නව ජවයකින් රටේ ආර්ථිකය නංවාලිය යුතුයි


 

නව ජවයකින් රටේ ආර්ථිකය නංවාලිය යුතුයි

චිත්‍රාල් ජයවර්ණ - නිදහස් තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති

මහින්ද චින්තන 02 ඉදිරි දැක්ම සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් ශශ්‍රී ලංකාව සංවර්ධනය කරන ආකාරයත්, සංවර්ධිත රටක් භුක්ති විඳින පහසුකම් මෙරට ජනතාවට හිමි නොවීම පිළිබඳත්, එකී අභියෝග ජය ගැනීමෙහි ලා කළ යුතු කාර්යභාරය පිළිබඳ නිදහස් තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති චිත්‍රාල් ජයවර්ණ සමඟ කළ සංවාදයකි මතු දැක්වෙන්නේ.

නිදහසෙන් පසු රටට ජනතාවට වාසිදායක අන්දමේ සමාජ, ආර්ථික ජයග්‍රහණ අප රටට ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි?

ඇත්තට ම අපේ රටට නිදහස ලබා ගැනීමෙන් පසු තිරසාර ආර්ථික සමාජීය ජයග්‍රහණ අත්කර ගැනීමට නොහැකි වුණේ සියලු අංශ ආවරණය වන පරිදි සකස් කළ ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම නිසයි.

වරින් වර ආණ්ඩු වෙනස් වන විට සංවර්ධන ප්‍රතිපත්ති වැඩපිළිවෙළ වෙනස් කරනවා. ආණ්ඩුවේ වෙනසක් අවශ්‍ය නැහැ. එක ම ආණ්ඩුවේ ඇමැතිවරු වෙනස් වුනාමත් ප්‍රතිපත්ති වෙනස් කරනවා. නිලධාරීවාදය ඒ වගේ ම, සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ නිසි පසුවිපරම් කිරීමක් සිදු නොකිරීම දැක්විය හැකි යි.

මේ අඩුපාඩු අවම ජාතික වැඩපිළිවෙළක් අප රටට ඉක්මනින් හදුන්වා දිය යුතුයි නේද?

අනිවාර්යෙන්ම ඔව්...! අපේ රටට ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් ළඟා කරගන්න නම් අපි ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගත යුතුයි. මම දකිනවා දැන් එම අඩුව සපුරා ඇති බව.

කුමක්ද ඒ වැඩපිළිවෙළ? ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

ඒ වැඩපිළිවෙළ තමයි ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා වසර 2005 නොවැම්බර් 17 වෙනිදා පැවැති මේ රටේ පස්වෙනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගන්නා මැතිවරණයට ඉදිරිපත් කළේ.

ඒ “මහින්ද චින්තන වැඩපිළිවෙළයි.” එදා ඉදිරිපත් කළ වැඩපිළිවෙළේ මූලික ආර්ථික ඉලක්ක ගණනාවක් තිබුණ. ඒ අතර, අපේ රටේ ආර්ථිකය වාර්ෂිකව සියයට අටක්, දහයත් අතර මට්ටමකින් වර්ධනය කර ගැනීම සියයට තිහ, විසිපහ මට්ටමේ තිබූ උද්ධමන අනුපාතිකය සියයට පහට අඩු කිරීම, වාර්ෂික අයවැය හිඟය සියයට පහට අඩුකර ගැනීම, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ණය බර සියයට හැත්තෑ පහකට අඩුකර ගැනීම, කර්මාන්තකරුවන්ට ණය සඳහා දෙන පොළිය සියයට දහයට අඩුකරගැනීම, යනාදී ඉලක්ක වුණා.

මේ ඉලක්ක ගත වූ සිවු වසරේ සෑහීමකට පත්විය හැකි ලෙස ඉටු කොට අවසන්. නමුත් අපිට බලාපොරොත්තු වූ සර්ව සම්පූර්ණ ආර්ථික ජයග්‍රහණ ළඟා කර ගැනීමට නොහැකි වුණා. එයට හේතු තිබ්බා. අභියෝග තිබ්බා.

මොනවද ඒ අභියෝග...?

පුරා වසර තිහක් තිස්සේ අපේ රට වෙලා සිටි මහා මිලෙච්ඡ ත්‍රස්තවාදය, ලෝක ආර්ථික අර්බුදය, ලෝක ආහාර අර්බුදය, ගම්වතුර, නියඟ වැනි ස්වභාවික ආපදා, යනාදිය තමයි ඒ අභියෝග.

මේවා ජය ගැනීමට මහින්ද රාජපක්‍ෂ ජනපතිවරයා සමත් වී තිබේ ද?

ඇයි නැත්තේ, පුරා වසර තිහක් මේ රට වෙලාගෙන සිටි කොටි ත්‍රස්තවාදය මුළුමනින් ම විනාශ කිරීමට, පරාජය කිරීමට ජනපතිතුමා සමත් වුණා. කොටි සංවිධානය ලෝකයේ දරුණු ම ත්‍රස්තවාදී සංවිධානය යැයි ලොව බලවත් රටවල් පවා ප්‍රකාශ කළා.

කොටින් පරාජය කිරීමට අප සමත්වීම ලොව බලවත් රටවලට පුදුමයට කරුණක්. අපි දැන් සාමයෙන් පිරි රටක්. දැන් අපට දියුණුවෙන්න හොඳ අවස්ථා තියෙනවා. මේ අප ලැබූ ස්වර්ණමය අවස්ථාවයි.

ලෝක ආහාර අර්බුදයෙන් මිදීමට අපි රටක් ලෙස, “අපි වවමු - රට නඟමු” වැඩපිළිවෙළ 2007 වසරේදීම ආරම්භ කළා. ඉන් අපි සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන තිබෙනවා. ලබන වසර වන විට පිටරටින් ගෙන්වන බොහෝ ආහාර ද්‍රව්‍ය ගෙන්වීම නතර කිරීමටයි එහි බලාපොරොත්තුව.

මහින්ද චින්තන දස අවුරුදු දැක්මට අනුව අප රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකයි. එය රටේ සංවර්ධනයට දායකවන්නේ කෙසේ ද?

ලොව ඕනෑම රටක් ශීඝ්‍ර සංවර්ධනය කරා පිය නඟන්නේ නම් වඩා ඉහළ යටිතල පහසුකම් ජාලයක් සම්පූර්ණ කර තිබීම, ඉහළ කාර්යක්‍ෂමතාවයක් සහ ඵලදායිතාවයක් සහිත මානව සම්පතක් පැවතීම අනිවාර්යයි.

ඒ අනුව, ගත්විට අපේ රටේ මහමාර්ග, විදුලිබල, සංනිවේදන, වරාය සහ ගුවන් සේවා, දුම්රිය සේවා, වැනි ආර්ථික යටිතල පහසුකම්වල මෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස, පානීය ජලය, වැනි මහජන උපයෝගිතා අංශවල දියුණුවක් සිදු කළ යුතුයි. එයයි මහින්ද චින්තන වැඩපිළිවෙළ මඟින් ක්‍රියාත්මක කොට තිබෙන්නේ. ජාත්‍යන්තර මට්ටමේ වරායන් හයක් ඉදි කෙරෙනවා.

හම්බන්තොට, ඔලුවිල්, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය, කොළඹ දකුණ වරාය ගාල්ල, ඒවායි. ඒ වගේම දවසේ පැය විසිහතර ම කිසිදු විසන්ධි කිරීමකින් තොරව විදුලිබලය සැපයීමට උවමනායි.

ඒ අනුව, එය සැපයීමට නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ, කෙරවලපිටිය, බලාගාර ඉදිකළා. අධිවේගී මාර්ග, ගුවන් පාලම්, දැවැන්ත වාරි කර්මාන්ත ඇරඹුවා. මේවා හරහා රටට නව ආයෝජන ගලා එනවා.

 එයින් ජනිත අලුත් කර්මාන්ත කෘෂිකර්මාන්ත සේවා නිසා රැකී රක්‍ෂා අවස්ථා බිහි වෙනවා. ගමට සම්පත් ගලා යනවා. ඒ තුළින් රට සංවර්ධනය සිදුවෙනවා. නමුත් අපි නව ජවයකින් රටේ ආර්ථිකය නංවාලිය යුතුයි.

ඒ සඳහා කළ යුත්තේ කුමක්ද?

මහින්ද චින්තන 02 ඉදිරි දැක්ම ඒ සඳහා මඟ පෙන්වා තිබෙනවා. අපි අලුත් ආර්ථික අභියෝගයන් ජය ගන්නා විකල්ප කරා යොමු විය යුතුයි.

ඒ අනුව නිල් අහස, මහ සයුර, බලශක්තිය, වෙළෙඳ, තොරතුරු තාක්‍ෂණ සහ ඉංගී‍්‍රසි දැනුම යන පංච කේන්ද්‍රස්ථානයක් ලෙස ලංකාව පත් කිරීමට සැළසුම්කොට තිබෙනවා. එය ඉතා කාලෝචිත යෝජනාවලියක්.

මේ යෝජනාවලිය පමණක් රට සංවර්ධනය කිරීමට සෑහේද?

නැහැ...! අපි සියලුදෙනා සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ජාතිකත්වයන් සියලු භේද ඉවත දමා සමගියෙන් අත්වැල් බැඳගත යුතුයි. රට හැර ගොස් සිටින සියලු ශ්‍රී ලාංකිකයෝ මවුබිම ගොඩනැගීමට තමන්ට හැකි පමණින් උදව් කළ යුතුයි.

සංචාරක, තොරතුරු තාක්‍ෂණ අංශවල දියුණුවට දායක විය යුතුයි. ඒ වගේ ම නාස්තිය, දූෂණය, පිටුදැක වඩාත් කාර්යක්‍ෂම ඵලදායි සමාජිය ආර්ථික සංවර්ධනයක් අප ළඟා කරගත යුතුයි. එය සියලු ශශ්‍රී ලාංකිකයින්ගේ ම වගකීමයි. යුතුකමයි. අපි එය නොපිරිහෙලා ඉටු කළ යුතුයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා