යාල වන උයනෙන් මතු වූකොටි රුව

යාල වන උයනෙන් මතු වූකොටි රුව

ඉර ගිලෙන්නට තැනක් හොයමින් සිටිනවාක් මෙන් පෙනෙන්නට තිබුණි. රත්නපුර හරහා ඇඹිලිපිටිය, උඩවලව වනෝද්‍යානය පසුකරන විට ඉරට තරහ ගොස් තිබුණි. කතරගම පසුකර යාල වන උයනට අපි සැපත් වන විට සවස 6.00 ට ආසන්නව තිබුණි. ගමන් වෙහෙස අධිකය.

නොනවත්වා ගමන් කිරීම හේතුවෙන් හිස බමන්නට වූයේ මගේ පමණක් නොවේ, සෙසු සගයන්ගේ ද තත්ත්වය ඊට වැඩි වූවා මිස අඩු වූයේ නම් නැත. උද්‍යානයේ පිවිසුම් දොරටුවෙන් ඇතුළුව අපේ අවසර පත්‍රයට අනුව ඔන්ඩච්චි බංගලාවේ රාත්‍රිය ගත කිරීමේ භාග්‍යය අපට ලැබී තිබුණි.

ඉක්මන් රාත්‍රී ආහාර වේලක් සමඟ නිස්කලංක පරිසරයේ සුන්දරත්වය විඳ ගැනීමට අපේ නවාතැනෙන් මඳක් එළියට හිස පොවා බැලීම පමණක් ප්‍රමාණවත්ය. නොනවත්වා ඇසෙන රෑහී ශබ්දයත් සමඟ ගෙම්බන්ගේ ශබ්දය රාත්‍රිය පසාරු කරගෙන අපේ කන්වලට වැටෙන්නාක් බඳුය. ඉතාමත් ඈතින් අලින් ගේ කුංචනාදයක් ඇසී නෑසී යන්නේ හිතට මඳ චකිතයක් ඇතුළු කරමිනි.

ඇත්තටම රාත්‍රිය ඉතාමත් කෙටි වූවාක් වැනිය. නින්දත් නොනින්දත් අතර ගෙවී ගිය රාත්‍රිය නොයෙකුත් වන සතුන්ගෙන් පිරුණු සිහිනවලින් යුක්ත වීම සිනා උපදවන සුළුය.

දැන් කාටත් උවමනාව හිමිදිරියේම සතුන් බැලීමට යාමටය. කෑවායින්, නොකෑවායින් අපි වනජීවී නියාමක මහතා සමඟ යාල වන උයන නැරඹීම පිණිස පිටත්වීමු. උදෑසන යාල අයිති කරගෙන සිටින නොයෙකුත් කුරුලු රංචු ජෙට් වේගයෙන් අපේ ජීප් රථය ළඟින් ඉගිලී යයි. තවත් වේගය බාල කළ විට තැන් තැන්වල ගස්වල ලැගුම් ගන්නා මොනරුන් ද දැකගත හැකි විය. නමුත් මගේ මිතුරු කැළ නොනවත්වාම නඟන ශබ්දය වනාන්තරයේ සිටින සතුන් බියපත් කර ඇති වග මඳ වේලාවකට පසුව මට වැටහුණි.

කොපමණ අවවාද කළ ද කිසිවකු කටපියාගන්නා පාටක් නම් නැත. නොනවතින විහිළු තහළු කෙතරම් රසවත් වුවත් ඒ ශබ්දයට වනාන්තරයේ බොහෝ සතුªන් බිය වී ඇතිවාක් වැනිය. වෙනදා දකින සුලභ සත්වයන් මිස දුර්ලභ සතුන් දැක ගැනීමේ භාග්‍යයක් නම් මේ වන විටත් අපිට උදාවී නොතිබුණි. කාටත් නොකියා හිතේ සඟවාගෙන සිටි රහසක් මට තිබුණි. එනම් යාල වන උයනෙදී කොටියකු ගේ ඡායාරූපයක් ගැනීම ය.

මාර්ග උපදේශක මැකර් සමඟ ඉදිරිපස අසුනේ සිටි මගේ බලාපොරොත්තුව ඔහුද දැන සිටියාක් වැනිය. ඔහු අවවාදාත්මකව කීවේ සෙසු අයට ශබ්ද නොකර සිටින ලෙසයි. කුමක්දෝ වාසනාවකට සගයෝ නිශ්ශබ්ද වූහ. හදිසියේම අපේ ජීප් රථය ඉදිරියෙන් වනාන්තරයේ තණ බුදින්නට පැමිණ සිටි විශාල ගෝනුන් කිහිප දෙනකු දිව ගියේ අනපේක්‍ෂිත ලෙසිනි. දුවන මුවන් ඡායාරූපයකට හසුකර ගැනීමට අපොහොසත් වුවත් ළඟ ළඟම ඊටත් වඩා වටිනා දසුනක් ඇතැ’යි මගේ යටි හිත කීය.

අපි දැඩිසේ නිශ්ශබ්දව වනාන්තරය තුළට ජීප් රථය පදවාගෙන යන්නට වීමු. කණ්ණාඩිය හොදින් ඇසමත රඳවාගෙන මම කැමරාව සූදානම් කරගෙන සිටියේ හොඳම හොඳ ඡායාරූපයක් ගැනීමේ අරමුණිනි. ජීප් රථයේ එන්ජිමෙන් නඟින ශබ්දය හැරෙන්නට සෙසු ශබ්ද සියල්ලම නැතිවී ගියාක්මෙන් විය.

මගේ ඇස් වඩාත් තියුණුව වනාන්තරය හරහා කිඳී යන්නට විය. පියවි ඇසට නොපෙනෙන එනමුත් මගේ් කැමරා කාචයට පෙනෙන කදිම පුල්ලි කිහිපයක් තරමක් ඈතක චලනය වන්නාක් මෙන් දැනුණ හෙයින් සියල්ලන්ට ම නිශ්ශබ්ද වන ලෙස මුවට ඇඟිල්ල තබා කීමට මට වේලාවක් තිබුණි.

වඩා වේගවත්ව කැමරාවේ රූප සටහන් කර ගැනීමට මා සමත්වූයේ යම් ආවේශයක් ලැබුවාක් මෙනි. පුල්ලි සහිත සත්ත්වයා ඉතාමත් අපරික්‍ෂාකාරී ලෙස වනාන්තරයෙන් එළියට ආවේ ළඟ ළඟ අඩි තබමිනි. පෙනුමින් හෙතෙම ඉතා පිරිසුදුය. දැන් කොටියා අප දෙසම තියුණු බැල්මකින් බලා හිඳියි. තවමත් ක්‍රියාත්මක එන්ජිම ඒ අවධානය වැඩි කරන හෙයින් තරමක් වාහනය පසුපසට ගෙන එන්ජිම ක්‍රියා විරහිත කරන ලෙස මැකර්ට දැන්වූවෙමි.

මගේ ඉඟි භාෂාව වටහාගත් මැකර් මා කියූවක් කළ මුත් කොටියා දැක පී‍්‍රති ප්‍රමෝදයට පත්ව ජීප් රථයෙන් බිමට බහින්නට තැත් කරන මා ශක්තිමත් අත් දඬුවකින් වාහනය තුළට ඇද දැමීමට සමත් විය. මැකර් මගේ ඒ අනුවණ ක්‍රියාව නැවැත්වීමට තීරණය කළේ ක්‍ෂණිකවමය. දැනටමත් කොටි රජා ගේ දුර රූප ගණනාවක් ම මා සතුවී අහවරය. එහෙත් මට අවශ්‍ය කදිම සමීප රූපයකි.

දැන් කොටියාත් අපේ ජීප් රථයත් අතර ඇත්තේ අඩි හයක පමණ දුරකි. වාහනයේ එන්ජිම ද ක්‍රියා විරහිත කොට අවසානය. එක් රෞද්‍ර බැල්මකින් හිත කිලිපොළා යන තරමට ම, එක් පිම්මකින් අපේ උගුරු දණ්ඩට පැනීමට දැන් කොටි හපුවාට හොඳටෝම ඉඩකඩ තිබේ. හිත කොපමණ ශක්තිමත් වුවද දැඩි බියකින් වෙළී ගත් මගේ අත කැමරාවට වාරු නැතිවාක් මෙනි.

තැතිගැන්ම කොතරම් ද යත් මා කෙටි වේලාවක් මේ අපූරු සත්ත්වයා දෙස බලාගත්වනම බලා උන්නෙමි. ඒ දෑසේ පැවැති දැඩි බැල්ම පරයා කුමක්දෝ නිරහංකාරකමක් මට පෙනෙන්නට විය. හරියට මා මෝහනය කර ගැනීමට උත්සාහ කරන කපටි ජාවාරම්කරුවකු මෙන් කොටියා මගේ් දෑස දෙසම බලා ඉන්නට විය.

වන නියාමක මැකර් සිටින බවක්වත් කොටියා නොදන්නේ යැයි හැඟවීමට උත්සාහ ගත්තාක් වැනිය. ඔහු මැකර් දෙස නම් වැරදිලාවත් බැලුවේ නැත. නිතරම කෑ කොක්සන් දෙන මගේ මිතුරු පිරිවර දෙසවත් කොටියා බැලුවේ නැත. ම’ මිතුරෝ මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්දය.

යළිත් හොඳ සිහියට පැමිණි මම මගේ රාජකාරිය පටන් ගතිමි. ක්ලික්, ක්ලික්, ක්ලික් හඬින් නොනවත්වාම කෙටියා ගේ රුව මම කැමරා කාචයේ සටහන් කර ගන්නට වීමි.

මා මෝහනය කිරීම වැඩක් නැති දෙයක් යැයි සිතා කොටියා මගේ දෑස මඟහැර යළිත් වෙනත් දිශාවකට යන්න පටන් ගත්තේය. පාර හරහා මාරුවීම කොටියා ගේ සැලසුම බව පැහැදිලි වූයේ කොටියා ගේ ඇස් යොමු වූ දිශාව නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව ය. පාර මාරුවී මඳ දුරක් ගිය තැන දිය කඩිත්තකි.

දිගු පුළුන් වැනි අවසානයක් ඇති තම නැට්ට නටවමින් කොටියා බැරෑරුම් මුහුණකින් යුක්තව පාර හරහා යන්නට වූයේ මට තවත් ඡායාරූප බොහොමයක් ගැනීමට මහඟු අවස්ථාවක් සලසා දෙමිනි. යළිත් මගේ කැමරාව කාර්යබහුල විය. එක ළඟ, ළඟ ඡායාරූප ගැනීම ඒ මොහොතේ මගේ් එකම බලාපොරොත්තුව විය. යන ගමන නතර කර කාලය දෙස බැලූ කොටියා ගේ මුහුණේ තව කවුරුන් හෝ පැමිණෙතැ’යි බලාපොරොත්තුවක් තිබුණේ යැයි මේ දැණුත් මට සිතෙයි. සැහැල්ලු ලෙසින් පුළුන් වැනි අවසානයක් ඇති නැට්ට වනමින් ගිය කොටියා දිය කඩිත්තට මඳ දුරක් තිබී යළිත් පසුපස හැරී බැලුයේ මගේ් දෙනෙත දෙසම යැයි විකාර අදහසක්මට ඇති විය.

හා... යමු යමු

අමාරුවෙන් කතා නොකර සිටි මිතුරු කැළ කොටියාගෙන් ගැලවීමේ සතුටින් දෝ එකවරම කෑ ගසන්නට විය. කොටියකු මෙතරම් ළඟින් ඡායාරූප ගැනීමට ලැබීමෙන් පසුව මා සිටියේ වෙනත් ලෝකයකය. යළි යළිත් මගේ කැමරාවේ සටහන් කොටියා ගේ රූප අගටත් මුලටත් නරඹන්නට වූ මම ඒ සියලු ඡායාරූප අතරින් හොඳම ඉරියව්ව තෝරා ගැනීමට වෙහෙස වීමි.

සියලු සතුන් එකවර කැලයෙන් එළියට ඇවිත් වැනිය. නරියෙකුත්, පිල්කළඹ විදහාගත් මොණරකුත් මගේ ඡායාරූප එකතුවට අයිති විය. අධික රශ්මියෙන් යුක්ත වැලි පොළොව මත බඩගා ගිය සර්පයකු ඩැහැගැනීමට ඉගිල ආ උකුස්සකුත් මගේ ඡායාරූප ගොන්නට එකතු විය.

ඒ සියල්ල පරදා මගේ වනගත චාරිකා අතර මුල්තැනට පැමිණි රෞද්‍ර කොටියා නම් තවමත් මට අමතක කිරීමට නොහැකිය. කොයිතරම් කඩවසම්ද? කොයිතරම් භයානකද? ඒ තරමට ම ඒ කොටියා මහත්මා ගුණයෙන් යුක්තය. අඩි හයක් ළඟින් සිටි අපේ ජීවිතවලට හානියක් කිරීමට නොසිතා අසල දිය කඩිත්තෙන් වතු බී යාමට තීරණය කිරීම මහත්මා ගුණයක් යැයි කීම සාධාරණය.

ඉන් පසුව යාල අභය භූමිය පුරා දැකි කිසිම සත්ත්ව රුවක් මාව පී‍්‍රතියට පත්කිරීමට සමත් වූයේ නැත. ඉතින් අපේ ගමන කෙටි විය. මා සෙයූ දෙය ලැබූ හෙයින් අපි ගමන අතරමඟ නවතා යළිත් ඔන්ඩච්චි බංගලාවට ගියෙමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා