පෞද්ගලිකත්වය Vs ෆේස් බුක්

පෞද්ගලිකත්වය Vs ෆේස් බුක්

හඳුන්වා දී වැඩි කලක් නැතත් “ෆේස් බුක්”(Face Book) වෙබ් අඩවිය ලොව පුරා බෙහෙවින් ජනපි‍්‍රයයි. මේ වන විට එහි සාමාජිකත්වය මිලියන 400 ඉක්මවා ඇතැයි සඳහන් වීමෙන් ම මෙහි ව්‍යාප්තිය තේරුම් ගත හැකියි.

ශ්‍රී ලංකාවේ ද අන්තර් ජාලයට පිවිසෙන්නන් අතර එය ජනපි‍්‍රය වෙබ් අඩවියක්. මෙහි ජනපි‍්‍රයත්වය එසේ වී මුත් තවත් බොහෝ දෙනෙක් ඊට පිවිසීමට කැමැත්තක් දක්වන්නේ නෑ. හේතුව ෆේස් බුක් මඟින් පුද්ගලිකත්වයට ඇතිවන බලපෑම්.

විශේෂයෙන් ඇතැම් ජනපි‍්‍රය පුද්ගලයන් නමින් ෆේස් බුක් ගිණුම් ගණනාවක් අයථා අන්දමින් පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වී තිබීමයි. ෆේස් බුක් වැරැදි භාවිතයන් නිසා ජීවිත අහිමිවීම්, පවුල් සබඳතා දෙදරා ගිය අවස්ථා පවා ඇතැම් විට තොරතුරු පළවුණා. මේ හේතුන් ෆේස් බුක්හි සාමාජිකයන් අතර මේ අවධානයට ලක්වනු දැකිය හැකියි. නව තාක්‍ෂණය අයථා අන්දමින් භාවිතයට ගන්නන් පිළිබඳ නීති අංශවල විමසිල්ල යොමු වී තිබෙනවා.

සමාජමය කාර්යයක් ලෙස පවත්වා ගෙන යන තම වෙබ් අඩවිය පිළිබඳ විවිධ චෝදනා මතුවීමත් සමඟ එහි කළමණාකාරිත්වය ෆේස් බුක් සාමාජිකයන් අතර නව ආරක්‍ෂක උපක්‍රම ගණනාවක් හඳුන්වා දීමට පියවර ගන්නේ ඉකුත් සතියේ දී. කැලිෆෝනියාවේ පිහිටි ෆේස් බුක් මූලස්ථානයට රැස් වු ඔවුන් තමන් විසින් ගන්නා ලද ඇතැම් තීරණ ගැන මාධ්‍යයට කරුණු දැක්වූවා.

මෙම නව ආරක්‍ෂණ පියවරයන්ට අනුව ඔබ සාමාන්‍යයෙන් ෆේස් බුක් වෙත පිවිසීම සදහා භාවිත කරන ක්‍රමය ඔබේ පරිගණකය, ජංගම දුරකථනය ආදී වශයෙන් ලැයිස්තු ගත කෙරෙනවා. එම පිවිසීම් ක්‍රම වලින් තොරව කිසිවකු හෝ ඊට පිවිසීම පාලනය කරගත හැකියි.

ඔබ තෝරා ඇති උපකරණයකින් පිට කවුරුන් හෝ ෆේස් බුක් ගිණුමට පිවිසීමට උත්සාහ දැරීමේ දී ඒ අයගෙන් නිසි පිවිසුම් ක්‍රමය පිළිබඳ ප්‍රශ්න කෙරෙනවා. ෆේස් බුක්හි මෘදුකාංග ඉංජිනේරු “ලෙව් පොපොව් පැහැදිලි කරන අන්දමට . එවැනි අයථා ප්‍රයත්නයක් දැනෙන අවස්ථාවක විද්‍යුත් තැපැල් පණිවිඩයක් මඟින් ඔබ වෙත දැන්වීම මෙහිදී සිදුවෙනවා. එමඟින් ඔබ භාවිත කරන අවසර පදය (Pass Word) සහ පිවිසුම් ක්‍රමය වෙනස් කිරීමට ඔබට හැකිවන නිසා ඔබේ ගිණුමේ ආරක්‍ෂාව තහවුරු කළ හැකියි.

අයථා පිවිසීමි වැළැක්වීම සඳහා අනුගමනය කර ඇති නව ආරක්‍ෂණ පියවර අතර උපන් දිනය විමසීම වැනි කාරණා මඟින් අනන්‍යතාව තහවුරු කර ගැනීමත් ඇතුළත්.

කෙසේ නමුත්, ෆේස් බුක් මඟින් හඳුන්වා දී ඇති මෙම නව ආරක්‍ෂණ වැඩ පිළිවෙල පිළිබඳත් පෞද්ගලිකත්වය හා පාරිභෝගික අයිතීන් සඳහාත් පෙනී සිටින අමෙරිකානු සංවිධානවල, මහජන නියෝජිතයන් ගේ මෙන්ම යුරෝපා සංගමයට අයත්  Article - 29 වැනි සංවිධානවල ද විරෝධය පළවී තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම නව පියවර මඟින් මිලියන 400 කට වැඩි ෆේස් බුක් සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය ට බාධා ඇතිවන බවයි. මෙම නව ක්‍රියා මාර්ග මඟින් ෆේස් බුක් වැනි සමාජමය ව්‍යාපෘතියක පරමාර්ථ පවා බිඳ වැටෙන බව ඔවුන්ගේ අදහසයි.

මෙම ආන්දෝලනාත්මක වාතාවරණය මැද ෆේස් බුක් කළමණාකාරිත්වය විශේෂ රැස්වීමක් පවා පැවැත්වුවා. එහිදී ගන්නා ලද තීරණ පිළිබඳ වැඩි විස්තර මාධ්‍යයට වාර්තා වුයේ නෑ. ෆේස් බුක් හි ඇතුළත් සාමාජික දත්ත එය හා සම්බන්ධ වෙනත් වෙබ් අඩවි විසින් පාවිච්චි කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.

ඇමෙරිකාවේ ක්‍රියාත්මක පාරිභෝගික අයිතීන් හා පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ගණනාවක් මේ කාරණා ඔස්සේ ෆේස් බුක් වෙබ් අඩවියට එරෙහිව ඇමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිෂමට පැමිණිලි කළේ මීට දින කිහිපයකට පෙරාතුවයි.

ඔවුන්ගේ ප්‍රධාන චෝදනාවක් වී ඇත්තේ, ෆේස් බුක් සාමාජිකයන් විසින් සීමිත අවශ්‍යතා සඳහා ලබාදෙන පෞද්ගලික දත්ත ෆේස් බුක් වෙබ් අඩවිය මඟින් වාණිජමය පරමාර්ථ ඇතිව පුළුල් ලෙස භාවිත කරන බවයි. මේ නිසා වෙබ් අඩවිය මඟින් එහි සාමාජිකත්වයේ පෞද්ගලික තොරතුරු රැස් කිරීම පවා සීමාවිය යුතු බව ඔවුන් පෙන්වා දෙනවා. එහෙත්, එය ෆේස් බුක් මඟින් හඳුන්වා දෙන නව ආරක්ෂණ වැඩ පිළිවෙළට ගැළපෙන්නේ නෑ.

ෆේස් බුක් පිළිබඳ මතු වී ඇති මෙවැනි කාරණා කෙරෙහි අවධානය යොමු කරවමින් ඇමෙරිකානු සෙනෙට් මණ්ඩල සාමාජිකයන් සිව්දෙනෙක් ෆේස් බුක්හි නිර්මාතෘවරයකු වන මාර්ක් ෂකර්බර්ග් වෙත ලිපියක් මඟින් දන්වා සිටියේ ඉකුත් මාසයේ දී. එමඟින් , ෆේස් බුක් සාමාජිකයන් එම වෙබ් අඩවිය වෙත ලබාදෙන පෞද්ගලික දත්ත තුන්වන පාර්ශ්වයන් වෙත (වෙනත් වෙඩ් අඩවි) ලැබී තිබීම ගැන කනගාටුවන බව ප්‍රකාශ කරන ඔවුන් මේ කාරණය විශේෂ සැලකිල්ලකින් විමසා බැලිය යුතු දෙයක් බව ද පවසයි.

මෙපරිද්දෙන් තොරතුරු ගලායාම නිසා මින් පෙර පෞද්ගලික තොරතුරු ලෙස ආරක්‍ෂා වු ඇතැම් දත්තයන්. දැන් විවිධ ක්‍රම වලින් විවෘත තොරතුරු බවට පත්ව ඇතැයි ද ඔවුන් තම ලිපියේ සඳහන් කළා. සාමාජිකත්වය විසින් ලබා දෙනු ලබන තොරතුරු ඔවුන්ගේ අවසරයකින් තොරව තුන්වන පාර්ශ්වයන්වෙත ළඟාවීම වැළැක්වීම සඳහා පියවර ගැනීමේ අවශ්‍යතාව එමඟින් මතු කෙරෙනවා.

යුරෝපා සංගමයට අයත් Article - 29 කණ්ඩායම ද බ්‍රසල්ස් හි පසුගියදා රැස් වී අන්තර්ජාල වෙබ් අඩවි භාවිතය පිළිබඳ ආරක්‍ෂිත මූලධර්ම හෝ නිර්දේශ සමුදායක් ඇති කර ගැනීම කෙරෙහි අවධානය යොමුකර තිබුණා.ෆේස් බුක් මඟින් හඳුන්වා දී ඇති නව ආරක්‍ෂණ පියවර ගැනත්, එම සාමාජිකත්වයේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහාත් පියවර ගැනීමේ අවශ්‍යතාවත් ඔවුන් පෙන්වා දී තිබුණේ ඉන් අනතුරුවයි.

විද්‍යා හා තාක්‍ෂණ ක්‍ෂේත්‍රය ලබා ඇති ශීඝ්‍ර දියුණුව තුළ සන්නිවේදන හා තොරතුරු තාක්‍ෂණ අංශවල වර්ධනය සිතාගැනීමටත් අසීරු තරම්. නවතම සොයා ගැනීම් පවා ඉතාමත් ඉක්මනින් ලොව පුරා ව්‍යාප්ත වන පසුබිමක බොහෝ දෙනෙකු ඒවා කෙරෙහි නැඹුරුවීමේ ප්‍රවණතාවක්ද ගොඩ නැඟී තිබෙනවා.

බොහෝ දේවල් ‘විවෘත’ වී ඇති වත්මක් ලෝක රටාව තුළ මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට ද ඇතිවී ඇත්තේ සුළුපටු බලපෑමක් නොවෙයි. එතරම් දුරදිග කල්පනා නොකර නව තාක්‍ෂණයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා යටවන ඇතැම් දෙනා පසුව තම පෞද්ගලිකත්වය රැක ගැනීමට දරන ප්‍රයත්නයත් දැක ගැනීමට පුළුවනි.

විද්‍යාව හා තාක්‍ෂණය කොපමණ දියුණු මට්ටමකට ළඟා වී ඇතත් මනසින් දියුණු නොවු මිනිසුන් අතට එම තාක්‍ෂණික මෙවලම්, උපාංග, සේවාවන් ආදිය පත් වු විට ඇතිවන ප්‍රතිඵල අවාසනාවන්තයි. එය හරියට වඳුරන් අතට දැලි පිහියක් ලැබුණු විට ඇතිවිය හැකි තත්ත්වය බඳුයි. අන්තර්ජාලය , ජංගම දුරකථන වැනි දැ ආශි‍්‍රතව නිර්මාණය වී ඇති නව අර්බුද මඟින්, පෙනෙන්නේ ඇතැම් පිරිස් ඒවා සමඟ “වඳුරන් “ මෙන් හැසිරෙන්නට පටන්ගෙන ඇති බවයි.

මේ ප්‍රවණතාව හමුවේ පරිගණක හෝ නව තාක්‍ෂණය භාවිතයෙන් ඈත් විය යුතු යැයි අදහස් නොකෙරුණත් පමණ දැන එය භාවිතයට ගැනීම නම් යහපත්, නව තාක්‍ෂණය මඟින් හඳුන්වා දෙන ඇතැම් සේවා හෝ භාණ්ඩ ඔබට අත්‍යවශ්‍යම නොවන්නේ නම් අසීමිත ලෙස ඔබ ඒවාට ගැතිවන්නේ ඇයි?

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා