15 කණ්ඩායම නව ජයවකින් පෙරට

15 කණ්ඩායම නව ජයවකින් පෙරට

G  - 15 හෙවත් පහළොස් දෙනාගේ කණ්ඩායමේ 14 වන රැස්වීම ඉරානයේ ටෙහෙරාන නුවරදී පැවැත් විණි. G - 15 යනුවෙන් හැඳින්වෙන්නේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් ලෙස පිළිගැනෙන ආසියා - අප්‍රිකා හා ලතින් අමෙරිකා රටවල් සමූහයකි.

නමින් G - 15 වුණද රටවල් 18ක් එය නියෝජනය කරයි. ඒ ඇල්ජීරියාව, ආජන්ටිනාව, බ්‍රසීලය, චිලීය, ඊජිප්තුව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ජැමෙයිකාව, කෙන්යාව, නයිජීරියාව, මැලේසියාව, මෙක්සිකෝ, පේරු, සෙනෙගාලය, ශ්‍රී ලංකාව, වෙනිසියුලාව සහ සිම්බාබ්වේ ය.

ටෙහෙරාන සමුළුවත් සමඟ G- 15 සභාපතිත්වය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටය. 2006 පැවැති හවානා සමුළුවේදී එම සභාපතිත්වය ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදින්ජාට් මහතාට පැවැරුණ අතර ඔහුගෙන් එම සභාපතිත්වය භාරගත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාය.

ඔහු එම සභාපතිත්වයට පත්වීම මූලික වශයෙන් වැදගත් වන කාරණා කිහිපයකි. සාර්ක් සභාපතිත්වය දරමින් කලාපයට ලබාදුන් නායකත්වය එකකි. ත්‍රස්තවාදය පරාජය කරමින් ලොවටම ආදර්ශයක් ලබාදුන් රාජ්‍ය නායකයා ද ඔහු ය.

මේ ජයග්‍රහණයත් සමඟ ලොව පිළිගත් මුල්පෙළේ ජනමාධ්‍ය පවා එය වාර්තා කළේ කාට හෝ ත්‍රස්තවාදය පරාජය කිරීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාව එහි නායකයා දෙස හැරී බලන්නැයි කියමිනි.

යුද ජයග්‍රහණයෙන් පසු දේශය ගොඩනැඟීමේ කාර්යය සඳහා ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නිවැරදිව නායකත්වය දෙමින් සිටී. G - 15 විදේශ අමාත්‍යවරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සභාපතිත්වය පිළිබඳ ඉහළින් හා අපේක්ෂා සහගතව අදහස් දක්වා තිබුණේ මේ පසුබිම තුළය.

G - 15 සමුළුව ටෙහෙරානයේදී සාර්ථක අන්දමින් පවත්වන්නට ලැබීම ඉරානය ලැබූ විශාල ජයක් ලෙසද සැළකිය හැකිය. ඒ, ඉරානය හුදෙකලා කිරීම සඳහා එක්සත් ජනපදය හා බටහිර බලවතුන් දරන ප්‍රයත්නය ඉන් අභියෝගයට ලක්වූ බැවිනි.

ඉරානය තනි කිරීම සඳහා තමන් ක්‍රියානොකරන බව ටෙහෙරාන සමුළුවට සහභාගිවන රටවල් පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇත. මේ පිළිබඳ ඉරානයේ මතය වී ඇත්තේ අධිපතිවාදී දේශපාලන න්‍යායපත්‍රයක් ඔස්සේ ගොඩනැගූ ඒක ධ්‍රැවීය ලෝක රටාව දැන් බිඳ වැටෙමින් ඇති බව සහ මානුෂවාදී තුලනාත්මක ලෝක රටාවක් බිහිවන ලකුණු පළ වෙමින් ඇති බවයි.

මේ සමඟම G - 15 වැනි එකතැන් තව තවත් පුළුල් විය යුතු බවද ඉරානය පෙන්වා දී තිබේ. ගෝලීය අර්බුද ආමන්ත්‍රණය කළ හැකි අන්දමේ තීරණ ගැනීමේ යන්ත්‍රණයක් එය වැනි සංවිධාන විසින් ගොඩනඟා ගත යුතුය.

වත්මන් අධිපතිවාදී ලෝක රටාවට දැනටමත් අභියෝග කරමින් ඇති ඉදිරියේදී වඩා සංවිධානාත්මක ලෙස නැඟී සිටිය හැකි රටවල් කිහිපයක්ම G - 15 නියෝජනය කරයි.

ඒ අතර ඉරානය, බ්‍රසීලය, වෙනිසියුලාව හා ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවද කැපී පෙනේ. සාමාජික රටවල් අතර ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීම, සෙසු ජාත්‍යන්තර හා කලාපීය හවුල් සමඟ සබඳතා වර්ධනය කරගැනීම ආදී මූලික අභිප්‍රායන්ගෙන් ඔබ්බට වත්මන් ලෝක රටාවට අභියෝග කරන්නා වූ මෙන්ම විකල්ප ලෝක රටාවක් බිහිකරන්නා වූ මාවතකට G - 15 වැනි කණ්ඩායම් අවතීරණ විය යුතු වෙයි.

රටක් වශයෙන් මුහුණ දෙන අභියෝග ජය ගැනීම, කලාපයක් හෝ සමූහයක් ලෙස මුහුණදෙන අභියෝග ජය ගැනීම සහ ඉන් එහාට යමින් ජාත්‍යන්තර දේශපාලනය තුළ වඩාත් දැනෙන මැදිහත්වීමක් කිරීමට අවශ්‍ය හරවත් අදහස් හා යෝජනා මෙන්ම වැඩපිළිවෙල ද ටෙහෙරාන සමුළුවට ඉදිරිපත්ව ඇත. එය ප්‍රායෝගික ජයග්‍රහණයක් බවට පෙරළා ගත හැක්කේ ඒවා ක්‍රියාත්මක කිරීම මඟිනි. G - 15 ට එය කළ හැකිය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා