අපි පොතේ උගත්තු නෙමෙයි


 

අපි පොතේ උගත්තු නෙමෙයි
 

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ
ප්‍රතිබිම්භන මූලික කලා අධ්‍යයන ඒකකයේ අංශ ප්‍රධානී - චන්ද්‍රසිරි බෝගමුව

දශක ගණනාවක් පුරාවට නාට්‍ය කලාකරුවන්ට බුහුමන් ප්‍රණාම දක්වනු පිණිස එළි දැක්වෙන ‘අභිනය’ ග්‍රන්ථය නාට්‍ය කලාව උදෙසාම වෙන් වූ සුවිශේෂී ග්‍රන්ථයකි. දශකයක් තුළ බිහි වූ නිර්මාණකරුවන් අතරින් තෝරාගත් සුවිශේෂී නිර්මාණකරුවන් කිහිප දෙනෙකු හෝ නාට්‍ය කලාව උදෙසා මහඟු මෙහෙවරක් කළ ප්‍රවීණයකු ගේ සේවාව අගයමින් උපහාර වශයෙන් පළ කෙරෙන ‘අභිනය’ - 10 කලාපය මෙවර වෙන්වූයේ 80 දශකයේ තෝරාගත් නාට්‍යකරුවන් කිහිප දෙනෙකු සහ ඔවුන්ගේ විශිෂ්ට නිර්මාණ විශ්ලේෂණය සඳහා ය.

අසූව දශකයේ නාට්‍යකරුවන් හට ප්‍රණාම දක්වමින් නිකුත් කොට ඇති මෙවර ‘අභිනය - 10 කලාපය’ සංස්කරණය කොට ඇත්තේ ජාතික නාට්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයකු සේම කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ප්‍රතිභිම්භන මූලික කලා අධ්‍යයන ඒකකයේ (Image Arts)  අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතා යි.

චන්ද්‍රසිරි බෝගමුව මහතා විසින් සංස්කරණය කරන ලද දෙවැනි ‘අභිනය’ කලාපය මෙය වෙයි. ආදි ආනන්දියකු වන චන්ද්‍රසිරි බෝගමුව මහතා ග්‍රන්ථ කතුවරයකු හැරුණු විට මාධ්‍යවේදියෙකි. වීඩියෝ සංස්කරණය මෙන්ම ග්‍රන්ථ සංස්කරණ ශිල්පියෙකු ද වෙයි.

ඔබ ‘අභිනය’ කලාප දෙකක සංස්කාරකවරයෙක්. ‘අභිනය’ කලාපය උදෙසා නිර්මාණකරුවන් තෝරා ගැනීමේ දී විශේෂිත වූ නිර්ණායකයන් තිබෙනවා ද?

නාට්‍ය අනු මණ්ඩලයේ අපි “අභින” කලාපය මුද්‍රණය කිරීමේ දී හැමදාමත් එක්තරා පියවරක් අනුගමනය කරනවා. ඒ පියවර මෙවරත් අනුගමනය කළා.

ඒ තමයි “අභිනය” කලාපය තේමා දශකයේදී තම ප්‍රථම නාට්‍යය අධ්‍යක්ෂණය කරමින් නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසි නැතිනම් වඩාත්ම නිර්මාණශීලී නාට්‍ය ඉදිරිපත් කරමින් ඉන් අනතුරුව තවදුරටත් නාට්‍ය ක්‍ෂේත්‍රයේ රැදී සිටිමින් රංග කලාවේ විවිධ අංශවලට දායක වෙමින් සිංහල නාට්‍ය කලාවේ වර්ධනයට කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ යන නිර්ණායක යයි.

ඒ පදනමේ ඉඳලා අපි මෙවර අභිනය - 10 කලාපයටත් නාට්‍යකරුවන් දහ දෙනෙකු තෝරා ගත්තා. සෝමලතා සුබසිංහ, ජයලත් මනෝරත්න, සුසිල් ගුණරත්න, ඊ. එම්. ඩී. උපාලි, ජනක් ප්‍රේමලාල්, මංගල සේනානායක, ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, ප්‍රසන්නජිත් අබේසූරිය යන නාට්‍යවේදීන් දස දෙනාගෙන් නාට්‍ය ලෝකය ඒකාලෝක කරන්නට ලැබුණු දායකත්වය සහ ඔවුන්ගේ නිර්මාණ දිවිය විමර්ශනය කරන්නටත් මෙම ප්‍රකාශය වෙන්කළා.

මේ හැමෝම 80 දශකයේදී වඩාත් ම ආකර්ෂණීය සහ ප්‍රශස්තම නාට්‍යය නිර්මාණය කරමින් නාට්‍ය ක්‍ෂේත්‍රයේ රැඳී සිටිමින් නාට්‍ය කලාවේ පෝෂණය දියුණුව උදෙසා විශාල වශයෙන් දායකත්වය දැක් වූ නාට්‍ය්‍ය ශිල්පීන් බව රටම දන්නා කාරණයක්.

නමුත් මේ නාට්‍යකරුවන් අතරේ සිටින සෝමලතා සුබසිංහ නාට්‍යවේදිනිය 80 දශකයට ගැළපෙන්නේ කොහොම ද? ඇය නාට්‍යවේදිනියක් ලෙස දීර්ඝ අත්දැකීම් ලද ජ්‍යෙෂ්ඨ ශිල්පිනියක්. මා නිවැරැදි නම් ඇයගේ නාට්‍ය කලාවට වූ මෙහෙවර අගයමින් අභින කලාපයක්ම වෙන් කළ යුතුව තිබුණා නේද?

ඇය අපට සිටින ජ්‍යෙෂ්ඨතම නාට්‍යවේදිනියක්. ඒ වගේම සිනමා නිළියක්. සෝමලතා සුබසිංහ ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදිනිය, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ, ගුණසේන ගලප්පත්ති වැනි ප්‍රවීණයනගේ නාට්‍යවල රඟපෑවත් ප්‍රසිද්ධ වේදිකාවේ නාට්‍ය අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ 80 දශකය ආරම්භයේදී යි. ඇගේ නාට්‍ය්‍ය කලාව තුළ සුවිශේෂිම දශකය වන්නේ් 80 දශකයයි.

සරච්චන්ද්‍රයන්ගේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයෙන් 1969 දී රංගනයට පිවිසෙන ජයලත් මනෝරත්න නාට්‍ය අධ්‍යක්‍ෂණයට යොමු වෙන්නේ 1980 දී යි. මේ නාට්‍යකරුවන් දස දෙනාගෙම කැපී පෙනෙන නිර්මාණ රාශියක් බිහි වෙන්නේ 80 දශකයේ දී යි.

සෝමලතා සුබසිංහ කියන්නේ අපට සිටින ජ්‍යෙෂ්ඨතම, ප්‍රතිභාන්විත රංගන ශිල්පිනියක්, නාට්‍ය අධ්‍යක්‍ෂවරියක්. නාට්‍ය ගුරුවරියක් බව අප කිසිසේත්ම අමතක කරන්නේ නැහැ. ඇය විශිෂ්ට රංගන ශිල්පිනියක් බවට කිසිම සැකයක් නැහැ.

සංස්කෘතික අමාත්‍යංශය සහ ජාතික නාට්‍ය අනුමණ්ඩලය එක් වී එළිදක්වන මෙම ග්‍රන්ථයේ අරමුණ කුමක් ද?

නාට්‍ය හා රංග කලාව අද වන විට පාසල් මට්ටමින්, එනම් හය වසරෙන් පටන් ගෙන විශ්වවිද්‍යාල ශාස්ත්‍රපති (ර්ඒ) උපාධිය දක්වා උසස් අධ්‍යාපනය දක්වා මට්ටමකට ගෙනැවිත් තිබෙනවා.

එනිසා නාට්‍ය හා රංග කලාව හදාරන ඕනෑම සිසුවකුට මෙම පොත කියවීමෙන් දැනුමක් ලැබීය හැකියි. උසස් අධ්‍යාපනයට නාට්‍ය හා රංග කලාව හදාරන විද්‍යාර්ථයින්ට, ගුරු භවතුන්ට, විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට නාට්‍ය හා රංග කලාව පර්යේෂණ කරන විද්වතුන්ට එක හා සමාන වැදගත්කමක් ඇති කෘතියක් වන බවට කිසිම සැකයක් නැහැ. ඇත්තටම නාට්‍ය හා රංග කලාව විෂයයට ඇල්මක් දක්වන අයට අභිනය කලාප අත්පොතක් විදියට ළඟ තබා

ගත හැකි වටිනා ග්‍රන්ථයක් බව මම පවසන්නේ එහි සංස්කාරවරයා හින්දම නෙමෙයි. මෙම ‘අභිනය - 10’ කලාපයට අන්තර්ගත ලිපි ලියූ ඒ විද්වත් කණ්ඩායම ගැනත් සිහිපත් කළ යුතුයි.

සුගත් වටගෙදර, විජේරත්න පතිරාජ, නිශ්ශංක දිද්දෙනිය, ඩග්ලස් සිරිවර්ධන, සමන් සොයිසා, පූජිත ද මෙල්, පියල් කාරියවසම්, සුනිල් මිහිඳුකුල, මහාචාර්ය සරත් විජේසූරිය, සෙනෙවිරත්න රොද්‍රිගු, නාට්‍යවේදීන් පිළිබඳ ලිපි ලිවීමෙන් දායක වී තිබෙනවා.

මේ නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ දිග හැරුමට අමතරව ම’විසින් ලියන ලද අසූව දශකයේ නාට්‍යකලාව පිළිබඳ විමසුමක් සහ ආචාර්ය සේනානායක්කාර විසින් ලියන ලද ‘වන්නියේ වේදිකාව‘ ගැන මගේ මතකය’ ලිපි දෙකක් මෙවර අභිනය කලාපයට ඇතුළත් වෙනවා.

මෙය ගුරුවරුන්ටත් ඉගෙන ගන්න දරුවන්ටත් තොරතුරු සොයා ගත හැකි කදිම පොතක්. සමකාලීන නාට්‍ය කලාව ගැන පර්යේෂණ කරන විද්වතුන්ට මෙම ග්‍රන්ථය තොරතුරු ගබඩාවක් හා සමානයි. ශාස්ත්‍රීය දැනුම සහිත වටිනා කමක් ඇති පොතක්.

අභිනය - 10 කලාපය ග්‍රන්ථය සංස්කාරක දක්වා ඔබ පැමිණි ගමන ගැන සිහිපත් කළොත් ?

කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ ආනන්දයෙන් ඉගෙනුම හමාර කරලා මම කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ 1976 දීයි. 1981 දී ලලිත කලා ගෞරව උපාධි හිමියෙකු විදියට විශ්ව විද්‍යාලයෙන් පිට වෙලා මම ටී එන් එල් රූපවාහිනි ආයතනයට සම්බන්ධ වුණා. වසර දහයක් පමණ කඩින් කඩ මම එහි වැඩසටහන් අධ්‍යක්‍ෂවරයෙකු, සංස්කරණ ශිල්පියෙකු ලෙස කටයුතු කළා.

සිංහල වේදිකා නාට්‍ය රූපවාහිනී මාධ්‍යයට පරිවර්තනය කරමින් වැඩිම දිගු වේදිකා නාට්‍ය ප්‍රමාණයක් නිර්මාණය කළේ මම යි. මම සංස්කරණය කළ ප්‍රථම සඟරාව වුණේ රාජ්‍ය නාට්‍ය්‍ය විශේෂ උත්සව කලාපය වූ ‘පංච’ සඟරාව යි. ‘රූපවාහිනි විද්‍යාව සහ කලාව‘ සහ ‘සමකාලීන සිංහල වේදිකාව‘ මම ලියූ ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙකක්.

වැඩිපුරම වේදිකා නාට්‍ය්‍ය කලාව ගැන ලියන්න පෙළඹුණේ ඇයි?

මගේ විනෝදාංශය සහ මම හුඟක් පරයේෂණ කළේ නාට්‍ය්‍ය පැත්තෙනුයි. ඒ වගේම මට දීර්ඝ කාලයක් තිස්සේ නාට්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා. එනිසා මම නාට්‍ය හුඟක් බලන්න පුරුදු වුණා.

ලංකාව පුරා යමින් අපි විශාල වශයෙන් නාට්‍ය බලමින් විනිශ්චය මණ්ඩලවල කටයුතු කරන්න ලැබීම නිසාත් නාට්‍ය කෙරෙහි මගේ බැඳීම තවත් වැඩි වුණා. ඒවගේම නාට්‍ය කලාව පිළිබඳ පොතපත ලියැවෙන අවස්ථා දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඒ නිසා ඒ හිඩැස යම් තරමකින් හෝ පිරවීමේ දායකත්වය ට මමත් දායක වුණා වැනි හැඟීමක් අද මට තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරයකු හැටියට ශාස්ත්‍රීය වශයෙන් එවැනි කටයුතුවල නියැලීම එක් අතකින් අපගේ වගකීමක් වෙනවා. අපි පොතේ උගත්තු නෙමෙයි. හුඟ දෙනෙක් ඉන්නේ එහෙම අයනේ. නමුත් අපි න්‍යායාත්මක කරුණු ඉගෙන ගෙන ප්‍රායෝගිකව භාවිතාවට එක් කළ උගත්තුයි.

නාට්‍ය කලාවේ හෙට දවස ගැන සුබ පෙරනිමිති දකින්නට තිබෙනවාද?

තිස් වසරක යුද්ධය නිමාවීමත් එක්ක දැන් දැන් ප්‍රේක්‍ෂකාගාර පිරි ඉතිරී යෑමක් අපි දකිනවා. තරුණ පිරිස් වැඩි වැඩියෙන් නාට්‍ය පැත්තට උනන්දු වන බවක් පෙනෙනවා. විශේෂයෙන්ම ප්‍රවීණ නාට්‍ය නිර්මාණකරුවන් නාට්‍ය ක්‍ෂේත්‍රයෙන් ඉවත් වන කොට නවක දක්‍ෂ තරුණ පිරිස් නාට්‍ය නිර්මාණයට ඉදිරිපත් වන බවක් පෙනෙනවා. ඇත්තටම මේ තරුණයෝ දක්‍ෂයි.

 ඒ බව අපි පසුගිය කාලේ පුරාවට දැක්කා. නාට්‍ය ක්‍ෂේත්‍රය තුළ මෙවැනි දක්‍ෂතා පිරි පිරිසක් බිහි වීමට බල පෑ ප්‍රධාන සාධකයක් හැටියට මම හිතන්නේ විධිමත් නාට්‍ය පාඨමාලා දැනුම.

ඉස්සර නාට්‍ය හැදුවේ ආසාවට ඉවෙන් වගෙයි. නමුත් දැන් එහෙම නෙමෙයි. ක්‍රමානුකූලව විදිමත්ව නාට්‍ය උගත් දරු පරපුරක් මේ ක්‍ෂේත්‍රයේ සිටීම නිසා එහි ප්‍රතිඵලයක් විදියට පෙරට වඩා නිර්මාණාත්මක පැත්තෙන් නාට්‍ය කලාවේ ප්‍රබෝධයක් දකින්න පුළුවන් කිව්වොත් නිවැරැදියි. නාට්‍ය කලාව කියන්නේ තරුණ ජවයෙන් ඉදිරියට යන කලාවක්.

යෞවනත්වයේ ජවයත් එක්ක තමයි වේදිකා නාට්‍ය කලාවේ ප්‍රබෝධය පවතින්නේ. ඒ නිසා නාට්‍ය කලාවේ හෙට දවස අඳුරු නැහැ.

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ප්‍රතිබිම්භන මූලික කලා අධ්‍යයන අංශයේ වර්තමාන අංශාධිපති ඔබයි. මේ නව තනතුර සමඟ ඔබගේ මතු බලාපොරොත්තු මොනවාද?

මෙම අංශය මඟින් දැනට ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය සහ විශේෂවේදී ලෙස උපාධි පාඨමාලා දෙකක් උගන්වනවා. ඒවගේම නාට්‍ය කලාව පැත්තෙන් මම නිතරම විද්‍යාර්ථයින් ඉදිරියට ගෙනයන්නට වැඩපිළිවෙළවල් සකස් කර තිබෙනවා.

මේ මාසේ 15 වැනිදා ඉඳලා 19 වැනිදා දක්වා නාට්‍ය උළෙලක් විශ්වවිද්‍යාල ධර්මාලෝක ශාලාවේදී පැවැත්වෙනවා. ඒ වගේම ලබන වර්ෂයේ සිට සිනමාව සහ රූපවාහිනි පිළිබඳව ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවක් (BA in film and Televition) හඳුන්වා දෙන්නටත් සැලසුම් සකස් කර තිබෙනවා.

මේ කටයුත්ත ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ගේ මූලිකත්වය ඇතිව සකස් කළේ. අධ්‍යයන අංශය හරහා කරන්නට බලාපොරොත්තු වන අලුත්ම වැඩපිළිවෙළ එයයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා