බේබදු සැමියා මරා සැනසීම සෙවූ රාසම්මා


 

බේබදු සැමියා මරා සැනසීම සෙවූ රාසම්ම

දුරුත්තේ සීතලෙන් මිදෙන්නට තණ පත් මත සීතල පිනිබිඳු ගුලි ගැහුණා. ඒත් හීන් හිරු රැස් කෙඳි බිමට පතිත වන්නට ගතවුණේ නිමේෂයකි. ක්‍ෂිතිජ ඉම සොයා වෙහෙසෙන රළ පේළි කිසිම විඩාවක් නැති සෙයක් මවා පාමින් ඉහළට එසවුණා.

කරදිය සුළගේ එතුණු මිනිසුන් දවසේ මෙහෙවර පිණිස පියවර නැඟුවා. සියලු අභියෝග හමුවේ නොසැලෙන ගාලු කොටුව, සිදුවන සියලු විපර්යාස දෙස නෙත් නොහෙළා බලා සිටියා. කාෂ්ටක අව්ව දරාගත නොහැකිව හෙබ්ත්වුණු මිනිසුන්...ගැහැනුන් මහමඟ එහාමෙහා යන හැටි.

මේ සියලු දසුන් අතරින් අපි ගාල්ල බන්ධනාගාර භූ®මියට ප්‍රවේශ වුණා. ජීවිතය වරදවාගත් ගැහැනුන් සහ මිනිසුන් කොටු පවුර තුළ සිර වෙලා. විවිධ ගැටලු නිසා හෙම්බත් වුණු, විවිධාකාරයෙන් පදම් වුණු මිනිසුන්ගේ ජීවිත අතර ගෙවුණු හෝරා කිහිපයක මතකය අතරින් රාසම්මාගේ රුව මැවී පෙනුණා.

ඇගේ ඇඟ හැම තැනම සීරීම්, තුවාල, කැලැල්වල ප්‍රමාණය මෙපමණකැයි මට සිතාගත නොහැකි වුණා. බෙල්ල, අත් සහ පාදවල සෑම තැනකම තිබුණේ කැපුම් තුවාල ඒවාට මැහුම් දමලා, තවමත් මැකී නොගිය කැලැල්.

බොකුටු කොණ්ඩය පිළිවෙළකට පීරලා. බුලත් විටකින් සප්පායම් වූ මැයගේ දෙතොල්, බුලත් කහටින් නැහැවිලා. හෙමින් සීරුවේ පියවර තබමින් ගමන් ගන්නා ඇය, තමා අතීතයේ කළ කී දෑ අතර නිමේෂයක් රැඳී සිටියා.

සිදු වූ සියල්ල සිහිනයක් නෙමෙයි. මළ හිරු බැස යන ගොම්මන් යාමයේ ඇගේ මතකය තුළ නිදන්ගත වු ඒ කතාව සැබෑවක්. එහෙත් ඒ සත්‍ය කතාව තත්ත්පර කිහිපයක් තුළ දුටු සිිහිනයක් වගේ යැයි මට හිතුණා.

නැඟෙන ගිනි දලු

රාසම්මගේ මුහුණේ රැඳී තිබුණේ මද සිනහවක්. ඒත් ඇය ජීවිතය එපා යැයි සිතෙන තරමේ පීඩාවකින් හෝ තැවි තැවී ජීවත් වන බවක් නම් පේන්න තිබුණේ් නෑ. කලකිරුණු දිවියක් තමන්ට උරුම වෙලා තිබුණේ අද නෙමෙයි.

මීට ටික කාලයකට පෙර කියලයි ඇය කිව්වේ. හිර ගෙදරට ආවේ මගේ කරුමයක් නිසා කියල නම් ඇය කොයිම මොහොතකවත් පැවසුවේ නෑ. හැම දෙයක්ම සිදුවෙලා අවසන්. ඒ ඇගේ අවංක සිතින් පවසන වදනක්.

“මට දැන් වයස අවුරුදු 39 ක්. ගම මාතර. මට දරුවො හත් දෙනෙක් ඉන්නවා. පුතාලා පස්දෙනයි දූලා දෙන්නයි. මගේ එක දරුවෙක් විවාහකයි. ඉතිරි හයදෙනාම තවම ඉගෙන ගන්නවා.

මගේ ජීවිතයේ මේ කෙටි කාලය තුළ මං හොඳටම දුක් විඳලා ඉන්නේ. මට දැන් දුක කියන දේ හොඳට හුරු පුරුදුයි. කොයිම වෙලාවකවත් මං ජීවිතය ගැන කම්පා වෙන්නේ නෑ. හැමදේම වෙන්නේ අපේ හොඳට කියලයි මං හිතන්නේ. මට සිද්ධ වුණ කිසිම දෙයක් ගැන දුකක් නෑ.

මිනිසුන්ගේ ජීවිත විවිධාකරයි. ඒ අය මුහුණ දෙන අත්දැකීම් විවිධයි. දුක සතුට විඳීන විඳවන ආකාරය විවිධයි. රාසම්මත් එහෙම තමයි. තවමත් අවසන්ව නැති වෛරයක් හිත තුළ පැසව පැසවා තිබෙනවා. බුර බුරා නැඟෙන ගිනි දලු වගේ ඇගේ හිත ද්වේශයෙන් පිරිලා. ඒ තමා බහ තෝරන වයසේ ඉඳන් හඳුණාගෙන සිටි සෙල්ලසාමි සම්බන්ධයෙනුයි.

‘’රාසම්මා, බන්ධනාගාරෙට එන්න හේතුව මොකක්ද ?

“මිනී මැරුම් චෝදනාවක්”

“ඔයා එහෙම දේකට සම්බන්ධ වුණාද ? ”

“ ජීවිතේ දුකමයි හැමදාම තිබුණෙ. මට විතරක් නෙමෙයි, මගේ දරුවන්ටත් මේ මිනිහා හරියට හිරිහැර කළා. හැම විනාශයකටම හේතුව මේ මිනිහගේ නරක හැසිරීම.”

දමිළ වුවත් ඇය සිංහල බස හොඳින් හසුරවයි. තමාගේ හිතට එන ඕනෑම ආවේගයක් සිතේ දරාගෙන නොසිට පවසයි. එහෙත් වෙනත් කාන්තාවන් මෙන් දෙකොපුල් තලා දෝරේ ගලා යන පරිදි කඳුළු නොසලයි. දැඩි සිතක් ඇත්තියක සේ ඇය හැසිරෙයි. වරෙක කල්පනා කරමින් සිටී. හිතෙන විට සිය කතාව කියාගෙන, කියාගෙන යයි.

“ම්... මගේ කතාව කියන්නම් . ම්හ්...ඒත්... කමක් නෑ මං කියන්නම්. මගේ කතාව දැනගන්නට පස්සේ මං විඳවපු දුක කොයි තරම් ද කියලා ඔයාලට හිතෙයි. ඔයාලට දැනෙයි. මිනිසුන්ගේ ජීවිතවලට ඕනෑවට වැඩිය කරදර කළහම මේ වගේ ප්‍රශ්න සිද්ධ වෙනවා. අවසානයේ ප්‍රශ්න දාන මිනිහා අපව අතෑරල යනවා. ඒ යන්නෙත් ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්න ඉතිරි කරලයි.

මගේ මනුස්සයා මට හරියට වද දුන්නා. දැන් එයා මේ ලෝකේ නෑ.

“එයාට මොකද වුණේ ?”

“එයාව මැරුවා”

“කවුද මැරුවේ ඔයා දන්නවද ඒ අයව?”

“ මගේ් මනුස්සයව මැරුවේ මං”

“මට කියන්න ඔයාගේ කතාව මුල ඉඳලා” තවමත් කතාවට නොපිවිසුණු රාසම්මා දෙස බලමින් මං පැවසුවේ ඇය තෙපළන මේ කතාවේ අග මුල මට තවමත් ලිහාගත නොහැකි වූ නිසයි. එහෙත් ඇය තවමත් තමාගේ කතාවට නිවැරැදිව ප්‍රවිශ්ට වී නෑ.

මේ කතාව කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා මට නම් තේරෙන්නෙ නෑ. ඒත් මං මට තේරෙන විදිහට කතාව පටන්් ගන්නම්.

අපේ ආදර ලෝකය

ජීවිතය කියන්නේ වරෙක සුන්දර වූවක්. ඒත් ප්‍රශ්න එන්න එන්න ජීවිතය ගැන තේරුම් ගන්න ලැබෙන අවස්ථා වැඩියි. ප්‍රශ්න එන තරමට තමයි ජීවිතය ශක්තිමත් වෙන්නේ. සුන්දර වෙන්නේ. අපේ ජීවිත සුන්දර කර ගන්නත් අසුන්දර වෙන්නත් බලපාන්නේ අපි ක්‍රියා කරන ආකාරය අනුවයි.

“අපි පොඩි කාලේ හිටියේ වත්තක. ඒ කිට්ටුවම වත්තක තමයි සෙල්ලසාමි හිටියෙ. කොහොම කොහොම හරි අපේ පවුල් දෙක අතරේ හිතවත්කමක් ඇති වුණා. අපි දෙන්නත් හොඳ යාළුවෝ වුණා. පුංචිම පුංචි කාලේ ඉඳන්ම මේ මිත්‍රත්වය හොඳින් තිබුණා.

සෙල්ලසාමිත්, මාත් වැඩිදුර ඉගෙන ගත්තේ නෑ. එයා පහට යනකං ගියා. මං ඒ තරම්වත් දුර අධ්‍යාපනයක් ලැබුවේ නෑ. ඒකට හේතු වුණේ අපේ ගෙවල් දෙකම දුප්පත් වුණ නිසයි.

අපිට ඉගෙන ගන්න පුළුවන් වුණත්, මවුපියන්ගේ ආර්ථික අඟ හිඟ කම් නිසා අපට ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවුණා. ඊට පස්සේ අපි දෙන්නම වතුවල වැඩ කළා.

දෙන්නම උදේ පාන්දරින් වතුවල කුලී වැඩ කරන්න ගියා. ඔය අතරේදී අපි නිතරම මුණ ගැසුණා. ඒක අවසානේ පේ‍්‍රම සම්බන්ධයක් දක්වා දුරදිග ගියා. අපි නිතර නිතර මුණ ගැහිලා පෙම්බස් දෙඩුවා.

අපටත් නොදැනීම අපේ ආදර ලෝකය ගලාගෙන ගියා. ඒ කාලේ මට මගේ ජීවිතය කෙතරම් සුන්දරට දැනුනද ? ඒ නැවුම් ආදරය ? මට සෙල්ලව දකින්නේ නැතිවම ඉන්න බැරි වුණා.

මට එයාගෙ හඬ අහන්නේ නැතිව ඉන්න බෑ. අන්තිමට අපි දෙන්නට දෙන්නා දුරස් වෙලා ටික වෙලාවක්වත් ඉන්න බැරි මට්ටමට ආවා. අපි විවාහ වුණා. එතකොට එයාට අවුරුදු 16 යි. මට අවුරුද් 15 යි”

“ඒ වගේ ආදරයක් ඇතිව විවාහ වුණ ඔයාලා දෙන්නා අතර කවදාවත් ප්‍රශ්න ඇතිවුණේ නැද්ද ?”

නැතිවම නෙමෙයි. පෙම්වතුන් වෙලා හිටිය කාලෙදීත් අපි රණ්ඩු දබර කර ගත්තා. එයා පොඩ්ඩ ඇත්නම් මාව සැක කළා. මං කියන කිසිම දෙයක් අහන්නේ නෑ. මට බැණලා එයා සතුටු වුණා. මට ගැහුවා.

මං ඒ හැම දෙයක්ම ඉවසුවා. හැමදාම වත්තේ වැඩ ඉවර වෙලා කළේ හොයපු මුදල් අරගෙන තැබෑරුම් ගානේ ගිය එකයි. දරුවො අපට කොච්චර ඉන්නවද ? අපි හැමොම කාලා, බීලා ජීවත් වෙන්න ඕනෑ කියලා එයා හිතුවේ නෑ.

මන් ගැන විතරමයි හිතුවෙ. බීලා ඇවිත් හැමදාම රණ්ඩු කළා. දරුවො අපේ රණ්ඩු බල බලා ඉඳලා අඬලා නිදා ගත්තා. ඒ අයට හරියට ඉගැන්නුවේ නෑ. කන්න නොදෙන මිනිහා උගන්නයිද ? කවදාවක්වත් ඒ ගැන බලාපොරොත්තු තියාගන්න බැහැනෙ. මං වත්තේ වැඩ කරලා හොයන මුදලෙන් අපි කට්ටිය නොමැරී ජීවිත බේරා ගත්තා.”

ලේ ගඟක් මැද

ඒ විතරක් නෙමෙයි. මේ මිනිහා රණ්ඩු වෙන්නේ අවුරුදු 18 ක් වයස මගේ පුතාව මට ජෝඩු කරලයි. මට පුතාව සම්බන්ධ කරලා බනිනවා. පුතාට මාව සම්බන්ධ කරලා බනිනවා. අවසානේදී මොකද වුණේ ? එයා මැරුණා මං හිරිගෙට ආවා. දරුවො ටික අම්මයි තාත්තයි නැතිව ගෙදර තනිවෙලා ඉන්නවා.

“ගෙදර ප්‍රශ්න තිබුණා. රණ්ඩු වුණා. ඒත් සෙල්ලව මරන්න තරම් දරුණු ප්‍රශ්නයක් වුණාද ?”

“මං ඒ කතාවත් කියන්නම්. එක දවසක් එයා හොඳටම බීලා ආවා. ඇවිදින් මාත් එක්ක රණ්ඩු වුණා. එක පාරක් එයා කේන්ති ගිහින් ඇවිත් මගේ බෙල්ල මිරිකුවා. ලොකු පුතා විගහට පැනලා මාව බේර ගත්තා. තාත්තා කවදාහරි අම්මව මරනවා. අම්මා පරිස්සම් වෙන්න කියලා එයා මට නිතරම කියනවා. එදත් ඒ දේ කිව්වා.

මෙයා වත්තේ ඉඳන් ආවේ බීලා. ගෙදර එනකොට තව කසිප්පු අරන් ඇවිත් තිබුණා. මගේ බෙල්ල මිරිකුවට පස්සේ එයා කාමරේට වැදිලා බිව්වා. බීලා ආයෙත් බැණ බැණ ආවා. මං කුස්සියේ වැඩ කර කරා හිටියා.

සෙල්ලා දුවගෙන ඇවිත් දුවව බදාගෙන අතවර කළා. මම මේ දේ බලාගෙන ඉන්න බැරිම තැන සෙල්ලට ගැහුවා. එයා මාව එළියට තල්ලු කරලා දැම්මා. මට ගෙට එන්න එපා කියලා තර්ජනය කළා.

ඊට පස්සේ එයා ගෙයි තිබුණ පුටු ටික අරගෙන ගින්දර දැම්මා. උඹව පුච්චන්නෙත් මේ විදිහට තමා බලාගනිං කියලා කිව්වා. ඒ වැඩ ටික කරලා වෙරි මරගාතේම ගිහිං නිදාගත්තා.

මමත් හොඳටම ඉවසීමේ සීමාව ඉක්මවලා හිටියේ. හැමදාම මේ දුක විඳවන්න බෑ කියලා හිතුන මං පිළිකන්නේ තිබුණ උදලු කෙටිය අරගෙන ගිහින් එයා නිදි පැදුරේ හිටිද්දීම තුන් සැරයක් කෙටුවා. එයා ලේ ගඟක් මැද මැරිලා හිටියා.”

රාසම්මා මේ සිද්ධියෙන් කම්පිත වුත් ඇය ඒ බව අපට හැගෙව්වේ නෑ. ඇය කියන්නේ තවදුරටත් දුක් වේදනා විඳවන්න බැරි කේන්තියට තමාගේ සැමියව මරලා දැම්මා කියලයි.

ඊට පස්සේ මං ලොකු පුතාට අඬගහලා පොලිසි යන බව කිව්වා. මහ රෑම ළමයි දෙන්නෙක් එක්ක මං පොලිසි ගියා. සිද්ධිය කිව්වා පස්සේ මට මේ තැන හිමි වුණා.

“සෙල්ලා මීට පෙරත් දුවට කරදර කරලා තියෙනවද ?”

“ඔය පළවෙනි අවස්ථාව නෙමෙයි.එයා මං නැති දවස්වලට ඔය වගේ වැඩවලට යොමුවෙනවා. එයා මැරෙන්න ටික දවසකට කලිං මං හිටියෙ කරාපිටිය රෝහලේ. ඒ හිටිද්දීත් මේ මිනිහා එක රෑක දුවට අතවර කරන්න හදලා. එයා කෑ ගහලා. අනෙක් දරුවො ඇහැරිලා. ඊට පස්සේ කට්ටියම වත්තේ බංගලාවට ගිහිං නිදාගෙන.

මං කළ දේ ගැන පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නෑ. මට දුක එයා ගැන නෙමෙයි. එයා නැතිවෙලත් මගේ දරුවො දුකෙන් ජීවත්වෙන එක ගැනයි.”

ඇය උද්වේගකර හඬකින් තෙපලයි. ඒ සියලු වදන් කොටු පවුරේ වැදී දෝංකාර දෙනු මට ඇසුණා.

මෙහි සියලු නම් ගම් මනඞකල්පිත යි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් වී.ආර්.සිල්වා මහතා,ගාල්ල බන්ධනාගාර අධිකාරි ගාමිණී විජේසිංහ මහතා ඇතුළු ගාල්ල බන්ධනාගාර සුබසාධන අංශයේ සියලු නිලධාරීන්ට විශේෂ ස්තූ®තිය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා