දෙමළ ශිෂ්‍යයන් ගේ ආරක්ෂකයා II

දුප්පත් දරුවන් ගේ මිතුරා 24

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ළමා කාලයේ කතා

දෙමළ ශිෂ්‍යයන් ගේ ආරක්ෂකයා II

තංගල්ලේ කදුරුපොකුණ හන්දියේ කුඩා දරුවෝ දෙදෙනෙක් හඬමින් සිටියහ. ඔවුන් සමඟ මැදිවියේ පිරිමියෙක් සහ ගැහැනියක් ද වූහ. දරුවන් ඇඳ සිටියේ සරම් ය. අත්වල පොත් සහ ඉරී ගිය කමිස වීය. මැදිවියේ පිරිමියා ඇඳ සිටියේ සරමකි. උඩුකය නිරුවත් ය. ගැහැනිය රෙද්දක් හැඳ හැට්ටය කරේ දමා ගෙන දෑතින් පියයුරු වසාගෙන සිටියා ය.

මාතර පැත්තෙන් ආ මෝටර් රියක් ඔවුන් සිටි තැන නතර විය. රිය තුළින් හඬක් නැගිණ.

‘ඇයි මේ ළමයි අඬන්නේ ?’

මැදිවියේ පිරිමියා සහ ගැහැනිය බියපත් වූහ.

‘හාන්දුරුවනේ’ පිරිමියා ගෙන් බැගෑපත් හඬක් නැගිණ.

‘මම හාමුදුරු කෙනෙක් නෙවෙයි. ඇයි සිවුරු අඳින්නෙ නැති අයට හාමුදුරුවො කියන්නෙ ?’

මේ හඬ රළු නැත. කරුණාවෙන් පිරී තිබිණි. ඔහු හම්බන්තොට රාජ්‍ය සභා මන්ත්‍රී ඩී. ඒ. රාජපක්ෂ මහතා ය.

‘මොකක්ද වුණේ ? ඇයි මේ ළමයි අඬන්නෙ ?’

ඔවුහු අඬන හේතුව කීහ.

‘අපේ ළමයි දෙන්නා ස්කෝලෙ යනවා. ඒ ස්කෝලෙ වැඩි දෙනෙක් සරම් ඇඳලා කමිස ඇඳලා ඉන්නෙ. අපේ ළමයි දෙන්නටත් කමිස අඳින්න ඕන වුණා. අපි අඩු කුලේ නිසා කමිස අඳින්න හොඳ නෑ කියල කිව්වට පුතාලා ඒක ඇහුවෙ නැහැ. ඔන්න හාමු මහත්තයල ගේ කට්ටියට ඇහැ ගැහිලා මුන්ට තඩිබාල කමිස ඉරුවා’

ඩී. ඒ. රාජපක්ෂ මහතා රියෙන් බිමට බැස්සේ ය.

‘ඉතින් මොකද කරන්නෙ ?’

‘මොනවා කරන්නද හාන්දුරුවනේ. අපි මේ ළමයින්ට තවත් ඇඳුම් අඳින්න දෙන්නෙ නැහැ. කිව්ව නාහන එකාලට ඔහොම වෙච්ච එක හොඳයි’

‘මම දැන් සැරයක් කිව්වා මට හාමුදුරුවනේ් කියන්න එපා කියලා. මම අහන්නෙ ඇයි ඔය හාමුලට විරුද්ධව සංවිධානය වෙන්න බැරි ? අපි කවුරුත් බුද්ධාගම්කාරයො. බුද්ධාගමේ කුලභේදයක් නැහැ. කවුරුත් එක සමානයි’

‘ඒ වුණාට අපට බැහැ හාමු මහත්තයලට විරුද්ධව යන්න. එහෙම කළොත් අපට මේ ගම් පළාත් අත්ඇරලා යන්න වේවි. අපි කොහේ කියල යන්න ද ?’

මොවුන්ට බණ කීමෙන් පලක් නැති බව රාජපක්ෂ මහතාට පෙනිණ. ඔහු රියට නැගුණේ ය.

‘පරම්පරා ගණනක් තිස්සෙ මේ මිනිස්සුන් ගෙ හිත්වල තිබෙන්නෙ වහල් නිවට නියාලු සිතිවිලි. ඒ සිතිවිලි වෙනස් කිරීම අමාරුයි. ඉහළ කුලවල හාමුලා හිතන්නෙ ඒ අය ඉහළයි කියලා. බුද්ධාගම ඇදහුවාට ඒ අය දන්නෙ නැහැ කුල භේදයට බුද්ධාගමේ ඉඩක් නැති බව. අයුක්තියට එරෙහිව මේ මිනිසුන් අතක් ඔසවන්නෙ නැහැ’ රියේ යන ගමන් මන්ත්‍රීවරයා කල්පනා කළේ ය.

මැදමුලනට ගිය පසු සිය ඥාති පුත්‍ර ලක්ෂ්මන් රාජපක්ෂ මහතා සමඟ ඔහු මේ ගැන සාකච්ඡා කළේ ය.

‘ගම්වල මිනිසුන් නිවටකමින් මුදා ගැනීමට අප යමක් කළ යුතුයි’ ඩී. ඒ. කීවේ ය.

‘බාප්පා තංගල්ල අවට අඩු කුලේය කියන මිනිසුන් එකතු කරගන්න. මම වලස්මුල්ල පැත්තෙ අය එකතු කර ගන්නම්. ඔක්කොටම උඩුකයට ඇඳුම් අන්දල ගෑනු පිරිමි කවුරුත් ගමේ ඉඳල ටවුමට ගේන්න ඕනෑ’ ලක්ෂ්මන් කීය.

අඩුකුලේ යැයි හැඳින්වෙන ගැමියන් ගෙන් සැදුණු පෙරහරවල් දෙකක් ගම් වල සිට තංගල්ලට සහ වලස්මුල්ලටය පැමිණෙන බව හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා ප්‍රචාරය විය.

ගම්මුලාදෑනිවරු, හාමුලා, ආරච්චිලා කුපිත වූහ.

‘රාජපක්ෂලා කම්මුතු කරනවා’ එක් නීතිඥයෙක් තර්ජනය කළේ ය.

පෙරහරට පහරදීමට ඔවුහු මැර පිරිස් සංවිධානය කළහ.

‘අපේ පෙරහරට ගල් කැටයක් හරි විසි කළොත් උන්ගෙ හතර හන්දි කඩනවා’ ලක්ෂ්මන් ප්‍රසිද්ධියේ කීය.

උඩු කයට හැට්ට කමිස ඇඳගත් අඩු කුලේ යැයි සමහරුන් හඳුන්වන ගැහැනු පිරිමි ඒ පෙරහරේ ගමන් කළහ.

කදුරුපොකුණෙන් ඇරැඹුණු පෙරහරේ මුලින් ම ගමන් කළ ඩී. ඒ. රාජපක්ෂ මහතා විටින් විට පෙරහරේ පසු කෙළවරට ද පැමිණ සතුරන් පිළිබඳව විමසිලිමත් වූයේ් ය.

‘අඩු කුලේ අයට තුවක්කු, කඩු ලබාදීලා තියෙනවා’ ප්‍රචාරය විය. මේ නිසා හාමුලාගේ මැරයෝ පෙරහරට ලං නොවූහ. අඩු කුලේ ජනතාව ගේ බිය දුරු විය.

ගැහැනු මෙතෙක් කරේ දමාගෙන සිටි හැට්ට ඇදගෙන පොළට, රෝහලට, පන්සලට ගියහ. පිරිමි පාරේ ඇවිදින විට ද කමිස ඇන්දහ. එදා තංගල්ල නගරයේ පැවැති රැස්වීම ඇමතූ ඩී. ඒ. මෙසේද කීය.

‘මේ වගේ ම රැස්වීමක් අද වලස්මුල්ලෙත් තියෙනවා. අප අද ක්‍රියාත්මක කළේ කුල භේදයක් නැති සමාජයක් ආරම්භ කිරීමයි. සියලු දෙනා උපතින් සමානයි. ඇතැම් මෝඩයන් කුල, ජාති, උඩරට, පහතරට ආදී වශයෙන් මිනිසුන් බෙදා තිබෙනවා. මේ බෙදීම වැරදියි.

සිංහල, මුස්ලිම්, දෙමළ කියලා ජාති වශයෙන් බෙදුවත් ඔය ඔක්කොම මිනිස්සු. කරා, දුරා, ගොවි, රදා, නැකති ආදී වශයෙන් කුල වශයෙන් බෙදුනත් ඒ ඔක්කොමත් මිනිස්සු. අපි කවුරුත් මිනිස්සු. අන්න එහෙම හිතන්න කවුරුත් පුරුදු වෙන්න ඕනෑ. මීට පස්සෙ මේ පළාතෙ කිසි කෙනෙක් ඇඳුම් ඇඳීමට බිය වෙන්න එපා. උඩුකය නිරුවත්ව ළමයින් පාසලට යවන්න එපා’

ඉන් පසු ඒ ප්‍රදේශයේ අඩු කුලේය කියන අය අනෙක් අය වගේම ඇඳුම් අඳින්න පටන් ගත්හ.

මෙහි ඉතිරි කොටස සඳුදා

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා