නොකියූ කතාවක් සොයා සැරි සැරුවෙමි

නොකියූ කතාවක් සොයා සැරි සැරුවෙමි

ශීර්ෂය විනාශ කළ බුදුපිළිමය

අපූරු කතාවක හෝඩුවාවක් මා දෙසවන වැකෙමින් තිබිණි. ඒ හෝඩුවාව පැමණ තිබුණේ එක් කුඩා කඳු ගැටයකිනි. ඒ කුඩා කඳු ගැටය සිසාරා අප ඇවිද ගියේ ඒ අපූරු කතාව කුමක් දැයි සොයන අටියෙනි. කටු පඳුරින් සමන්විත ලදු කැළෑ කඳු ගැටය වසාගෙන ඇත. ඒ වන බූටෑව අතරින් රිංගා ආ ඒ අපූරු කතාව යළි යළිත් මගේ දෙසවන වැකෙන්නට විය.

කාලාන්තරයක් තිස්සේ ජල බිඳක පහස නොලැබූ කේඩෑරි වූ කටු පඳුරු සහිත මේ වන බූටැවේ මේ සෑම ගහ කොළකට ම කියන්නට කතාවක් තිබිණි. ඒ ඔවුනට දිය බිඳක් නොලැබෙන කතාව නම් නොවේ. උදෑසන සිට පතිත වුණු හිරුගේ රශ්මියෙන් උණුසුම් වි සිටි සෑම ගල් පර්වතයකට ම කියන්නට කතාවක් තිබිණි. ඒ හිරු ඔවුන් දවාලූ කතාව නම් නොවේ.

දිය පුරවාගෙන ගලක් මත නිසොල්මන්ව සිටි ගල්වලට ද කියන්නට කතාවක් තිබිණි. ඒ ගල්වලේ ජලය පල්වෙමින් තිබෙන බව නම් නොවේ. කඳු ගැටය පාමුල වූ අත් හැර දමන ලද වැව ද කියන්නට කතාවක් තිබුණි. ඒ වැව අතහැර දමා තිබෙන බව නොවේ. මේ සියල්ල පවසන්නට වුණේ එක ම කතාවකි. ඒ අන් කිසිවක් නොව අතීතය පිළිබඳ ය.

සූරියවැව පඩිකෙම්ගල ඓතිහාසික පුදබිමට අපි පා තබා සිටියෙමු. මහගල් වැව වාරි කර්මාන්ත මායිමේ මේ පුදබිම පිහිටා ඇත. ක්‍රි. පූ. 3වන සියවස තරම් ඈත අතීතයකට මේ පුදබිම උරුමකම් කියයි. අනුරාධපුරයේ සිට රුහුණට පැමිණ එහි පාලනය ගෙන ගිය දේවානම් පියතිස්ස රජුගේ බාල සොහොයුරු මහානාග රජ සමයට අයත් ආරාමයක් ලෙස පඩිකෙම්ගල හැඳින්වේ.

තරමක් උස් වූ කඳු ගැටය තරණය කළ පසු පුදබිමේ ශේෂයන් හමු වේ. ගල් පර අතුරා නිම වූ උස් පදනමක් මත ආගමික ගොඩනැඟිලි ඉදිකර තිබූ බවට අනුමාන කළ හැකි ය. ඒ අනුව ප්‍රධාන පිවිසුම් දොරටුවේ උස් පඩිපෙළක් තිබෙන්නට ඇත. එහෙත් අද එවැනි පඩි පෙළක් දැකිය නොහැකි ය. ඉතිරිව ඇති මුරගල එවැනි පඩි පෙළක් තිබුණු බවට සාක්ෂි දරයි.

බෝධිඝරය

වර්තමාන විහාරය ගොඩනඟා ඇත්තේ පිවිසුම් දොරටුවේ වම් පසිනි. අපි ඒ විහාරය පසු කර කඳු ගැටයේ උඩට නැඟීමු. වල් බිහි වී ගිය උස් පඩි ගොඩැල්ලක් වම් පසින් දිස් වෙමින් තිබේ. තැනින් තැන විසිරී ගිය ගඩොල් ය. එය දාගැබක් වන්නට ඇතැයි අපි අනුමාන කළෙමු. ඒ බව සනාථ කෙරෙන තවත් සාක්ෂියක් අප හමුවේ විය. ඒ දෙකඩ වූ නිදන් ගලකි. එහි නිදන් තැන්පත් කිරීමට සැකැසූ කොටු විසි පහකි. කාලයක මේ පුදබිම නිදන් හොරුන්ගේ රජ දහනක් වී තිබුණු බවට මේ නිදන්ගල සාක්ෂි දරයි.

න බූ ටෑව අතරින් අතීත උරුමය මතුව එද්දී ඒ ගැන සිතට දැනෙන්නේ අභිමානයකි. එහෙත් ඒ ගැන කිසිදු හැඟීමක් නැත්ත වුන් ද සිටිනා බවට පවසන්නට වුනේ විනාශ කළ අතීත උරුමයේ ශේෂයන් ය. ඇතැම් මුරගලක දෑත් විනාශ කර ඇත. ශිර්ෂය විනාශ කළ බුදු පිළිමයක කවන්ධය පමණක් ඉතිරිව ඇත. බුදු පිළිමයක කවන්ධය පමණක් ඉතිරිව ඇත. බුදු පිළිමයේ ශිර්ෂය විනාශ කරන්නට තරම් සැහැසී වූ මිනිසුන් සිටිය ද කටු පඳුරු අතරින් එබී බැලූ නේක වර්ණ ගත් මල් සෑදී පැහැදී සිටියේ බුදු පුදට නොවේ දැයි මට සිතිණි.

පියගැටපෙළ

කැටයම් නොකළ සඳකඩ පහණක් ද කිසියම් කතාවක් කියමින් සිටියි. එහි හැඩය අපට සුපුරුදු සඳකඩ පහණේ හැඩයට වඩා වෙනස් ය. විහාර මන්දිරයක ශේෂයක් ද අපට දැක ගත හැකි විය. කොරවක්ගල සහිත ශෛලමය පියගැට පෙළක් ද මෙහි තවමත් සුරක්ෂිත ය. එහි බහිරව රූප ද කැටයම් කර තිබේ.

පඩිකෙමිගල පුදබිම සතු වු විශිෂ්ටතම අතීත උරුමය වූයේ බෝධිඝරයයි. වෙනත් බෝධිඝරයන්හි දක්නට නොලැබෙන අපූර්ව ලක්ෂණ කීපයක් මේ බෝධිඝරය සතු ය. එය අටපට්ටම් හැඩැති ය.

එමෙන් ම එහි කැටයම් ද කොටා ඇත. ඒ කැටයම්වලින් නිරූපණය වන්නේ සත් සතියයි. සුජාතාවන් කිරිපිඬු පිළිගැන් වූ අවස්ථාවේ සිට ම සත් සතිය නිරූපණය කර තිබීම ද තවත් විශේෂත්වයකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ බෝධිඝරය සංරක්ෂණය කර තිබීම සතුටට කරුණකි.

බෝධිඝරය පසෙකින් නැඟී සිටි ගල් කණු දාසයක් අපට තවත් යමක් පවසන්නට විය. යම්කිසි ගොඩනැගිල්ලක ශේෂයන් යැයි අනුමාන කළ හැකි ය. ඒ අසලින් වැසිකිළි ගලක් ද හමු වී ඇත. ඒ නිසා මෙය ආගමික ගොඩනැඟිල්ලක් නොව ගිමන්හලක් යැයි මතයක් ද වේ.

තවත් තැනෙක ඉතා උස් වූ ගල් කණු රැසකි. මේ උස් වූ ගල් කණු නිසා ම එය දෙමහල් ගොඩනැඟිල්ලක් වත්තට ඇතැයි සැලකේ. එය ධර්ම ශාලාවක් යැයි අනුමාන කෙරේ. එපමණක් ද නොවේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටියේ යැයි සැලකෙන කුටි හයක ස්මාරක ද මේ පුද බිමෙන් හමු වී ඇත.

කඳු ගැටයේ අනෙක් මායිමට ළඟා විය යුත්තේ වන බූටෑව තුළිනි. කටු පඳුරු මඟ හරිමින් වග බූටෑව පීරමින් අපි මේ අතීත කතාවේ තවත් ඉසව් සොයා ගියෙමු. තැනින් තැන වූ ගල් කණු ඒ ගැන කියන්නට විය. එහෙත් ඒ කතාවල අඟක් මුලක් සොයා ගත නොහැකි ය. මන්ද බොහෝ දේ තවමත් පස්යට වැළලී තිබෙන බැවිනි.

දිය පොකුණ

අපි කඳු ගැටයේ එක් මායිමක වූ ගල් තුළට පැමිණියෙමු. රත් වූ ගලට සිසිල බෙදෙන දිය පිරී ගිය ගල්වලකි. එයට බැසීමට කෙටූ ගල් පඩි පෙළකි. මේ ගල්වල කෙතරම් ගැඹුරුදැයි සිතාගත නොහැකි ය.

එහි වූ නිශ්චල බවත් ගුප්ත බවත් නිසාවෙන් එය බොහෝ ගැඹුරු වන්නට ඇතැයි අපි සිතුවෙමු. අප සමඟ වූ එක් සඟයෙක් දඬු කැබැල්ලක් කඩා ගෙන මෙහි ගැඹුර මනින්නට උත්සාහ කළත් එය අසාර්ථක ප්‍රයත්නයක් විය.

මේ පුද බිමට පඩිකෙම්ගල යැයි නම ලැබිමට හේතු වී ඇත්තේ ද මේ ගල් වලයි. ගම්මුන් මේ ගල්වල හඳුන්වන්නේ ‘කෙම” යනුවෙනි. කෙමට බැසීමට ගල් පඩි ද ඇත. එය පදනම් කරගෙන මේ විහාරයන්ට පඩිකෙම්ගල යන තබා ඇත්තේ මෑත ඉතිහාසයේ ය. ඒ 1958 තරම් මෑතක ලූනම ඥානානන්ද හිමියන් ඇතුළු පිරිස මේ පුද බිමෙහි වැඩ වාසය කරන්නට පමණක් පටන් ගත් දා පටන් ය. මේ පුද බිම අතීතයේ කුමන නමකින් හැඳින් වූවා දැයි කීමට සමතෙක් නොවී ය.

ගල්වල පසුකරගෙන අපි කඳු ගැටයේ තවත් මායිමකට කේන්ද්‍ර වූයේ සෑහෙන තරම් දුරක් වන බූ ටෑව අතරින් ගමන් කිරීමෙන් අනතුරුව ය. පහළින් දිස්වෙමින් තිබුණේ අතහැර දැමූ වැවක ශේෂයන් ය. වෑ කන්ද මායිමට වන්නට පමණක් ජලය ස්වල්පයක් දැකිය හැකි විය. කෙසේ වුවත් ඒ දසුන සුන්දර ය. හාත්පස වන බූ ටෑවයි. කිසිදු මිනිසෙක් හෝ ගෙයක් දොරක් හෝ පේන තෙක් මානයක නැත.

හිරු සමුගෙන යමින් තිබුණු හෝරාවයි. වන බූටෑවේ නිහැඬියාවත් තනි වූ වැවත් සමුගෙන යමින් තිබුණු හිරුගේ දසුනක් අපව මේ බිමෙහි ඇද බැඳ තබා ගන්නට උත්සාහ කළේ ය. එහෙත් අප මේ පුද බිමෙන් සමුගෙන යාමට කාලය උදා වී තිබිණි. නමුදු අවසන් නොකළ කතාවක් අප සතුව ඇත. පඩිකෙම්ගල ගැන අවසන් නොකළ ඒ කතාවේ අහුමුළු සොයන්නට ඔබට භාර කරමි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා