වන්නියේ සුදු ගමරාළ

වන්නියේ සුදු ගමරාළ

සැතපුම් දහස් ගණනක ඈතම ඈත දීපංකරයක උපන් ඔහු අපේ රටට ආවේ බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුවේ සිවිල් සේවකයෙකු වශයෙනි. එංගලන්තයේ උපන් ඔහු අපේ රජ රට ගොවි ජනතාව අතර ඉතා ඉක්මනින් සුහදශීලී මිතුරෙකු බවට පත් වුණේය. ගමරාළ අපේ ගැමි සංස්කෘතියේ ගැමි නායකයෙකි. ගමේ ප්‍රධානියාය. එංගලන්තයෙන් ලංකාවට පැමිණි සුදු ජාතිකයෙකු රජ රට ජනතාවගේ ආදරය සෙනෙහස හිමි කර ගත් සුදු ගමරාළ බවට පත්වීම පිටුපස බොහෝ රසවත් වැදගත් තොරතුරු ඇත.

රජරට ගැමියන් සුදු ගමරාළ යනුවෙන් හඳුන්වනු ලැබූ ඔහු දෙපයින් ඇවිද නොගිය අඩි පාරක් පටු පාරක් අතු පාරක් මහ පාරක් එකල වන්නිකරයේ නොවීය. සිංහල ජනතාව ඔහුට තම පණ මෙන් ආදර ගෞරව කළහ. එකල ඒ ප්‍රදේශයේ අණසක පැතිර වූ අහංකර සුදු ජාතිකයෝ මේ වන්නියේ සුදු ගමරාළ නොරිස්සූහ. හෙන්රි ජෝජ් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් මේ සුදු මිනිසා හඳුන්වනු ලැබුයේ බාගෙට සුද්දෙකු හෙවත් ඉංග්‍රීසි අඩලයක් ලෙසිනි. අඩලය යනු පොල් බෑය හඳුන්වන තවත් නාමයකි.

මේ සුදු ගමරාළ වරක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උතුරු මැද පළාත සඳහා ඡන්දය ඉල්ලුවේය. ඔහු ගැමියන්ට කීවේ එකම එක දෙයක් පමණි. ‘නුඹලා මට ඡන්දය දුන්නොත් මම මන්ත්‍රණ සභාවට යනවා. . . නොදුන්නොත් ගෙදර යනවා. .’ යන්න පමණකි. පාරම්පරික සිංහල අපේක්ෂකයන්ද පරදවා ඔහු දෙවරක්ම මන්ත්‍රණ සභාවට ගියේය.

අපි ඒ සුදු ගමරාළ කවුදැයි විමසන්නට 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා තොරතුරු වෙත ද 1924 – 1927 දක්වා පැවැති ව්‍යවස්ථාදායක සභාව වෙත ද පිවිසෙමු.

1927 සැප්තැම්බර් 27 දා උතුරු මැද පළාත් ආසනයට එච්. ආර්. ප්‍රීමන් පත්වූයේ නිතරගයෙනි. එවකට ඔහු ඒ පළාතේ සිවිල් නිලධාරියෙකි. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දයට එච්. ආර්. ප්‍රීමන් යළිත් තරග කළේය. ප්‍රතිඵල මෙසේය.

එච්. ආර්. ප්‍රීමන් – 8311

එස්. ඩී. ක්‍රිෂ්ණරත්න – 868

වැඩි ඡන්ද – 7423

1936 රාජ්‍ය සභා මන්ත්‍රණ සභා මැතිවරණයෙන් එච්. ආර්. ප්‍රීමන් පත් වූයේ නිතරගයෙනි. කොට්ඨාස හතකට හත් දෙනෙකු නිතරගයෙන් පත් විය. එකම යුරෝපීය ජාතිකයා වූයේ එච්. ආර්. ප්‍රීමන්ය.

එංගලන්ත උප්පැන්න සහතිකයේ සඳහන් අන්දමට ඔහු හර්බට් රේනර් ප්‍රීමන් ය. රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී එච්. ආර්. ප්‍රීමන් නම් වූ ඔහු සිය මානව හිතවාදී දෘෂ්ටියෙන් උතුරු මැද පළාතේ අහිංසක ගොවි ජනතාවට මුළු හදවතින්ම ආදරය කළේය.

අධිරාජ්‍යවාදය ශක්තිමත් කරන්නට සිවිල් නිලධාරියෙකු ලෙස ඔහු මෙහි පැමිණිය ද සිංහලයාගේ සැබෑ සංස්කෘතියෙන් ද අව්‍යාජත්වයෙන් ද වශී වන්නට ඔහුට වැඩි කලක් ගත වූයේ නැත. එහි සෘජු ප්‍රතිඵලය වූයේ වන්නියේ දිළිඳු අසරණ ගැමි ජනතාවට ඉටු දෙවියෙකු ලැබීමයි. කුªඩයක් කිහිල්ලේ රුවා ගත් ඔහු පාවහන් නොමැතිව වන්නියේ පැල්පතක් පැල්පතක් පාසා ගොස් ගැමියන්ගේ දුක සැප සොයා බැලුවේය. ඔවුන්ගේ ප්‍රශ්න වලට අවශ්‍ය විසඳුම් ලබා දුන්නේය. මේ උතුම් මානව හිතවාදියාට සිය මවු බස වන ඉංග්‍රීසිය හා සමානව චතුරව සිංහල හා දෙමළ භාෂාව හසුරුවන්නට පුළුවන්කම තිබිණි. රජ රට වන්නියේ ගැමි බස ඔහු ප්‍රිය මනාපයෙන් උච්චාරණය කළේය.

රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ඔහු කතා කළේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයෙන් මවු බිමේ අයිතිකරුවන් වූ සිංහල ජනතාවට සිදු වන අසාධාරණකම් ගැනය. වරක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ඔහු කළ කතාවකින් කොටසක් ඉල්ලා අස්කර ගන්නට යැයි මන්ත්‍රණ සභාවේ සභාපති නියෝග කළේය. තම ආත්ම ගරුත්වය ආත්මාභිමානය පාවා දෙන්නට අකැමැති වූ ඔහුට දින කිහිපයකට මන්ත්‍රණ සභාව තහනම් විය. ඒ උද්වේගය ඔස්සේ රජරට ගැමියෝ 1936 දී එච්. ආර්. ප්‍රීමන්ට නිතරගයෙන්ම මන්ත්‍රී පුටුව හොබවන්නට පරිසරය සකස් කළහ.

ගැමියන්ට අයත් බර කරත්තයක නැඟී වන්නිය පුරා සැරිසරමින් 1931 ඡන්ද සටන කළ එච්. ආර්. ප්‍රීමන් නොහොත් රජ රට ජනතාවගේ සුදු ගමරාළ බඳු උගත් ඉංග්‍රීසි ජාතිකයන් තවත් මෙහි විසු වග ද අමතක කළ යුතු නොවේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා