රෝහණ බැද්දගේ ගම්මානෙන් සිදාදියට

රෝහණ බැද්දගේ ගම්මානෙන් සිදාදියට

නිර්ව්‍යාජ ගැමියෙකුට පිදෙන හරසර ප්‍රණාම

රෝහණ බැද්දගේ ශූරීන් ගේ හැත්තෑ පස් වසරක ගායන රංගන මෙහෙවර අගයනු වස් සසඳ නිර්මාණ සංසදය සංවිධානය කරනු ලබන ‘ගම්මානෙන් සිදාදියට’ ප්‍රසංගයේ අද සහ හෙට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේ දී සවස 6.00 ට පැවැත් වේ. ජනවාරි පළමු වැනිදා එනම්; අද ඔහුගේ ජනපි‍්‍රයම ප්‍රාසාංගික අත්දැකීම ‘මාමයි බෑනයි’ සහ ‘අලකලංචිය’ වේදිකා නාට්‍ය රඟ දැක්වෙන අතර පසුදින එනම් දෙවැනි දා සවස 6ට රෝහණ බැද්දගේ උපහාර උළෙල කලළුාකරුවන් රැසකගේ රංගන දායකත්වයෙන් විචිත්‍රව පැවැත් වේ.

රෝහණ බැද්දගේ කලාකරුවා එක් අතකින් හිතා බලන විට ලාංකේය සංස්කෘතියේ අනන්‍යතාවයක් බඳු ය. ඔහු අපට ජාතික උරුමයක් වැනි ය. එය එසේ වන්නේ අපේ හඬ අපේකම ඕනෑවටත් වඩා ඔහුගේ ගායනයෙහි මෙන්ම රංගනයෙන් නිරූපණය වීම යි. දහසක් ගී ගැයුම් අතරේ බැද්දගේ හඬ ඒ අතුරින් නිරවද්‍ය ලෙස හඳුනා ගත හැක්කේ ඒ සුවිශේෂි වූ අනන්‍යතාවය නිසාවෙනි.

‘කන්දේ ගෙදර’ විශ්‍රාමික ඉස්කෝලේ මහත්තයාත් ‘පළිඟු මැණිකේ’ ගුරුන්නාන්සේත් හාත්පසින් වෙනස් වූ චරිත වුවද ඒ චරිත තුළ වූ ගැමිකම ඔහු ඉතා අපූරුවට එක්කර ඇති අයුරු ප්‍රශස්තය. ‘ඉරට හඬන මල්’ හි ‘අප්පච්චි’ චරිතය සැබෑම ගැමි කම අපට සිහිපත් කරවයි.

ඔහුගේ රංගනයෙහි වූ නිර්ව්‍යාජත්වය මෙලෙස එක් නිර්මාණයකට හෝ දෙකකට සීමා නොවේ. රෝහණ බැද්දගේ රංගන ශිල්පියා රඟ පෑ හැම චරිතයකින්ම ඔහුට උරුම ගැමිකමේ සුවඳ මනාව වහනය වූයේ ය. විචාරකයකු හෝ ප්‍රේක්ෂකයාට ඔහුගේ රංගනයන් අතුරින් එකකට වඩා අනෙක හොඳ හෝ නරකය කියන්නට බැරුවා සේම රෝහණ බැද්දගේ හට ද වඩාත්ම සිත්ගත් සුවිශේෂි චරිතයක් ඔහුගේ රංගන චාරිකාවේ නොමැත.

’මම රඟපාන්නට තෝරා ගත්තේ මා කැමැති චරිත විතරයි. එනිසා වැඩියෙන්ම කැමැතියි, වැඩියෙන් අකමැතියි කියලා නැහැ. මගේ සිංදු ගත්තත් එහෙමයි. මා ගායනා කළ හැම ගීතයකටම මම කැමැතියි.’

රයිගම් කෝරලයේ හොරණ ගමේ ඉපිද එහිම හැදී වැඩුණු රෝහණ බැද්ද ගේ ශූ®®රීන් සිය ජීවිතයේ හැත්තෑ පස් විය සමරන මේ මොහොතේ ඉන් පනස් වසරක්ම ගෙවා ඇත්තේ කලා ලොවේ විවිධ භූමිකා ඔස්සේ ය.

නර්තන ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹන බැද්දගේ කලාකරුවා බොහෝ කලක් රට පුරා සේවය කොට ගායකයකු, රංගන ශිල්පියකු, සංගීතඥයකු, ගීත රචකයකු, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු, ග්‍රන්ථ කතුවරයකු ආදි වශයෙන් ක්ෂේත්‍ර ගණනාවක හපන්කම් පෑවේය. ඒ සියලු භූ®මිකාවන්හි ඔහු අතිවිශිෂ්ටයකු වූයේය. නුමුදු රෝහණ බැද්දයන් ගේ විශේෂත්වය වූයේ විශිෂ්ටයකු වන්නට වන්නට තව තවත් නිහතමානී වීම ය.

ගුරු උපදෙස් දෙමින්...

’මම මේ කියන කතාව කෙනෙකුට අමුතු වෙන්න පුළුවන්. මම ජීවිතය දිහා බලන්නේ හරිම නිදහස්ව. කලා ජීවිතය කියලා මට වෙනම ජීවිතයක් නැහැ. මේ මගේ ජීවිතයයි. හැබැයි ආධ්‍යාත්මික ජීවිතයක් තියෙනවා. ඒ තුළ බොහෝ දේ තිබෙනවා. මගේ ජීවිතය අසීමිත වූ බැඳීම්වලින් ග්‍රහණය වූ එකක් නෙමෙයි.

මගේ ගීතවලත් බොහෝ විට ඇත්තේ බෞද්ධ දර්ශනයේ ඇති අනිත්‍ය සංකල්පයයි. මම එය තදින්ම විශ්වාස කරනවා. එනිසා කිසිදෙයක් ගැන තද ඇලීමක් නැහැ. අද සමාජයේ හරිම ජනපි‍්‍රය වචනයක් ‘ධනාත්මක චින්තනය’. ඒවා බොරු වචන. ධනාත්මක චින්තනය කියන්නේ තෘෂ්ණාව. මිනිසෙකු තුළ තිබිය යුත්තේ විශ්වාසයයි. එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය මත තමයි අපි ආරක්ෂා වෙන්නේ.

ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පර්යේෂණ අංශය 1972 පිහිටුවීමත් සමඟ ඒ වූ පර්යේෂණ කතිකාවලදී නිදර්ශන උදෙසා ගී ගයන්නට ලැබීම රෝහණ බැද්ද ගේ නම් වූ එවකට ආධුනික ගායකයාට අපූරු මාවතක් විවර කරන්නට සමත් වූයේ ය.

‘මගේ රත්තරං හෙලේනා’ ‘මල් සරා’ ‘කොස්වතු කන්දේ රොසලින් නැන්දා’ වැනි ගීත ජනපි‍්‍රය වූයේ මෙම ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඊට දස වසරකට පසු එනම් 1982 දී රෝහණ බැද්දගේ සමඟ යුග ගී ගයන්නට එක්වූ බන්දුල විජේවීර සමඟ අපූරු සුසංයෝගය ප්‍රසංග වේදිකාව උඩු යටිකුරු කළහ.

‘මගේ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි’ ගීය ගයන්නට එක් වූ බන්දුල විජේවීර රෝහණ ගේ ගායනයේ ඒ අසහාය සගයා වූයේ ය. රෝහණ - බන්දුල ගායන විලාසයන් අපූරුවට ගැළපුණ හ.

එහි ප්‍රතිඵලයක් ලෙසින් ‘මාමයි බෑනයි’ ප්‍රසංගය දෙස් විදෙස් ප්‍රජාව උදෙසා දර්ශන වාර පන්සියයකට වඩා සිදුකොට ඇත්තේ උණුසුම් රසික ප්‍රතිචාර ලබමිනි. බැද්ද ගේ ශූරීන් උපහාර ලබන දිනයේ ද ‘මාමයි – බෑනයි’ ප්‍රසංගය කරළියට ගෙන එන්නේ මේ ගායක දෙපළගේ ගායන ජීවිතයේ එක්තරා කඩඉමක් සනිටුහන් කළ නිසාවෙනි.

ගීතයකට ප්‍රාසාංගික බව එක් කළ ආකර්ෂණීය අවස්ථාව ලෙස මාමයි – බෑනයි ගායනය වයස් භේදයකින් තොරව අතිශය ජනපි‍්‍රය විය. අදට ද එහි තත්ත්වය වෙනස් වී නැත. අද වත්මන් පරපුරේ දරුවෝ ද ‘මාමයි - බෑනයි’ ගීතයට ඇලුම් කිරීමෙන් පෙනී යන්නේ හරවත් නිර්මාණයක් ඕනෑම කාලයකට ඔබින බව ය.

කිසිදා නිර්මාණ ප්‍රතික්ෂේප නොවෙන බව ය. බැද්ද ගේ කලාකරුවා ද පොදුවේ හැම හදවත් හි ළෙංගතු කලාකරුවෙකු බව අප හොඳින්ම දනී. ඔහු ගැමිකමට ආදරය කරන, ගෞරවපාන ජාතික ඇඳුම අඳින නිර්ව්‍යාජ අව්‍යාජ කලාකරුවෙකි.

‘මම හැදුණේ ගැමි පරිසරයේ. ගැමියන් අතරේ හැඳී වැඩුණු මට බලපෑවේ ගැමි සමාජය යි. මගේ කලා කටයුතුවලට මම පන්නරය ලැබුවේ ඒ සමාජයෙන්. මේවායෙන් තමයි මගේ ගීතය පදනම්වෙලා තියෙන්නේ.

මාමයි
බෑනයි

ගැමි යෙදුම් මගේ ගීත තුළින් වඩාත් ඉස්මතු වෙනවා. ඉන්දියානු රාගධාරි සංගීතය මම ඉගෙන ගත්තට ගීත ගායනයේදී මම ඉන්දියානු සංගීතය පාවිච්චි කළේ නැහැ. මගේ මේ ගීත ශෙලියට ජනතාවම ආසා කළා. ගැමි ගීය බිහි වන්නේ ගැමි ජීවන රටාව බිහි කර ගෙන. ඒක සංස්කෘතික කටයුත්තක්.’

අපේ පරම්පරාවේ කවුරුත් නැටුවේ නැහැ. අම්මගේ පැත්තෙත් නැහැ; තාත්තාගේ පැත්තෙත් නැහැ. සහෝදරයෙක්වත් නැටුවේ නැහැ. අපට පරපුරක් නැහැ. මම විතරයි ගැයුවේ නැටුවේ.’

නර්තනය දෙස අවඥාවෙන් බලන සමයක නැටුම් පරම්පරාවකට කිසිදු නෑකමක් නොමැති බැද්ද ගේ නර්තනයට හිත මෙතරම් නැමෙන්නට ඇත්තේ අපේකමට අපේ දෙයට ඇති ආසාව ලේ බිඳුවක් පාසාම මුළු ශරීරය පුරා දිවගොස් ඇති හෙයින් විය හැකිය. වරක් ඔහු පොප් ගායක මයිකල් ජැක්සන් ගේ ඉංගී‍්‍රසි ගීතයකට බෙර වාදනයෙන් තාල එක් කළේ රූපවාහිනි ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් නොවේ ද?

රෝහණ බැද්ද ගේ ශූරීන් කලා ලොවේ කෙතරම් කාර්යබහුල වූවත් තමා නිරත වන ගුරු වෘත්තියට සමු දුන්නේ් නැත. බොහෝ කාලයක් ගුරු වෘත්තියේ යෙදුණු ඔහු පසු කලෙක සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජන සංගීතය පිළිබඳ බාහිර කථිකාචාර්ය වරයෙකු ලෙස තවදුරටත් දැනුම බෙදාදෙයි. පාසල් ගුරුවරයකු ලෙසත් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේත් අත්දැකීම් බහුල ගුරුවරයෙකු හැටියට වත්මන් සිසු පරපුර ගැන හැඟෙන දැනෙන දේ මම විමසුවෙමි.

’අපේ සමාජයේ දරුවෝ නරක නැහැ. නරක දෙමාපියෝ සහ වැඩිහිටියන්. ළමයි අහිංසකයි. හොඳයි. සමහර දෙමාපියෝ දරුවන්ට හොඳ මාර්ගය කියා දෙන්නේ නැහැ. ඒකට හේතුව හරි දේ කියා දෙන්න දෙමාපියන් දන්නේ නැහැ. ළමයින්ව හදන්න දෙමාපියෝ නොදන්නාකම මිසක් දරුවෝ නරක නැහැ.

මේ උපහාර කටයුත්තේ දී මගේ ගෝලයේ තමයි මෙහෙම දෙයක් ගැන යෝජනා කරලා තියෙන්නේ. මුලින්ම මගේ උපන් දිනයට බෝධි පූජාවක් පවත්වන්නට යෝජනා වෙලා තිබුණේ. පස්සේ එඩ්වඩ් චන්ද්‍රසිරි එක්ක කතා කරලා වැඩේ බරපතළ වුණා. මගේ ගෝලයෝ කලා ලොවේ මගේ හිතවතුන් මේ කටයුත්තට හරියට මහන්සි වෙනවා. දැන් මට හිතෙනවා; මම ‘හා’ කිව්වේ අපරාදේ කියලා.’

කෙසේ හෝ නමුත් කලා ලොවේ රෝහණ බැද්දගේට සමීප ගරු කරන ශිල්පීන් සහ බැද්දගේ ශූරීන් ගේ ‘සඳගිරි පාය’ කලායතනයේ දරු දැරියන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ ගුරු බැතින් පිදෙන ‘ගම්මානෙන් සිදාදියට’ විචිත්‍රාංගමය ප්‍රසංගයට රෝහණ බැද්දගේ සහෘදයාට ඇල්මක් බැඳීමක් සෙනෙහසක් ඇති හැමෝටම විවෘත ආරාධනාවක් ද ඇත.

කලා ලොවේ අපූර්ව දස්කම් පාමින් ජීවිතයේ හැත්තෑ පස් විය ගෙවා දැමූ සෞන්දර්යවේදියා ගේ එදා - මෙදා තුර කලා ලොවේ වෙච්ච දේ බලන්නත් ඒ සෞන්දර්ය අත්දැකීම සජීවීව විඳ ගන්නට ලැබුවා වූ නව වසරේ හෙට දිනයේ දී සවස හයට එල්ෆින්ස්ටන් රඟහලට ‘ගම්මානෙන් සිදාදියට’ උපහාර ප්‍රසංගය සංවිධානය කරනු ලබන සසඳ නිර්මාණ කේන්ද්‍රය ඔබ සැමට ගෞරවනීය ආරාධනාවක් කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා