අපේ උරුමයේ විදාරණය අත ලකුණයි

අපේ උරුමයේ විදාරණය අත ලකුණයි

මහාචාර්ය මැන්දිස් රෝහණධීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය හා එහි විකාශනය පිළිබඳව මහාචාර්ය මැන්දිස් රෝහණධීර සමඟ පැවැත් වූ සාකච්ඡාවකි මේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 19 වැනි සම්මේලනය අද (15) පවත්වනවා. මෙරට දේශපාලනය ඉතිහාසය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය හා විකාශනය පිළිබඳ ඔබේ මතය කුමක්ද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවූයේ කවර සංස්කෘතික අවශ්‍යතාවන් අරමුණු කොට ගෙනද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක ජන කොටස් කවරේද යන්න පිළිබඳ ප්‍රථමයෙන් කතා කරන්නට කැමැතියි.

1948 සෝල්බරි ව්‍යවස්ථාව හමුවේ ඩී. එස්. සේනානායක හා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සිංහල මහා සභාව සහ එක්සත් ජාතික පක්ෂයත් සමඟ එක්ව මැතිවරණයට මුහුණ දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩී. එස්. සේනානායක මහතා අගමැතිවරයා ලෙසත් සභානායක හා පළාත් පාලන ඇමැති තනතුරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අතරේ සිංහල මහා සභාවෙන් රටේ ජනතාව අපේක්ෂිත අරමුණු රැසක් තිබුණා.

 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, බෞද්ධාගමික මූලිකත්වයෙන් යුතු සංස්කෘතිය, යහපත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මෙන්ම වාමාංශික පක්ෂ හා එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම ඒ අතර ප්‍රධාන වශයෙන් කැපී පෙනුණා. නමුත් ගැටලුව වුණේ මේ අරමුණු සාක්ෂාත් කරලීමට ඔවුන් අපොහොසත් වීමයි. ඒ නිසාවෙන් ඇතිවුණු විරෝධතාවය මත මාදම්පේ ඇතිවුණු ඓතිහාසික සම්මේලනයෙන් අනතුරුව සිංහල මහා සභාව එජාපයෙන් ඉවත්විය යුතු බවට තීන්දු වුණා.

ඒ අනුව 1951 දී බණ්ඩාරනායක මහතා විපක්ෂය හා එක් වුණා. ඔහු සමග එක් වූ විශේෂිත අමුත්තෙක් සිටියා. ඔහු තමයි එවකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජිතයෙක්ව සිටි ඩී. ඒ. රාජපක්ෂ මහතා. ඔහු ටී. බී. ඉලංගරත්න මහතා ඇතුළු ප්‍රමුඛයන් හා එක්ව 1951 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවනු ලැබුවා. එය තමයි පක්ෂයේ මූලාරම්භය.

සිංහල මහා සභාවෙන් ඉටු නොවූ අරමුණු මුදුන්පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකි වූවා යැයි ඔබ සිතනවාද ?

ඔව්. 1952 හර්තාලයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව මැතිවරණයට මුහුණදීමෙන් බණ්ඩාරනායක මහතා විපක්ෂ නායකවරයා බවට පත් වුණා. පසුකාලීනව පිලිප් ගුණවර්ධනයන්, එන්. එම්. පෙරේරා මහතාත් ඇතුළු වාමාංශික පක්ෂ සන්ධානය වී 1956 මැතිවරණයෙන් විශාල ජනවරමක් අත්කොට ගනිමින් බලයට පත්වූවා.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේගයන් පෙරමුණේ තබාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ආරකින් ශ්‍රී ලංකා ආණ්ඩුව පිහිටුවන්නට සමත්වීම මෙරට දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක්. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, බෞද්ධ සංස්කෘතිය මුල්තැනට ගෙන ඒම, ආයුර්වේදය දියුණු කිරීමට මග විවර වූයේ මේ තුළිනි.

එක්සත් ජාතික පක්ෂයේ විදේශ ප්‍රතිපත්තිය වශයෙන් පෙනෙන්නට තිබුණේ ඇමරිකාව හා යුරෝපා රටවල්වලට බර වූ ප්‍රතිපත්තියක්. සමාජවාදී රටවල් බැහැර වූ විදේශ ප්‍රතිපත්තියක් පෙළ ගැහෙමිනුයි තිබුණේ. බණ්ඩාරනායක මහතා එම ප්‍රතිපත්තියෙන් බැහැර වෙලා සෝවියට් දේශය, චීනය යන රටවල් හා විශේෂ ප්‍රතිපත්තියක් අනුගමනය කළා.

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ හා නැව් තොටුුපොළ මෙන්ම විදේශ වෙළෙඳාමත්, බැංකු හා රක්ෂණ සමාගම් බ්‍රිතාන්‍යයන් යටතේ පැවැතුනේ. ඒ සියල්ල ජාතිය සතු කරන්නටත් රටේ ආර්ථිකය සහමුලින්ම වෙනස් අතකට යොමුකරන්නටත් බණ්ඩාරනායක ප්‍රමුඛ රජයට හැකි වුණා. 1959 වසරේදී සාහසිකයෙකු අතින් මරණයට පත්වන්නට බණ්ඩාරනායක ශ්‍රී මතාණන්ට සිදුවීම අවාසනාවට කරුණක්.

එය මෙරට සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක්. බොහෝ දෙනා පක්ෂයේ පිරිහීම අපේක්ෂා කළත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ආරාධනයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එතුමාගේ හිඩැස පිරවීමට කටයුතු කළේ මේ මොහොතේ.

එතුමාගේ ක්‍රියාමාර්ගයන් වඩ වඩාත් ඉදිරියට ගෙන යමින් බැංකු හා රක්ෂණ සමාගම් ජාතිය සතු කරමින් ඇය කටයුතු කළා. සුවිශේෂි කරුණක් වන්නේ 1970 දී වාමාංශික පක්ෂ සහයෝගයද ඇතිව මැතිනිය එක්සත් ජාතික පක්ෂය පරාජය කරමින් විශාල ජනවරමක් ලැබීමයි.

1971 දී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, ජෝර්ජ් රාජපක්ෂ, ඩී. ඒ. රාජපක්ෂ වැනි ප්‍රභූන්ගේ සහායෙන් 1971 දී ඇති වූ කැරැල්ල මර්දනය කරමින් 1972 වන විට එයට සම්බන්ධ වූ උපාධිධාරීන් විශ්වවිද්‍යාල තුළම පුනරුත්ථාපනය කරන්නට කටයුතු කළා.

1972 වසරේදී කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේ මේ අතරේ. ශ්‍රී ලංකා රජය සම්බුද්ධ ශාසනය නඟාසිටුවීමට වැඩ කළ යුතුය. අන්‍යාගමික සහජීවනය සමඟින් බුද්ධාගම රජයේ ආගම ලෙස සැලැකිය යුතුය යන සිද්ධාන්තය යටතේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ් බලාපොරොත්තු සඵල කිරීමට සිරිමාවෝ මැතිනිය කටයුතු කළ ආකාරය ප්‍රසංශනීයයි.

ජනතා පරමාධිපත්‍යයෙන් යුතු ආණ්ඩුවක් බිහිවුණා.

ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ සමු ගැනීමත් සමඟ එතුමාගේ පුතු වූ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සම්ප්‍රාප්තිය සිදු වුණේ් 1970 වසරේදී. එදා මෙදා තුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ විශාල වෙනසක් ඇති කළා. ඒ පිළිබඳ ඔබේ අදහස ?

1970 වසරේදී තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස බෙලිඅත්ත ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. පළමු අවුරුද්දේ ඔහුගේ රාජාසන කතාව (ස්තුති කතාව ) මට සිහිපත් වනවා.

ඔහුගේ කතාවේ මූලිකත්වය ගෙන තිබුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වරාය ඉදිකිරීම ඇතුළුව රුහුණට නව යුගයක් උදාකිරීම සම්බන්ධයෙන්. පසුකාලීනව පක්ෂ නායකත්වයට තහනම් යෝජනා ඉදිරිපත් වෙමින් පක්ෂය කැඩෙන තත්ත්වයට පත්වෙමින් තිබුණා. මෛත්‍රීපාල සේනානායක වැනි අය ඉවත් වුණා.

මේ අවස්ථාවේ තරුණ මහින්ද රාජපක්ෂ මහතා පක්ෂය පෙරමුණට ගැනීම සඳහා පාද යාත්‍රා සංවිධානය කරමින් එජාපයේ ප්‍රධානීන් සමග හැප්පෙමින් මානව අයිතිවාසිකම් සම්බන්ධව ලොවට ම කියා පාමින් අති විශාල මෙහෙවරක් ඉටුකළා. ඒ දැඩි කැපවීම අද එතුමා භුක්ති විඳිනවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ් නායක්තවයෙන් යුතුව පක්ෂය බලයට පත් වූ මොහොතේ මහින්ද රාජපක්ෂ මහතා කම්කරු, ධීවර ඇමතිකම් දරමින් සිට අගමැති තනතුර ලැබීමට තරම් වාසනාවන්ත වූවා. එහි ප්‍රතිඵලය වූයේ පක්ෂය විසින් 2005 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකත්වය එතුමාට ලබාදීමයි. ඒ අනුව ඔහු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.

රටේ වත්මන් නායකත්වය දරන ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සිවු අවුරුදු පදවි ප්‍රාප්තිය සනිටුහන් කිරීමට නියමිතයි. ගත වූ සිවු වසර තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හැසිරීම ගැන ඔබේ ප්‍රතිචාරය ?

වසරින් වසර පක්ෂය ශක්තිමත් කරමින් වාමාංශික පක්ෂයන්ගේ සහයෝගය ලබා ගනිමින් එජාපය දුර්වල කරන අභීත නායකත්වය තමයි ජනපතිතුමාගෙන් පෙනෙන්නට තියෙන්නේ. 30 වසරක මෙරට පැවැති කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගෙන සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය පෙරටු කොට ගනිමින් කටයුතු කරන ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පුත්‍රරත්නය දිවංගත බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ හා මැතිනියගේ බලාපොරොත්තු වූ සරුසාර, සෞභ්‍යමත්, නිදහස්, ලංකාව ගොඩනැගීමට දැනටමත් හැකි වී තිබෙනවා.

බෙදී ගිය රට එක්සේසත් කරමින් වේගවත් සංවර්ධන ක්‍රියාදාමයකට පන පොවමින් බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ නොබැඳි පිළිවෙත හා දූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය තුළින් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට එතුමාගේ දූරදර්ශී නායකත්වයට හැකි වී තිබෙනවා.

වත්මන් රජය වෘත්තීය සමිති අරගලයක් ඇතුළුව විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටිනවා. ඒවාට මුහුණ දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකිවනු ඇතැයි ඔබ විශ්වාස කරනවාද ?

දේශපාලනයේ නව ප්‍රවණතා රැසක් මෑත කාලයේ සිට පෙනෙන්නට තිබෙනවා. ජනතාව ඒ දෙස බලාගෙන ඉන්න බව පේනවා. විශේෂයෙන් මා හිතන විදියට මැතිවරණයක් පැමිණීමට නියමිතව තිබීම හා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම පිළිබඳවත් කියැවෙන නිසා රටේ උණුසුම් තත්ත්වයක් ඇතිවෙලා.

ඒ අතරේ ජනතා විමුක්ති පෙරමුණ කම්කරු පන්තිය වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු කරමින් හා ඒ සඳහා විශ්වවිද්‍යාල සිසුන් යොදා ගනිමින් උද්ඝෝෂණ පවා මෙහෙයවන බවක් පෙනෙනවා. රජයේ විවිධ අංශවල වෘත්තීය සමිති පෙළගස්වමින් සිටිනවා.

මගේ අදහස් වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අරගල, වෘත්තීය සමිති පිළිබඳ බරපතළ අත්දැකීම් ලද නායකයෙක්.

ත්‍රිවිධ හමුදාව ඇතුළු රටේ භාරකත්වය තියෙන්නේ එතුමාගේ දෑත් මත. එතුමා සාර්ථකව මේ සියලු අරගලයන් මැඩ පවත්වා ජය ලබන බවට 19 වන පක්ෂ සම්මේලනය ඉහළින් සමරන මේ මොහොතේ දැඩි විශ්වාසයෙන් කියන්නට පුළුවන්.


සබැඳි පුවත්