයගැනීමට සිදුවී තිබේ. ඒ අභියෝගයන් ජයගැනීමට නම් පක්ෂයේ නායකත්වය ඉතාම ශක්තිමත් විය යුතුය.

වත්මන් නායකත්වයෙහි ශක්තිමත්භාවය සහ අධිෂ්ඨානශීලිත්වය තුළින් ඒ අභියෝගයන් එකින් එක ජයග්‍රහණය කරමින් පක්ෂය ඉදිරියටම ගෙනයන බව පැහැදිලි කරුණකි.

ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් කිරීමට විදේශ බලවේග කුමන්ත්‍රණකාරී ලෙස පෙළගැසී ඇත. මෙම බලවේග පරාජය කර ජයගැනීමට නම් සැවොම එකා මෙන් එකමුතුව කටයුතු කළ යුතුය. ශ්‍රීලනිපයෙත්, ජනාධිපතිවරයාගෙත් ශක්තිමත් ක්‍රියා කලාපය රටේ ජනතාව බෙහෙවින්ම බලාපොරොත්තු වේ. එම ශක්තිය මත රටේ සංවර්ධනය තීරණය වේ.

යම් රාජ්‍යයකට විදේශ සබඳතා පවත්වා ගැනීම අනිවාර්යය වේ. එය රටක සංවර්ධනයට බලපානවා සේම රටේ ඉදිරි ගමනට ද ඍජුවම බලපෑම් සිදුකරයි. ලෝකයේ සෙසු රටවල් සමඟ සම්බන්ධතාවන් පැවැත්වීමේ දී කළයුතු හා නොකළ යුතු දේ බොහොමයක් ඇත. 2002 - 2004 කාලයේ දී රට පාලනය කළ එජාප ආණ්ඩුවේ නායකයන් විසින් රටේ සම්පත් පිටරටවලට විකිණීම සිදු කෙරිණ.

එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීමත් සමඟම මෙරට සම්පත් විදේශ රටවලට විකිණීම සපුරා වෙනස් විය. රටට අයත් සම්පත් රටේම තබා ගැනීමටත් , දේශීයත්වය ගරු කරමින් දේශීය සංවර්ධනය කෙරෙහිත් ඔහු අවධානය යොමු කළේ ය.

සෙසු දේශපාලන නායකයින්ට වඩා වෙනස් ආකාරයකින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට පාලනය කිරීම සිදු කරන්නේ ය. එහිදී ඔහු විදේශ රටවල් සමඟ ගනුදෙනු කිරීමේ දී කලාපයේ අලුත් රටවල් කරා ශශ්‍රී ලංකාවේ මිත්‍රත්වයේ දෑත් දිගු කළේ ය.

ඒ අනුව ඉරානය, බුරුමය වැනි රටවල් සමඟ මිත්‍රත්වයේ සම්බන්ධතාව වර්ධනය කිරීමට ඔහු ක්‍රියා කරන්නේ ය. ප්‍රායෝගිකව ගත් කළ එවැනි රටවල් සමඟ ගනුදෙනු කිරීම ශ්‍රී ලංකාව වැනි රටකට බෙහෙවින්ම වැදගත් වේ.

ඇමෙරිකාව, ඉරානය, චීනය, ජපානය වැනි ප්‍රබල රටවල සහාය ලබාගැනීමට ශශ්‍රී ලංකා රජයට වර්තමානයේ දී හැකියාව ලැබී ඇත. විශේෂයෙන් කලාපීය වශයෙන් මෙවැනි සම්බන්ධතා පවත්වාගැනීම, ශ්‍රී ලංකාව විවිධ ගැටලුවලට මුහුණදීමේ දී ඒවාට සාර්ථක පිළිතුරු සෙවීමට සහාය ලබාදීම සිදු කෙරේ.

ඉරානයේ සිට ජපානය දක්වා සංවර්ධනය වෙමින් පවතින රාජ්‍ය තීරුවේ ශ්‍රී ලංකාව දිදුළන රටක් (Shining Sri Lanka) බවට පත්කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකියාව තිබේ.

සාමූහික සහ ශක්තිමත් සබඳතාවන් පවත්වාගැනීම තුළින් ඉහත හැකියාව අපේ ජනාධිපතිවරයාට ළඟාකර ගත හැකිය. එම අර්ථයෙන් ගත්කල අපේ ජනාධිපතිවරයා සතුවන ආකල්ප සහ විදේශ ප්‍රතිපත්ති හසුරුවන ආකාරය තුළින් කලාපයේ සෙසු රටවල් සමඟ දැඩි සබඳතාවක් ගොඩනඟා ගත හැක. එය රටේ අනාගත සංවර්ධනයට මහත් පිටිවහලක් වනවා නොඅනුමානය.

බරපතළ ප්‍රශ්න රැසකට මුහුණදෙමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්බන්ධතා ද සාර්ථකව පවත්වාගෙන යාම සිදු කරයි. මෙසේ පවත්වාගෙන යන ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ලෝකයේ විද්්‍යුත් මාධ්‍යයන්ගේ පවා බොහෝ කතාබහට ලක්ව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කර ගැනීමේ ප්‍රධාන අරමුණක් වූයේ ඉහතින් දැක්වූවා සේම, රටේ සැබෑ අයිතිකරුවන්ට පාලනයක් ලබා දීමය. මීට වසර හතරකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියෙන් ඒ බව මනාව පිළිඹිබු වේ.

මේ රටේ උපන්, සිය මව්බස කතාබහ කරන, රටේ අනාගත සංවර්ධනය පිළිබඳව විශ්වාසයක් තබා කටයුතු කරන, රටේ සම්පත් මත පදනම් වූ නායකයෙක්, නායකත්වයක් බිහිකර ගැනීම ශ්‍රීලනිපයේ බලාපොරොත්තුව වේ.

එම අවශ්‍යතාව දැඩි ලෙස අපේක්ෂා කරන මෙවැනි කාලයක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියත් සමඟ පක්ෂයට ලැබී තිබේ. ශ්‍රීලනිපය බිහිකර ගත් මූලික පරමාර්ථ ක්‍රමානුකූලව ඉටුවෙමින් පවතියි. වඩාත් ශක්තිමත් නායකත්වයක් යටතට ශ්‍රීලනිපය පත්වීමත් සමඟ පක්ෂයේ අරමුණු ද එකිනෙක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කෙරෙමින් පවතියි.

ශ්‍රීලනිපයේ එක් ප්‍රධාන ප්‍රතිපත්තියක් බවට පත්ව තිබෙන්නේ ආර්ථිකයයි. එක් ගුරුකුලයක් මත පමණක් නොපිහිටා ආර්ථික ප්‍රතිපත්තිය පක්ෂය තුළ මධ්‍යස්ථව පවත්වාගෙන යාමට පක්ෂයේ වර්තමාන නායකත්වයට හැකියාව ලැබී තිබේ.

සුබසාධන කටයුතු පුළුල් මට්ටමෙන් පවත්වාගෙන යාම, ග්‍රාමීය වශයෙන් පවත්නා මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න කෙරෙහි අවධානය යොමුකර එම ගැටලු නිරාකරණය කිරීම, ආගමික සහ භාෂා මට්ටමෙන් පවත්නා ගැටලු විසඳීම යනාදී කරුණු පදනම් කරගනිමින් පක්ෂය ක්‍රියාකාරී ලෙස දේශපාලනයට සහභාගිවී ඇත.

1951 දී ශ්‍රීලනිපය බිහිකර ගැනීමේදී සඟ,වෙද, ගුරු, ගොවි, වෙද, කම්කරු යන පංච මහා බලවේගයන් ද මේ සඳහා සහභාගි විය. එදා ඔවුන් නියෝජනය කළ ප්‍රධාන පක්ෂය බවට පත්වූයේ ශ්‍රීලනිපයයි. එජාපය වැනි ධනේෂ්වර පක්ෂයක, කම්කරුවන්ට ඉඩක් නොලැබිණ. එකල කම්කරුවන්ට දේශපාලනයට සහභාගී වීම සඳහා වැඩි ඉඩකඩක් ලැබුණේ ශ්‍රීලනිපය සහ වාමාංශික පක්ෂවල පමණි.

ඒ අනුව කම්කරුවන් ඇතුළු රටේ සියලු ජනතාවගේ සුබසාධන කටයුතු අරමුණු කරගනිමින් ශ්‍රීලනිපය එදා සිට ක්‍රියාත්මක වීමට ආරම්භ කෙරිණ. එදා එසේ ආරම්භ කළ පක්ෂයේ ප්‍රතිපත්ති අද වනවිට වත්මන් නායකත්වය යටතේ සාර්ථක ලෙස ක්‍රියාත්මක කරමින් පවතියි.

දුප්පත් - පොහොසත්, කුලභේද නොතකා ශ්‍රීලනිපය තුළින් ඉදිරිපත්ව දේශපාලනයට පිවිසීමට හැමෝටම අවස්ථාව ලබාදී තිබේ. මේ සියලු කරුණු මත පදනම්ව අන් කවරදාටත් වඩා වර්තමානයේ දී පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භූමිකාව ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ පක්ෂය බිහිකර ගත් ප්‍රතිපත්ති ද ඉතා සාර්ථක ලෙස ඉටුකරමින් ය. ජනතාව අපේක්ෂා කළ නායකත්වය වර්තමානයේ දී ශ්‍රීලනිපයට ලැබී තිබේ. එය ශ්‍රීලනිපයේ පමණක් නොව ජනතාවගේ ද ජයග්‍රහණයකි.


සබැඳි පුවත්