දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු

දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු

- රංගන ශිල්පී පාලිත සිල්වා

2005 වර්ෂයේ ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමා දිනවිය යුත්තේ ඇයි කියලා අපි ගමින් ගමට ගිහින් සාමාන්‍ය ජනතාවට පෙන්වා දුන්නා. ඔහු රට හදන්න පුළුවන් කෙනෙක් ඒ නිසා එතුමා දිනවමු යි කියා ඉල්ලීමක් කළා. එතුමා එදා ජයග්‍රහණය කළා. වසර 4 ක් තුළ දී අපි දුටුවා එතුමා පොරොන්දු ඉටු කළ නායකයෙක් බව. රට වෙලාගෙන තිබුණු කුරිරු ත්‍රස්තවාදය භෞතිකව අවසන් කළා.

යුද්ධය අපේ ආර්ථිකයට, සංස්කෘතියට තදබල ප්‍රහාරයක් වෙලා තිබුණා. මේ තදබල ප්‍රහාරයන්ට මූල සාධකය වෙලා තිබුණු යුද්ධය අවසන් වීමත් සමඟම අනෙක් ගැටලු නිරායාසයෙන්ම නිරවුල් වෙනවා. විදේශීය ආයෝජකයින්, සංචාරකයන් ලේ හැලීම් තියෙන බෝම්බ පිපිරෙන රටවල් වලට එන්නේ නෑ.

අපේ රටේ පැවැති ඒ තත්ත්වය දැන් නෑ. 1982 පටන් මෙරටට ඒමට තිබූ විදේශීය ආයෝජනයන්, මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය වගේ රටවල් වලට ඇදී ගියා. බලා සිටිද්දී වගේ ඒ රටවල් ශීඝ්‍රයෙන් දියුණු වුණා. අපේ රටට ඇදී ඒමට තිබූ ආයෝජනයනුයි ඒ අපට අහිමි වුණේ. මේ සියල්ලටම හේතුව වෙලා තිබුණේ අපේ රට වසා ගෙන තිබුණු කුරිරු යුද්ධයයි.

මේ දේශය මේ සියල්ලන්ගෙන්ම මුදා ගැනීමට නම් පළමුවෙන්ම ගත යුතු පියවර විදිහට ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කළේ පැවැති කුරිරු යුද්ධය සහමුලින්ම නතර කළ යුතු බවයි. කියූ විදිහටම සිතූ විදිහටම එතුමා ඒ කාර්යය වසර 04 ක් තුළදී ඉටු කළා.

දැන් රටම නිදහස්. යුද්ධයකින් තොර ලේ හැලීම් වලින් තොර නිදහස් රටකට විදේශීය ආයෝජකයන් සහ සංචාරකයන් එන්න කැමැතියි. දැන් ඒ අයට අවස්ථාව උදා වෙලා තියෙනවා. අපේ රටේ ආර්ථික ස්ථාවරත්වයට තිබූ බාධාව දැන් නෑ. ත්‍රස්තවාදය විසින් අපේ සියලු දෑ උදුරාගෙන තිබුණා.

දැන් අපට නැවතත් අපේ සියලු දෑ ළඟාකර ගත හැකියි. අපේ ආර්ථිකය ගොඩනඟා ගත හැකියි. නව වසරේදී සංචාරකයන් සහ විදේශීය ආයෝජකයින් අපේ රටට පැමිණීමට නියමිතයි. ඒ වගේම අලුතින් ගොඩ නැගෙන වරාය සහ ගුවන් තොටුපල අපේ ආර්ථිකය ඉහළ නැංවීමට සුවිශාල කාර්යභාරයක් ඉටු කරාවි.

ඒ වගේම ඒ හා සමඟම බැදී පවතින යටිතල පහසුකම් ශීඝ්‍රයෙන් ඉහළ යාවි. බොහෝ දෙනෙකුට රැකි රක්ෂා අවස්ථා ලැබේවි. ඒ වගේම වාණිජ්‍ය බැංකු සහ නොයෙක් ව්‍යාපාර හරහා මුදල් ගලාගෙන ඒවි.

තවද වෘත්තීය පුහුණුව හා දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළවල් සැකැසෙනවා. මෙවැනි වැඩපිළිවෙළවල් මගින් අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් පැහැදිලි හා ස්ථිරසාර ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා.

රටේ අනාගතය හා දරු පරපුර වෙනුවෙන් මේසා විශාල කර්තව්‍යයක් කළ නායකයා ඉදිරියටත් තෝරා පත්කර ගෙන දිනූ නිදහස ශක්තිමත් කර ගැනීම අප කාගේත් යුතුකමයි.

ඒ වගේම එතුමාගේ වැඩ පිළිවෙළ ආරක්ෂා කරමින් අපි දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ආරක්ෂා කර ගත යුතුයි. එබැවින් දිනූ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තව දුරටත් දස වසරක් තිස්සේ එතුමාව නායකත්වයේ තබා ගත යුතුයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා