මුළු රට ම පාවාදීම

මුළු රට ම පාවාදීම

ශක තුනක් තිස්සේ රටත් ජාතියත් වෙළා ගත් මහාශාපය වූ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට වීරෝදාර රණවිරුවන් සුවිශාල කැපකිරීමක් කළ බව අපි දනිමු. රණවිරුවන්ගේ ලේ දහඩිය කඳුළු මතින් ලද මේ මහා විජයග්‍රහණය තුළින් මවු බිමට කුරිරු ත්‍රස්තවාදයේ අඳුරු සෙවණැල්ලෙන් සදහට ම මිදෙන්නට හැකි විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පෙර මේ රට පාලනය කළ ජනපතිවරු ද කොටි ත්‍රස්තවාදයට එරෙහි ව සටන් ක්‍රියාමාර්ග ගත්හ. එහි දී ජයග්‍රහණය මෙන් ම පරාජය ද අත් විය. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ යුගයේ මෙරට යුද වීරයන් අප්‍රමාණ කැපකිරීම් කරන ලදී. එදා වඩමාරච්චි සටනේ දී ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවාගේ මෙහෙයවීම මත කොටි පරාජය කිරීමට සාර්ථක මෙහෙයුමක් සිදු කෙරුණි.

නමුත් එදා ඉන්දීය රජයේ බලපෑම් මත එතෙක් අත් පත් කර ගත් ජයග්‍රහණ ආපස්සට හරවමින් යුද්ධය හා රණවිරුවා සැබෑ ලෙස පාවාදීමට ජේ. ආර්. ජයවර්ධන මහතා ක්‍රියා කළේය. ම්ලේච්ඡ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට තිබූ අවස්ථාව තමිල්නාඩු කොටි නඩය දියත් කළ මෙහෙයුම හරහා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාට නතර කිරීමට සිදු විය.

මෙරට සිටි අසහාය යුද සෙනෙවියෙකු ලෙස පිළිගැනෙන ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාට එදා සටන් නතර කිරීමට විධානය දුන් සේනාධිනායක ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිගේ අණ ඉක්මවා දිගට ම සටන් කළ නොහැකි විය. යුද නායකත්වය යුද මෙහෙයුම්වල සාර්ථක ව යෙදුණත් එවක දේශපාලන නායකත්වය ජාත්‍යන්තර දේශපාලනය අසාර්ථක ලෙස කළමනාකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කොටින්ට එරෙහි යුද්ධයේ ජය පෙනි පෙනී නතර කිරීමට සිදු වූ බව සිහි බුද්ධිය ඇති කවුරුත් දනිති.

එසේ ම ජනපති ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග යන ජනපතිවරු ද තම කාලවල දී කොටින්ට එරෙහි ව යුද මෙහෙයුම් ක්‍රියාත්මක කළහ. එහි දී යුද බිමේ දී රණවිරුවාගේ අප්‍රතිහත ධෛර්යයත් කැප කිරීමත් නිසා මවුබිමට සුවිසල් ජයග්‍රහණ යුදමය වශයෙන් ලැබුණි.

නමුත් එකී ජයග්‍රහණ ස්ථාවර ලෙස පවත්වා ගැනීමට එකී නායකයන්ට ද නොහැකි වූයේ ජාත්‍යන්තර වශයෙන් දේශපාලනය මනා ව කළමනාකරණය කර ගැනීමට දැනුමක් නොතිබූ හෙයිනි. එයින් සිදු වූයේ අභීත රණවිරුවන් දහස් ගණනකට සේනාධිනායකයන්ගේ ඔලමොට්ටලකම නිසා නිරායුධ ව සිට කොටින් වෙතින් මරණයට පත්වීමට යි. යළිත් අවාසනාවන්ත අඳුරු කාල පරිච්ඡේදයක උදාව සිදු වෙයි.

මෙවැනි අභාග්‍යසම්පන්න ඛේදජනක, අවාසනාවන්ත පසුබිමක් යටතේ 2005 වර්ෂයේ දී ලංකාවේ බොහෝ ජනයා එකතු වී දේශප්‍රේමී නායකත්වයක් ගොඩ නඟා ගත්තේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති කරවමිනි.

ඔහු බලයට පත්වීමේ දී දුන් ප්‍රධාන පොරොන්දුව වූයේ පළමු ව මවුබිම එක්සේසත් කොට සැබෑ සාමයක් රටේ ඇති කොට ජාති භේදයෙන් තොර අන්‍යොන්‍ය සහජීවනයෙන් යුතු සමාජයක් බිහි කිරීමයි. දශක තුනක් තිස්සේ පැවති කුරිරු කොටි ත්‍රස්තවාදය අවසන් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට ගත වූයේ වසර තුනක් වැනි කෙටි කාලයකි.

මේ සඳහා ඔහුට එම හැකියාව ලබා ගැනීමට සිය සහෝදරයෙකු වූ යුද බිමේ අත්දැකීම් ලබා ඇති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තනතුරට පත් කරමින් යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදාවලට හමුදාපතිවරුන් අලුතින් පත් කරමින් ගත් ක්‍රියාදාමය යි.

එහි දී කොටින් සමග යුද කිරීමට ප්‍රමාණවත් ආයුධ බලය රාජපක්ෂ ආණ්ඩුවට නොතිබුණි. ඊට හේතුව වසර දෙකක් පැවති රනිල් වික්‍රමසිංහ රජය කාලයේ ඇති කර ගෙන තිබූ අවබෝධතා ගිවිසුමට පින්සිදු වන්නට ප්‍රභාකරන් අතිභයානක විනාශකාරී නවීන අවි ආයුධ හා කුඩා ගුවන් යානා, සබ්මැරීන් පවා ගෙන්වා ගෙන තිබීම යි.

ඒ නිසා පළමු ව චීනය, රුසියාව, පකිස්තානය ප්‍රමුඛ රටවලින් ප්‍රබල ආයුධ මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත්තේ බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් ඔවුන්ට ඒවා නොලැබුණු හෙයිනි.

ජනාධිපතිතුමා කොටි ත්‍රස්තවාදයට එරෙහි ව යුද්ධය ගෙන ගියේ අලුතින් රණවිරුවන් නිර්මාණය කොට නො ව මුල සිට ම කොටින් සමඟ යුද්ධ කළ රණවිරුවන් සමග ය. ඔවුනට කොටින් පරාජය කිරීමට හැකියාවක් තිබුණි.

එහෙත් ජයග්‍රහණය පෙනි පෙනී ම ජාත්‍යන්තර මැදිහත්වීම් වලට බියෙන් එදා රාජ්‍ය නායකයන් යුද්ධය අතරමඟ නතර කිරීමෙන් පරාජය වන කොටිනට යළි පුනර්ජීවය ලැබීමට අවස්ථාව ලබා දී ඇත.

නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් මගින් ත්‍රිවිධ හමුදාපතිවරුන් හා රණවිරුවන් යොදා ගෙන යුද්ධය මෙහෙය වූ අතර ජාත්‍යන්තර ව එල්ල වූ විදේශීය බලවේග ද ජයග්‍රහණය කර ගැනීමට සමත් විය.

කොටින්ගේ අවසාන දින කිහිපයේ අමෙරිකාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ, කැනඩාව වැනි කොටි හිතවාදී අධිරාජ්‍යවාදී විදේශ බලවේග යුද්ධය වහා නතර කරන ලෙසත් සාම සාකච්ඡා යළි ආරම්භ කරන ලෙසත් ශ්‍රී ලංකා රජයට බල කර සිටි බව අපි දනිමු.

එමෙන් ම ඊනියා මානව හිමිකම් ගැටලුවක් අනිසි ලෙස අයුතු ලෙස මවා පාමින් මෙරට රාජ්‍ය නොවන සංවිධානත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානත් එකතු වී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අසත්‍ය වාර්තා සපයමින් මේ රටට එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් ගොඩ බස්වා රටේ ඒකීයභාවය විනාශ කිරීමට කොටි හිතවාදීන් උත්සාහ කරන ලදී.

මේ පසුබිම මනාව අවබෝධ කර ගත් ජනාධිපතිතුමා ස්වකීය සුනිශිත ජාත්‍යන්තර දේශපාලන කළමනාකරණ ඥානය යොදවා මවුබිමට එරෙහි ව ගොඩනැෙඟමින් තිබූ එකී දේශීය හා විදේශීය කුමන්ත්‍රණ පරාජයට පත් කළේ ය.

මේ අතර රණවිරුවෝ සිය ශාරීරික අවයව මෙන් ම දහස් ගණන් ජීවිතත් සිය මවුබිම රැක ගැනීමට පූජා කරමින් ඇරඹූ මානුෂික මෙහෙයුම ජය ගත්හ. මේ ජයග්‍රහණයේ සැබෑ විරුවෝ නම් සොල්දාදුවන් දිරිමත් කරමින් යුදබිමේ බියකරු බව දැන දැන ඊට නායකත්වය සැපයූ ආඥාපතිවරු ය.

ඔවුන් සමඟ දිවි හිමියෙන් සටන්කළ විරෝදාර සොල්දාදුවන් ය. මේ ජයග්‍රහණයට මඟ හෙළි කළ ත්‍රිවිධ හමුදාපතිවරුන් හා සිවිල් ආරක්ෂක බලකායේ ආඥාපතිවරයාත් පොලිස්පතිවරයාත් නිතැතින් ගෞරව ලබනු ඇත.

මේ පසුබිමේ සිටි ඉන්ද්‍රඛීලයක් වැනි ජනාධිපතිතුමාත් ආරක්ෂක ලේකම්තුමාත් මේ අසහාය ජයග්‍රහණයේ නියමුවන් බව සටන් බිමේ දී යුද හමුදාවට නායකත්වය දුන් යුද හමුදාපති ව සිටි සරත් ෆොන්සේකා මහතාගේ සිට සියලු ම හමුදාපතිවරුන් ජයග්‍රහණය ලැබූ වකවානුවේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වලින් කරන ලද ප්‍රකාශ සනාථ කරයි.

එමෙන් ම මේ දරුණු යුද සමයේ රටේ සියලු දෙනා ම බොහෝ අග හිගකම් දරා ගනිමින් රණවිරුවන්ට ආරක්ෂාව පතා සෑම තැනක ම බෝධි පූජා පවත්වා ආශිර්වාද කළහ. මහා සංඝරත්නය ද රථ වාහන වල පිරිත් මණ්ඩප තනා රටේ සාමය ඇති කිරීමට සටන් වැද සිටි රණවිරුවන්ට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ඣායනා කරමින් රට වටා වැඩම කළහ. ඇතැම් භික්ෂූන් වහන්සේලා යුද බිමට ම ගොස් රණවිරුවන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කළ සැටි සුප්‍රකට යි.

දැන් කුරිරු යුද්ධය අවසන් ය. සැමට බියෙන් සැකෙන් තොර ව සිරිලක ඕනෑ ම තැනක ගමන් බිමන් කළ හැක. මීට පෙර සිරිලක පැවති අවිනිශ්චිත තත්ත්වය බොහෝ දෙනාට අමතක වී ඇතිවාක් මෙනි.

නැති නම් ඒ තත්ත්වය අමතක කරවන්නට ඇතැම් අවස්ථාවාදී බලවේග උත්සාහ කරමින් සිටී. ළඟ එන ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වී ඇත්තේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ය.

කොටින්ට එරෙහි ව යුද්ධය පැවති වකවානුවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කිහිපයක් මෙරටට එරෙහි ව ක්‍රියාත්මක වූවත් ඒවා ජය ගත්තේ හමුදා බලයෙන් නො ව ජනාධිපතිතුමාගේ දේශපාලන කළමනාකරණ ඥානයේ මහිමයෙනි.

ඒ මොහොතේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් හා ඊට උඩගෙඩි දුන් දේශීය කුමන්ත්‍රණකරුවන් පරාජය වූවත් ඔවුන් එකී උත්සාහය අත් හැර නැති බව පෙනේ. එය නවතම මුහුණුවරකින් කල එළි බසින්නේ විපක්ෂයේ විපක්ෂ අපේක්ෂක ලෙස ෆොන්සේකා ඉදිරිපත් කිරීමෙනි.

එක්සත් ජාතික පක්ෂය විදේශීය වශයෙන් මෙරටට එරෙහි ව මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම ආදිය පිළිබඳ ව පැමිණිලි කළේ ෆොන්සේකාට ද එරෙහිව යි. එජාපයේ ප්‍රබලයෙකු මාධ්‍යය හමුවක දී පැවසූයේ සල්ලි තිබේ නම් ආයුධ රැගෙන ඕනෑ ම ගොනෙකුට යුද කළ හැකි බව යි.

එමෙන් ම මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ සරත් ෆොන්සේකා යුද හමුදාවට තබා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති බව යි. මෙවැනි අයගේ ම නියෝජිතයා වීමට සරත් ෆොන්සේකා මහතාට සිදු වීම එතුමාගේ දෛවයේ සරදමක් ලෙස මට නම් සිතේ.

තමන්ට ජය ගත නොහැකි වග වටහා ගත් එකී පාක්ෂිකයන් ෆොන්සේකා ඔවුන්ගේ ඉත්තෙකු ලෙස යොදා ගන්නේ කොටින්ට එරෙහි ව කළ යුද්ධයේ ගෞරවයෙන් කොටසක් ෆොන්සේකා මහතාට ද හිමි වන නිසා ය.

එදා මේ රටේ ජනතාව ෆොන්සේකා මරා දැමීමට කොටින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යෙදූ අවස්ථාවේ ඔහුට ඉක්මන් සුවය පතා මුළු රට පුරා බෝධි පූජා පැවැත්වූයේ මේ මවුබිමට ද්‍රෝහිකම් කරන කුමන්ත්‍රණකරුවන්ගේ නියෝජිතයා වීමට නොවේ.

ඔහුට ම විරුද්ධකම් පෑ කණ්ඩායමේ නියෝජිතයා වීමට ද නොවේ. එදා ෆොන්සේකාට එරෙහි ව මොවුන් ක්‍රියා කළේ කොටින් ආරක්ෂා කර ගැනීමට මිස අන් කුමකට ද ? කොටි යුද්ධය පරදා ලත් ජයග්‍රහණය සකල බල මුළු වෙත එක හා සමාන ව හිමි විය යුතුය.

සරත් ෆොන්සේකා පිළිබඳ මා තුළ ද පැවතියේ අසීමිත ගෞරවාදරයකි. ඒ ඔහු තුළ පැවති යුද හමුදාව මෙහෙයවීමේ ශක්තිය යි. නමුත් අභ්‍යන්තර කුමන්ත්‍රණ ගණනාවකට හසුවීමෙන් ඔහුගේ එකී කීර්තිමත් ගෞරවය අහිමි කර ගෙන ඇති බව පෙනේ.

යුද ජයග්‍රහණය කිරීමට පෙරත් ජයග්‍රහණය ලැබූ පසුවත් ඔහු කරන ලද ප්‍රකාශ හා දැන් කරනු ලබන ප්‍රකාශ අතර බරපතළ පරස්පරයක් මෙන් ම ප්‍රතිවිරෝධතාවක් ද තිබේ. සැබැවින් ම ඔහු යුද්ධ හමුදාවට නායකත්වය සැපයීමට දක්ෂයෙකි. නමුත් ඉන් එහා දෙයක් කිරීමට ඔහුට කුස.ලතාවක් ඇති බව නම් නොපෙනේ. මෙහි දී පැරණි පඬිවරයෙකුගේ කියමනක් මගේ ද අදහසක් සමග මුසු කිරීමට සිත් වේ.

‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත
දෙකක් කළොත් අවසානෙදි දෙක ම නැත’

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා