එල්ලුම් ගසට පෙර

එල්ලුම් ගසට පෙර

ව්‍යවහාර වර්ෂ 1977න් පසුව ලංකාවේ අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. අද වන විට එය රටට ඔරොත්තු නොදෙන තරමට ව්‍යාප්තව පවත්නා හෙයින් ගරු අධිකරණ ඇමතිතුමා නැවත මරණ දඬුවම බලාත්මක කිරීමට පෙර දැනුම් දීම් කර ඇත.

මරණ දඬුවම බලාත්මක කිරීමට පෙර ඒ මගින් අපරාධ අවම කිරීමට හැකිදැයි විමසීම යහපති. අද ලංකාවේ ප්‍රචලිතව ඇති අපරාධ අතර මිනීමැරුම්, අතුරුදන්වීම් සහ කාමාපරාධ මුල් තැනක් ගනී.

මංකොල්ලකෑම්, සොරකම් දැඩි ලෙස රටට විනකරන අපරාධය. මෙයට අමතරව තවත් අපරාධ කොටසක් ඇත.

රාජ්‍ය දේපළ සොරකම් කිරීම හා නාස්ති කිරීම, අල්ලස් හා රාජ්‍ය ව්‍යාපෘතිවලින් කොමිස් ගැසීම සහ අනුන්ගේ ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම එකී අපරාධයි.

පොදු දේපළවලට හානි කිරීම ආදිය ද අපරාධ ය. එහෙත් රජය හා බහුතරය අපරාධ වශයෙන් සලකරන්නේ මිනීමැරීම් ආදියය. මරණ දඬුවම බලාත්මක කිරීමට වෙර දරන්නේ ඒ අපරාධ අවම කිරීමටය. අනෙක් අපරාධ අපරාධ නමින් නීති පොතේ සඳහන් වී නැත.

අපරාධ

මිනිසුන් මේ අපරාධ කරන්නේ සිතා මතා ය. සැලසුම් සහගතව ය. ඒවාට බලපාන්නේ ඊර්ෂ්‍යාව, ආඝාතය, වෛර බැඳී ම වැනි සිතිවිලි ය. ඒ අනුව මිනිසුන් අපරාධ කරන්නේ සිතෙනි.

ඒ අනුව අපරාධ අවම කිරීමට නම් මිනිසුන්ගේ සිත් සකස් කළ යුතු ය. සිත් එසේ සකස් කිරීමට බණ කීමෙන් නුපුළුවන. මේ රට තරම් බණ කියන වෙනත් රටක් මුළු ලොවම නැතිවා වන්නට පුළුවන. එසේ වුවත් එන්න එන්න ම අපරාධ වැඩි වේ.

මිනිසුන් දඬුවමට බිය බව සබ්බෙ තසන්ති දණ්ඩස්ස යනුවෙන් උගැන්වේ. මිනිසුන් දඬුවමට බිය වුවත් මරණ දඬුවමට බිය නොවේ. එයට හේතු කීපයකි. එකක් කවදා හිටියත් මැරෙන බව දැන තිබීම ය.

දෙවැන්න මරණ දඬුවම දෙන අයුරු කිසි කෙනෙක් දැක නොතිබීම ය. මරණ දඬුවම වැරදිකරුවකුට නියම කොට ඔහු එල්ලා මරණ සැටි දකින්නේ කීප දෙනෙකි. අපරාධකාරයෝ එය නොදකිති.

අසවලා එල්ලා මැරුවේ යැයි පුවත්පතින් බලන මිනිහකුට එල්ලා මැරීම පිළිබඳව බියක් තැති ගැනීමක්, හිතේ සාංකාවක් සිතේ පෙරළීමක් සිදු නොවෙන්නේ ය. මිනිස්සු සියල්ල තේරුම් ගන්නේ ඇසින් දැකීමෙනි.

ඇසින් නුදුටු දෙයක් පිළිඳව මිනිසුන්ට හැඟීම් උපදින්නේ නැත. මිනිසකු මරා වරදකරු වන කෙනෙකුට මරණ දඬුවම දීමෙන් සිදුවන්නේ පලිගැනීමක් විනා රට හැදීමක් නොවේ. අපරාධ අඩු කිරීමක් නොවේ.

රටේ අපරාධ අඩුකළ සමහර විට නැත්තට ම නැති කළ ක්‍රමවේදයන් අප රටෙත් වෙනත් රටවල්වලත් පැවති බව පවතින බව ඉතිහාසයෙන් පෙනේ. බොහෝ විට කිසිම දඬුවමක් නොදී බිය ගැන්වීමෙන් අපරාධ නිවාරණය කළ අවස්ථා කීපයක් ජාතක පොතේ සඳහන් වේ.

මරණ දඬුවම නොදී වෙනත් දඬුවම් මගින් අපරාධ තුරන් කළ අන්දම අපේ ඉතිහාසයේ තිබේ. දැන් අපි ඒ පිළිබඳ උදාහරණ ගෙන බලමු. සිංහල රජවරුන් දවස පැවති දඬුවම් කීපයක් පළමුව දැන ගනිමු.

ශශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය පාලකයකු වූ සර් ජෝන් ඩොයිලි විසින් ලද සිංහලේ ආණ්ඩුක්‍රමය නමැති පොතේ එකල දඬුවම් පැහැදිලි කර ඇත.

රාජද්‍රෝහී වීම, රජය පෙරළීමට කැරලි ගැසීම, කුමන්ත්‍රණය කිරීම සඳහා දේපළ රාජසන්තක කිරීම, සමහරවිට නෑදෑයන්ගේද දේපළ රාජසන්තක කිරීම හා මරණ දඬුවම ඇහැලේපොල ආදීන්ට දුන් දඬුවම් ඒ නමින් හැදින්වේ.

රජ බිසෝවරුන් සමඟ අනියම් සබඳතා පැවැත්වීම එය රාජද්‍රෝහී අපරාධයකි. මරණ දඬුවම දස්කොන් ආදීන්ට ලබාදී ඇත. මිනීමැරුම හෝ හිතාමතා සැලසුම් කර මැරුවේ නම් මරණ දඬුවම ලබාදී ඇත.

දඬුවම්

රජුගේ අනියම් බිරිඳ හා සබඳතා පැවැත්වීම, අභිරමණය කිරීම (මෙකල රජවරුන්ට රන්දෝලි, රිදීදෝලි, යකඩදෝලි යනුවෙන් ප්‍රසිද්ධියේම බිසෝවරු තිදෙනෙක් වූහ.) මෙයින් රිදී දෝළි හෝ යකඩ දෝළි සමඟ අභිරමණයේ යෙදුනහොත් ශාරීරික දඬුවම්, හිසකෙස් බූ ගෑම කස පහර දෙමින් නගරයේ ඇවිද්දවීම, දගගෙයි ලෑම සිදු විය.

අනියම් මිනීමැරුමට වරදකරු මහනුවර වීදි දිගේ කස පහර දෙමින් ඇවිද්දවීම. ඈත ගමක හිර කිරීම වැනි දෑ සිදුව ඇත.කොල්ලකෑමට, කස පහර දීම, දඩ ගැසීම දඟගෙයි ලෑම දඬුවම් වශයෙන් ලබාදී ඇත.

භාණ්ඩාගාරය සතු දේපළ වංචා කිරීම, හොරකම් කිරීම, විහාර ගම්වල දේපළ හොරකම් කිරීම, ගෙවල් බිඳීම, පුද්ගලික අඩන්තේට්ටම් කිරීම කස පහර දෙමින් මහනුවර වීදි දිගේ ඇවිද්දවීම මඟින් දඬුවම් ලබාදී ඇත.

එමෙන්ම හරක් හොරකමට, ගව හිමියාට හොකරම් කළ හරකා ද තවත් හරකෙක් ද දිය යුතු ය. ගවයා නැති දිනවල ගව හිමියාට සිදුවූ පාඩුව ගෙවිය යුතු ය.

ගෙවල් ගිනි තැබීම, ගෙවල්වලට, ගොයම් කොළවලට ගිනි තැබීමේ වරදට වරදකරුට තදින් තැළීම, කස පහර දීම, දඟගෙයි ලෑම සිදු විය.

ආගම කෙළෙසීම, මහනුවර වීදි දිගේ කස පහර දෙමින් ගෙන ගොස් දඟගෙයි ලෑමත්, භික්ෂූන්ට පහරදීම, ඇගිලි කපා දැමීමත් ප්‍රකට ය.

හොර අස්සන් තැබීම, හොර කාසි මුද්‍රණය බරපතළ ශාරීරික දඬුවම් ලබාදුනි.

අරමුදලෙන් සොරකම් කිරීම ගවයින් මැරීම ආදියට අතේ පහළ කොටස කපා දැමීමත්, ප්‍රධානියකුට භික්ෂුවකට පහරදීම, කන්, නාසා කැපීම – ඇඟිලි කැපීමත්, ස්ත්‍රී දූෂණය - වැරැද්ද කළ අවයවයට දඬුවම් පැමිණවීම, කපා දැමීම වැනි දෑ එකල සිදුකර ඇත.

සමහර වැරදිවලට ශාරීරික දඬුවම් දී නීච කුලයට, රොඩී රැහැකට පළවා හැරීම ද එකල සිදුවී ඇත. මේ දඬුවම් දී ඇත්තේ ප්‍රසිද්ධියේ ය. මහජනයා ඉදිරියේ ය. මහජනයා ඉදිරියේ විවෘතව දුන් දඬුවම් නිසා එය දෑසින් දකින මිනිස්සුන්ගේ සිත්වල පෙරළියක් ඇති වේ. ඒ නිසා ඒ දඬුවමට මිනිස්සු බිය වෙති. තමන්ටත් මේ ටික ම නේ ද කියා තිගැස්සෙති. එයින් මිනිස්සු වරදින් මිදෙති.

කුඩා කාමරයක දෙතුන් දෙනෙක් ඉදිරිපිටදී එල්ලා මැරීම නිසා අනිත් මිනිසුන් තුළ එවැනි හැඟීමක් පහළ නොවේ. වැලිකඩ හිරගෙදර දී එල්ලා මරණයට කැප වූ සමහර විත්තිකරුවෝ එල්ලුම් ගහ වෙත ගියේ සිනාසෙමිනි. එහි බියක් නැත. නමුත් ඇතැමෙක් අතිශය බියට පත්ව කෑ මොර දෙමින් මල, මූත්‍රා පිටකරමින් මරණයට මුහුණ දී ඇත.

සිංහල රජ දවස වරදකරුවන් එල්ලා මරා ඇත්තේ ප්‍රසිද්ධියේ ය. උල සිටුවා ඇත්තේ ප්‍රසිද්ධියේ ය. මහජනයාට විවෘත වූ පොදු පිට්ටනිවලය. අපරාධ අඩුවීමට හේතු වූයේ මේ විවෘතභාවයයි. අදටත් මැදපෙරදිග රටවල වරදකරුවන් මහජනයා විසින් ගල් ගසා මරා දමනු ලැබේ. පදමානවක ජාතකයේ රජු හා අගමැතිවරයා මිනිසුන් විසින් ගල් ගසා මරා දමා ඇත.

මනුස්මෘතියේ උගන්වන දඬුවම් මෙසේ ය. යමෙක් කන්‍යාවකගේ අකමැත්තෙන් ඇය දූෂණය කළේ නම් එකෙණෙහි ම ඔහුගේ ලිංගය කැපිය යුතු ය. යම් ස්ත්‍රියක් තමන්ගේ ස්වාමියාගෙන් වෙන්ව පරපුරුෂයන් කරා යන්නේ නම් ඇය බල්ලන් ලවා කැවිය යුතු ය. සොර අඹුව කරා යන පුරුෂයා ගිනියම් කළ යකඩ ඇදක හොවා පිළිස්සීය යුතු ය.

සාමාන්‍ය පුද්ගලයකුට දඬුවම එකක් නම්, එම වරද කළ රජුට දහසක් දඩ ය. ඒ සම්මත නීතියයි.

සදාචාරය

පල (රුපියල්) පහකට වඩා සොරකම් කළොත් සොරා ගේ අත් කපා දැමිය යුතු ය.මේ මනුස්මෘතියේ එන දඬුවම් කීපයකි. මේ දඬුවම් ද දී ඇත්තේ ප්‍රසිද්ධියේ ය. එසේ ප්‍රසිද්ධියේ දඬුවම් දීම නිසා මිනිස්සු සදාචාරවත් වී ඇත.

වරදින් මිදී ඇත.දැන් අපි ජාතක පොත දෙසට හැරෙමු. පන්සිය පනස් ජාතක පොතේ ආදාසමුඛ ජාතකය හෙවත් ගාමිණී චණ්ඩ ජාතකය නමින් ජාතකයකි. එහි ආදාසමුඛ රජු නඩු විසඳා තීන්දු දුන් ආකාරය සඳහන් වේ. නඩු දෙක තුනක තීන්දු සලකා බැලීම උචිත ය.

මහා කණ්හ ජාතකය වෙනත් කතාවක් කියයි. විපස්සි බුදුන්ගේ ශාසනය පිරිහී මුළු රට ම අපරාධ බහුල වෙමින් පවතිනා විට මහළු මිනිහෙක් අශ්වයෙක් තරම් මහා බල්ලෙක් බැඳගෙන වීදියක් පාසා ඇවිද්දේ ය.

මේ බල්ලා තද බිරුම් හඬින් බුරයි. රජ මාලිගාව ඉදිරියේ දී මේ බල්ලා තදින් බිරීම නිසා රජු මේ බල්ලාට උවමනා මොනවාදැයි විමසී ය. මහළු මිනිසා මෙසේ පිළිතුරු දිනි. මේ බල්ලාට කිසිවක් අනවශ්‍ය ය.

මේ බල්ලා පස්පව් කරන පන්සිල් නොරකින සියලු දෙනා ම සපා කයි. සපා කා මරා දමයි. මේ කථාව ඇසූ රජු ද රටවැසියෝ ද බියට පත්වී පන්සිල් රකින්නට පටන් ගත්හ. රටේ අපරාධ නැති විය. මෙසේ ආ මහල්ලා ශක්‍රයා ය. බල්ලා දෙවි කෙනෙකි. දැන් ගෞතම බුද්ධ ශාසනය පිරිහී යන කාලයයි. එහෙත් ශක්‍රයා මෙහි එන්නේ නැත.

ජාතක පොතේ කථා කීපයක ම දෙතිස් වධ ගැන කියවේ. ඒ දෙතිස් වධවලින් එකක් වූ උල සිටුවීම බරපතළ වැරදිකරුවන්ට දී ඇත. “දිවැස් හුල” තැබීම බරපතළ දඬුවමකි. එය දෙන්නේ මිනිසුන්ට පේන්නට ය.

එවැනි දඬුවම් දෙන බව මිනිසුන් දකින විට මිනිස්සු අපරාධවලට නොපෙළඹෙති. එය මිනිස් හදවතට කා වැදීමකි. කාටත් නොපෙනෙන සේ හොර රහසේ ම එල්ලා මැරීම මිනිස් හදවත්වලට කා නොවදින්නේ ය.

ශ්‍රී ලංකාවේ අපරාධ නැති කිරීමට නම් පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවන්ට මනුෂ්‍යත්වයට සැලකීමට උගැන්විය යුතු ය. ඔවුන් අතර මිනිස් ගුණ දහම් වගා කළ යුතු ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා