අඩුම කාලයකින් දකුණට යා හැකි මේ මඟ තවමත් පාළුවට ගිහින්

අඩුම කාලයකින් දකුණට යා හැකි මේ මඟ තවමත් පාළුවට ගිහින්

රොනී ද මැල් මහතා මුදල් ඇමැතිව සිටි කාලයේදී ඉංගිරිය හල්වතුර ප්‍රදේශයේ කළුගඟ හරහා පාලමක් සාදා බුලත්සිංහල - හා හොරණ ආසනය සම්බන්ධ කළද තවමත් මෙම පාලම උපයෝගී කර ගනිමින් විධිමත් ප්‍රවාහන සේවාවක් නොයෙදීම නිසා එම පාලම ඉදි කිරීමේ පරමාර්ථය ඉටුවී නැතැයි ප්‍රදේශවාසීහු පවසති.

මෙම පාලම හරහා ඉංගිරියේ සිට අගලවත්ත මතුගම හරහා දකුණු පළාතට යෑමට පහසු මාර්ගයක් ඇතත් බලධාරීන්ගේ අවධානය මෙතෙක් ඒ සඳහා යොමුවී නැත.

දැනට මෙම පාලම මතින් ඉංගිරිය, බුලත්සිංහල අතර පෞද්ගලික බස් සේවාවක් පමණක් ක්‍රියාත්මක වේ.

වත්මන් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාද මෙම ප්‍රදේශ නියෝජනය කරන බැවින් දැන්වත් ඉංගිරිය හල්වතුර පාලමෙන් නිසි ප්‍රයෝජන ගැනීමට අවධානය යොමු කරන්නැයි ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

මෙම පාලම හරහා ඉංගිරිය නගරය ඔස්සේ ගාල්ල මාතර වැනි ප්‍රදේශවලටද යා හැකි අතර එහිදී ගාලු පාරෙන් ගමන් කරන සැතපුම් ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු සැතපුම් ප්‍රමාණයක් ගෙවා යා හැකිය.

එමෙන්ම දැනට බුලත්සිංහල ප්‍රදේශයේ සිට හොරණ නගරය හරහා කොළඹට යන එන අයට ඉංගිරිය හරහා යෑමට සැලසෙන්නේ නම් අඩු දුර ප්‍රමාණයකින් එසේ යා හැකිවෙයි. මෙය ඉංගිරිය නගරය සංවර්ධනය වීමටද අඩිතාලමක් වන බව ප්‍රදේශවාසීහු පවසති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා