තරුණයනි, අමුත්තක් කරන්න

තරුණයනි, අමුත්තක් කරන්න

ජී. ඩී. එල්. පෙරේරා

මා ඔහුව කිසිම දවසක දැක තිබුණේ නැත. එහෙත් අසා තිබිණි. මා අසා තිබුණේ ඉතාම සුළු කාරණා කිහිපයක් පමණි. හේ අගනුවර කලා පෙළ නමින් සංවිධානයක් පිහිටුවාගත් බවත් ‘සාමා’ නමින් සිනමා පටයක් අධ්‍යක්ෂණය කළ බවත්ය. මම තව තවත් සුළු කරුණු කාරණා දැන සිටියෙමි. ඒවා පැහැදිලි නැත. නොඑසේනම් සත්‍යයෙන් තොරය.

කවදාවත්ම නුදුටු වූවකු පිළිබඳව කවරෙක් හෝ ඔබගෙන් විමසා සිටියේ නම් ඔබ පත්වන අපහසුතාවය කවරාකාරද? කනගාටුවක්, බියක්, ලැජ්ජාවක් නොඑසේම් වෙනත් තත්ත්වයකට ඔබ පත්විය හැකියි. මම එවන් වූ අපහසුතාවකට පත්ව සිටින්නෙමි. එය කනගාටුවක්දැයි, ලැජ්ජාවක්දැයි මම නොදන්නෙමි. අවසානයේ දී මම එක්තරා තීරණයකට එළැඹුනෙමි.

මම, ඔහුව සොයන්නට වීමි.

හේ ගෝනදූව හඳුන්ගේ දොන් ලීලචන්ද්‍ර පෙරේරා ය. 1935 වසරේ ජුනි මස 26 වැනි දින රත්නපුරයේ තිරුවානකැටියේ දී උපත ලැබීය. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ රත්නපුර තිරුවානකැටියේ මිශ්‍ර පාඨශාලාවකිනි. හේ පුංචි කාලයේ දී ඇදුම රෝගයෙන් පෙළුණි. තිරුවානාකැටිය ග්‍රාම්‍ය සීත කලාපයකි. ඒ දේශගුණය යටතේ් ඔහු ඇදුම රෝගයෙන් මහත් පීඩාවක් වින්ඳේය. අවසානයේ දී මවුපියන් යම් තීරණයකට එළැඹුණාහ. ඒ සීත දේශගුණයෙන් ඔහුව ඈත්කර තැබීමය.

මවුපියෝ, ඔහුව සම ඌෂ්ණ දේශගුණයක් සහිත කොළඹ නගරයේ නවත්වන්නට තීරණය කළහ. මේ පුංචි කොල්ලා, කොටහේන ප්‍රදේශයේ ගල්පොත්ත පාරේ නිවසක නතර වූයේය. ගමේ ඇළ දොළ, තණ කොළ ආශ්‍රයේ ගත කළ කාලය නිමාවිය. කුරුලු ගී දුරස්ව ගියේය. නගර පරිසරයට හැඩ ගැසෙන්නට පුංචි කොල්ලාට සිදුවිය. හේ ද්විතීය අධ්‍යාපනය සඳහා කොටහේන ප්‍රදේශයේ ශාන්ත බෙනඩික් විද්‍යාලයට ඇතුලු වූයේය. අනතුරුව කොටහේන කුමාර විද්‍යාලයට ඇතුළත් විය.

මේ පුංචි කොල්ලා ගේ නම වන ගෝනදූව හඳුන්ගේ දොන් ලීලචන්ද්‍ර පෙරේරා යන්න දිගු බැවින් ඔබගේත් මගේත් පහසුව පිණිස මෙතැන් සිට ඔහු ජී. ඩී. එල්. පෙරේරා යන නමින් හඳුන්වා දෙන්නෙමි. ජී. ඩී. එල්. පෙරේරා පිළිබඳව අද අප කතාබහ කරන්නටත්, ලියන්නටත්, සොයන්නටත් අවශ්‍ය වන කාරණාව නිර්මාණය වන්නේ ඔහු ද්විතීය අධ්‍යාපනය ලද කොටහේන කුමාර මහ විද්‍යාලයේ දීය. ඒ ඔහු කලාව නම් විෂයට යොමුවීම නිසාය. එවකට එම විද්‍යාලයේ විදුහල්පති වූයේ ධර්මසේන අරම්පත්ත මහතාය. ජී. ඩී. එල්. පෙරේරා කලාව දෙසට හැරීමට බෙහෙවින් බලපෑවේ කුමාර විද්‍යාලයේ එඩ්වින් හේවා කපුගේ මහතා බව 1982 වසරේ දී සරසවි පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

1953 වසරේදී ශිෂ්‍ය අවධියේදීම ඔහු ‘කුමාර රංග‘ නමින් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළේය. එහි ඔහුත්, අමිත මල්ලවාරච්චිත්, කල්‍යාණි ගුණතුංගත් රංගන ශිල්පීහු වූහ. එඩී ජයමාන්න හා රුක්මනී දේවියගේ ප්‍රධානත්වයෙන් නාට්‍යය රඟදැක්විය. එසේම වසර අවසානයේ පැවැත්වෙන විවිධ ප්‍රසංගය සඳහා ඔහු සමවයසේ සිසුහු හා එක්ව නාට්‍ය නිෂ්පාදනය කොට පෙන්වූහ.

‘ඇස් ලැබීම’, ‘කම්බා හොරු’ එසේ වේදිකාගත කළ නාට්‍ය නිර්මාණ දෙකකි. එක්තරා අවස්ථාවක දී මෙම නාට්‍ය නරඹන්නට පැමිණි ප්‍රවීණ ලේඛක කරුණාසේන ජයලත් මහතා ජී. ඩී. එල්. පෙරේරා නම් සිසුවා සම්බන්ධයෙන් එක්තරා පුවත් පතකට මෙසේ සටහන් කොට තිබිණි. “අනාගතයේ දවසක දක්ෂ කලාකරුවන් විය හැකි පිනේ පිං ලකුණු පහළ කරන තරුණ කලාකරුවන් මේ නාට්‍ය උත්සවයේ දී අපි දුටුවා.”

මා ජී. ඩී. එල්. පෙරේරා පිළිබඳ දැන සිටි එක් කාරණාවක් වූයේ ඔහු පිහිටුවා ගත් කලා පෙළ නම් සංවිධානය පිළිබඳවයි. “කලා පෙළ” සංවිධානයට මුල් අත්තිවාරම වැටෙන්නේ කොටහේන කුමාර විද්‍යාලයේදීය. ඔහු, කලාවට ලැදි සම වයස් සිසුන් පිරිසක් හා එක්ව මෙම සංවිධානය පිහිටුවා ගත්හ. එහි අනුශාසක වූයේ විදුහල්පති තුමාය. සභාපති වූයේ එඩ්වින් හේවා කපුගේ ගුරුවරයායි. ජී. ඩී. එල්. පෙරේරා මෙහි ලේකම්වරයා වූයේය.

තරුණ ජී. ඩී. එල් පෙරේරා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වූයේය. මවුපියන් ගේ අරමුණ වූයේ ඔහුට තාක්ෂණික අධ්‍යාපනයක් ලබාදීමටය. ඒ, පුතාව ඉන්ජිනේරුවකු කිරීමේ පරමාර්ථයෙනි. ඔහු මරදාන ප්‍රදේශයේ පිහිටි කාර්මික විද්‍යාලයට ඇතුළත් කෙරිණි. එහෙත් ජී. ඩී. එල්. වෙතින් කලාවට තිබූ නොතිත් ආශාව පහව නොගියේය. කාර්මික විද්‍යාලය ආසන්නයේ බෝඩ්ම් කාමරයක වෝල්ටර් විමලරත්න නමින් තරුණයෙක් නතරව සිටියේය.

ජී. ඩී. එල්. පෙරේරා, වෝල්ටර් විමලරත්න ගේ් මිත්‍ර ඇසුරට වැටුණි. හේ තාක්ෂණික අධ්‍යාපනය පසෙකදා කලාවට ඇඟෑළුකම් පාන්නට පටන් ගත්තේ මී වදයකට ලොල් වූ වලසකු පරිදිය. වොල්ටර් නම් මිත්‍රයාගේ කුඩා කාමරය සංගීත සංදර්ශනයක සිරි ඉසිලීය. ඒ ජී. ඩී. එල්. පෙරේරා ඇතුලු තරුණයන්ගේ සහෘද එකතුව නිසාය. “ඒ දවස්වල මම සිනමාවට උමතුවෙන් වගේ ආසා කළා. කොටහේන ටවුමේ තිබුණු සෙල්ලමහල්, ගෙයිටි වගේ හෝල්වල ප්‍රදර්ශනය කළ සෑම සිනමා පටයක්ම නැරඹුවා.

‘තොටුපළ’

මගේ වැඩිමහල් සහෝදරයා දේශපාලනය කළා. ඒ නිසා ඔහුට නිතරම සිනමාපට නරඹන්න ආරාධනා ලැබෙනවා. එක් අවස්ථාවකදී එවැනි ආරාධනාවකට මගේ සහෝදරයාට යන්න ලැබෙන්නෙ නෑ. ඔහු, ඒ අවස්ථාව මට බාර කළා. එය ටීටර් නාටකයක් විවෘත කිරීම සඳහායි. ටීටර් එක ප්‍රදර්ශනය කරන්නේ මරදාන ප්‍රදේශයේ. මම, මගේ මිත්‍ර වෝල්ටර් සමඟ එය නරඹන්න ගියා.”

මෙම ටීටර් නාටකයේ භාෂාව කඨෝරය. කතා සන්දර්භය නීරසය. රඟපෑම් අතාත්විකය. ඉන් මහත්සේ කලකිරීමට පත්වූ ජී. ඩී. එල්. පෙරේරා නාට්‍ය ශාලාවෙන් පිටතට පැමිණියේ තමා කොටහේන කුමාර විද්‍යාලයේ දී ශිෂ්‍යයකු ලෙසින් සිටි අවධියේ මීට වඩා හොඳ නාට්‍ය කළ බවත්, කීවේ දැන් මීටත් වඩා හැම අතින්ම උසස් නිර්මාණාත්මක අයුරින් නාට්‍ය කළ හැකි බවත් තම මිත්‍රයා වන වෝල්ටර් හට උදම් අනමිනි. තොටළඟ තුංගසේන මාස්ටර් එවකට ජනපි‍්‍රය නාට්‍ය නිෂ්පාදකවරයෙකි.

ජී. ඩී. එල්. පෙරේරාගේ මිත්‍රයකු විසින් ඔහුව මෙම නාට්‍ය නිෂ්පාදකවරයා වෙතට කැඳවාගෙන යන ලදී. තුංගසේන මාස්ටර්ගේ හමුවීම, සොඳුරු නොවීය. එහිදී ඔහුට අසන්නට ලැබුණේ නාට්‍ය නිෂ්පාදනය දුෂ්කර, අධික වියදම් සහිත හා නාට්‍ය නිෂ්පාදනයට තමා මෝරා නොමැති බව වැනි පසුගාමී වදන්ය. එහෙත් එයින් මේ දහඅට හැවිරිදි තරුණයා පසුබැස්සේ නැත. තොටළඟ තුංගසේන මාස්ටර්ගේ හමුවීමෙන් හේ සිත් රිදවාගෙන සිටියේය. එදින ඔහුට නින්ද නොගියේය. එම නිදිවර්ජිත රාත්‍රියේ ජී. ඩී. එල්. පෙරේරා නාට්‍ය පිටපතක් ලිව්වේය.

ජී. ඩී. එල්. පෙරේරා නම් තරුණයාගේ කලාවේ ප්‍රථම අත්තිවාරම මෙන්ම මෙරට නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයේ තීරණාත්මක මංසන්ධියට පාර තොට කිවූ ‘කඳුළු’ නම් වේදිකා නාටකය බිහි විය. වෝල්ටර් විමලරත්නගේ කුඩා බෝඩිං කාමරයේ ‘කඳුළු’ නාටකයේ පුහුණුවීම් සිදුවිය. මෙහිදී නාටකයේ චරිත ඉල්ලා තම මිත්‍රයන් ඔහුට කරදර කරන්න පටන්ගත් බවත්, නාටකය ප්‍රදර්ශනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් කිසිවෙක් කල්පනා නොකළ බවත් ‘කලා පෙළ’ නම් සංවිධානයට පදනම වැටුණේ මෙහිදී බවත් ජී. ඩී. එල්. පෙරේරා 1997 වසරේ ඉරිදා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර සිටියේය.

ජී. ඩී. එල්. පෙරේරා ප්‍රකාශ කරන පරිදි ඔහුගේ කලා පෙළ සංවිධානය වටා එක් වූ බොහෝ දෙනකු තමා මෙන්ම ඒ ඒ ක්ෂේත්‍රයන්හී ‘අ, ආ’ යන්න පවා නොකියවූ නවක පිරිසක් මෙන්ම ඇතැම්විට ඒ ඒ ක්ෂේත්‍රයන්හි තමන් සතු සමාජ කුසලතා පිළිබඳ හැ¼ඟීමක් ද නො තිබූ, විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වූ පිරිසකි.

‘සාමා’

1956 වසර මෙරට සිනමා සාහිත්‍ය කලා සේම දේශපාලන අංශයේද ප්‍රබෝධයක් ඇතිවූ කාලයකි. ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘රේඛාව‘ සිනමාපටය, මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාටකය, සහ ජී. ඩී. එල්. පෙරේරා ගේ කලා පෙළ සංවිධානය ඉදිරිපත් කළ ‘කඳුළු’ නාටකය වේදිකාගත කළේද මෙම වසරේදී වීම විශේෂත්වයකි.

1958 වසරේ දී බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී ‘කඳුළු’ වේදිකාගත කෙරිණි. නාට්‍ය ශාලා ගාස්තුව වූයේ රුපියල් විසි පහකි. දෙනවක හාමිනේ්නම් නවක නිළිය වේදිකාවට පැමිණි ප්‍රථම දිනයේ දී ඇය රඟපාන්නට කැමැති වූයේ මුහුණ රෙදි කඩකින් වසාගෙන ප්‍රේක්ෂකාගාරයට පිටුපාගෙනය. ඊට හේතු වූයේ නිළි වෘත්තිය එකල කාන්තාවන්ට අකැපයැයි සමහරුන් තුළ තිබූ ආකල්පයයි.

“මා කළ ප්‍රථම නාටකයේ තිබුණේ නාට්‍යමය ලක්ෂණවලට වඩා සිනමාපට වල ලක්ෂණයි. මගේ මේ මුල්ම නාටක සෑම එකකම වාගේ ඇතුළත් වුණේ දකුණු ඉන්දියාවේ බාල බොළඳ සිනමා පටවල ලක්ෂණයි. එයට හේතුව විදිහට මා දකින්නේ, අප ඒ සිනමාපට නිතරම නැරඹීමට යන්න ඇති. එහෙත් වේදිකා නාට්‍ය නිර්මාණය කිරීමේ හොඳ අවබෝධයක් මට ලැබුණේ ‘සාමා’ නාටකය කිරීමෙන් පසුවයි.”

කොළඹ නාගරික ජීවිතය, පෙම්හබ, මිනීමැරුම් ආදියෙන් පිරුණු කතාවක් සහිත ඔහු තම දෙවැනි නාට්‍ය වූ ‘මනමාලකම’ නිෂ්පාදනය කළේය. එහි සිනමාපටවල සේ පසුබිම් ගීත ගායනා තිබිණි. ගීත පදමාලා ඉන්දියාවේ හින්දි සිනමාපට ගීතවල අනුකාරක විය.

1962 වසරේ දී සාමා නාටකය නිෂ්පාදනය විය. ජී. ඩී. එල්. පෙරේරා එවකට කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය කළේය. ‘සාමා’ හි නවක නළු නිළියන් පිරිසකි. ‘සාමා’ නාටකය වේදිකාගත කොට ලැබුණු ජනපි‍්‍රයත්වය කෙතරම්ද කිවහොත් රාජකීය රඟහල විවෘත කළ මුල්ම නාටකය වේදිකාගත කිරීම සඳහා මෙම නාටකය තෝරා ගත්තේය. ඒ එවකට සිටි නාට්‍ය සංස්ථාවේ සභාපති වූ එම්. ඩී. සුගතපාල මහතා විසිනි. මෙම කාලයේ දී ජාතික නාට්‍ය කලා සංස්ථාව නමින් ආයතනයක් ඇතිවිණි. එයින් ප්‍රථමයෙන් කළේ නාට්‍ය උළෙලක් පැවැත්වීමය. 1962 වසරේ දී නාට්‍ය උළෙල පැවැත්වුණි. මෙම උළෙල සඳහා ඉදිරිපත් කොට තිබුණේ විශ්වවිද්‍යාලයන්හි නිෂ්පාදනය කරන ලද නාටක පමණි. එම රාමුවෙන් පිට පැන මේ සඳහා සාමා නාටකය තෝරාගෙන තිබිණි.

ජී. ඩී. එල්. පෙරේරාගේ සාමා නාටකය සම්බන්ධයෙන් රෙජී සිරිවර්ධන නම් නාට්‍ය විචාරකයා ඩේලි නිවුස් පුවත්පතට මෙසේ සටහනක් කොට තිබිණි. “වේදිකා නාට්‍ය කලාව පිළිබඳ අඩු අවබෝධය නිසා මතුවන ඌනතා මඟහරවා ගතහොත්, අනාගතයේ දී හොඳ නිර්මාණ බිහිකළ හැකි තරුණයකුගේ කුසලතා මේ නාටකයෙන් පෙනේ.”

‘දහසක් සිතුවිලි’ රූගත කරමින්..

සාමා නාටකය නිෂ්පාදනය කිරීමෙන් ඇතිවූ ප්‍රබෝධය නිසා ඔහු ‘සක්කර වට්ටම්’, ‘මෙහෙව් ලෝකෙක’, ‘තොටුපළ’, ‘හෙවනැලි’, ‘ඉහට වහල නිල් අහසයි’, ‘සංසාර ගමනක්’, ‘මඟුල් මතේ’, ‘රතුරෝස’ වැනි වේදිකා නාට්‍ය රැසක් නිෂ්පාදනය කළේය.

‘මෙහෙව් ලෝකෙක’ නැමැති තාත්වික නාට්‍යය නිෂ්පාදනය රාජ්‍ය නාට්‍ය උළෙලක දී තරග කළේ සුගතපාල ද සිල්වාගේ ‘බෝඩිංකාරයෝ’ නාට්‍ය සමඟිනි. එහි රංගනයෙන් දායක වූ ලියෝනි කොතලාවල හොඳම නිළිය ලෙස සම්මාන ලබාගත්තාය. 1964 වසරේ දී ජී. ඩී. එල්. පෙරේරා තොටුපළ නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළේය.

එය මෙරට ජනවාර්ගික ගැටලුව පිළිබඳව සාකච්ඡා කළ ප්‍රථම වේදිකා නාට්‍ය ලෙසට සැලකේ. මෙම නාට්‍යය සඳහා ජාතික නාට්‍ය කලා සංස්ථාවේ හොඳම වේදිකා නාට්‍ය නිෂ්පාදනයට හිමිකම් කීය. ‘තොටුපළ’ නාට්‍යය අගය කරමින් ඩෙන්සිල් පීරිස් නැමැති විචාරකයා ඉන්දියාවේ පළවන ILLUSTRATED WEEKLY සඟරාවට විචාරයක් ලිව්වේය.

මෙම කාලයේ දී කලා පෙළ රැස්වීම් පවත්වන්නට අවශ්‍ය ඉඩකඩක් පිළිබඳ ගැටලු පැන නැගිණි. බොහෝවිට ඔවුන් රැස්වූයේ ජී. ඩී. එල්. පෙරේරාගේ සහෝදරයාගේ වැලිකඩ පිහිටි නිවසේ වූ කොස් ගස පාමුළය. කලා පෙළ සාමාජික දෙපළක් වන ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍රටත්, ලියෝනි කොතලාවලටත් නාට්‍ය උත්සවයේ දී ලකිසුරු නම් සම්මාන ලැබුනාහ. මෙම ප්‍රබෝධය නිසාම සුගතපාල සෙනරත් යාපා සාමා නාට්‍ය නිෂ්පාදනය සිනමා පටයක් ලෙස නිර්මාණය කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළේය. මෙය ඇසීමෙන් එතැන සිටි කිහිප දෙනෙකුම සිනහ වූහ.

1962 වසරේ දී ජී. ඩී. එල්. පෙරේරා සාමා නාට්‍යය පෙළ, සිනමා තිර රචනයක් ලෙස සකස් කළේය. සිනමා පටය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම පිණිස කලා පෙළ සංවිධානය විසින් නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය රටේ අස්සක් මුල්ලක් නෑරම වේදිකාගත කරන ලදී. නාට්‍ය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ආදායම සිනමාපටය තැනීමේ අරමුදලට බැර කෙරිණි. රුපියල් දෙසිය පනහට තිබූ කලා පෙළ අරමුදල දවසින් දවස විශාල විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට සමුපකාර ක්‍රමයට නිෂ්පාදනය කළ ප්‍රථම සිනමාපටය සාමා විය හැකි බවත් මෙම සිනමාපටය බිහිවීම හාස්කමක් මිස අන් කිසිවක් නොවන බවත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

රුපියල් දෙසිය පනහකින් පටන්ගත් එකම සිංහල සිනමාපටය සාමායි. කලා පෙළ සාමාජික සාමාජිකාවන් පරිත්‍යාගශීලීව කටයුතුª කරමින් රුපියල් 40,000 කට මෙම සිනමාපටය නිෂ්පාදන විය.

‘සාමා’ සිනමා පටය ඉතා ජනපි‍්‍රය වූ නිර්මාණයකි. විශේෂයෙන්ම එහි වූ සංගීතය මෙම ජනපි‍්‍රයතාවට හේතුවූ බව ප්‍රකටය. මෙහි සංගීතය අධ්‍යක්ෂණය කළේ විශාරද අමරදේවයන්ය. ඔහුට සහාය වූයේ ජයතිස්ස අලහකෝන්ය. 1965 වසරේ සරසවි සිනමා සම්මාන උළෙලේ විශේෂ ජූරි සම්මානය සාමාට හිමි විය. ඒ හොඳම සිනමාත්මක නිර්මාණය උදෙසාය.

1965 වසරේ දී එංගලන්තයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සිනමාපට උළෙලේ තරගකාරී අංශය සඳහා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය සමඟ ජී. ඩී. එල්. පෙරේරාගේ සාමා ද ප්‍රදර්ශනය කෙරිණි. එම උළෙලේ දී වඩාත් කැපීපෙනුණ සිනමාපටය වූයේ සාමා බව එහි සභාපති හාර්ලි ජෝන්ස් සඳහන් කළේය.

‘සාමා’ සිනමාපටය නිර්මාණය කිරීමෙන් අනතුරුව ඔහු ‘සැඩොල් කඳුළු’ සිනමාපටයේ සම අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේය. ‘දහසක් සිතුවිලි’, ‘රෝමියෝ ජුලියට් කතාවක්’, වැනි සිනමාපට ගණනාවක් ජී. ඩී. එල්. පෙරේරා බිහි කළේය. තමා වඩාත් තෘප්තිමත් බවටත්, ප්‍රමෝදයටත් පත්කළේ ‘දහසක් සිතිවිලි’ සිනමාපටය බව ඔහු පවසා සිටියි. මාලනී ෆොන්සේකා ප්‍රථමයෙන්ම සිනමා නිර්මාණයකට සම්බන්ධවන්නේ මෙම සිනමා පටයෙනි.

1969 වසරේ දී බ්‍රිතාන්‍ය කවුන්සිල ශිෂ්‍යත්වයක් ලබා ජී. ඩී. එල්. පෙරේරා ලන්ඩන් බලා ගියේය. ඒ සිනමාකරණය හැදෑරීම පිණිසය. ලන්ඩන් නගරයේ ඔහු දිගු කාලයක් පදිංචිව සිටියේය. එහිදී ජී. ඩී. එල්. පෙරේරා ‘ඉගිලෙන කුරුල්ලෝ’ නමින් සිනමා පටයක් අධ්‍යක්ෂණය කළේය. එහෙත් එය අතරමඟ නතර විය.

මි. මී. 16ක ‘දුර ගිය ගමනක්’ නමින් සිනමා පටයක් නිර්මාණය කළද ජාතික චිත්‍රපට සංස්ථාවෙන් එයට මුදල් දීම ප්‍රතික්ෂේප කරන ලදී. ඔහු PETER OF THE ELEPHANTS නමින් ඉංගී‍්‍රසි භාෂාවෙන් සිනමා පටයක් නිර්මාණය කළේය. මේ සඳහා ද බාධක රැසක් ජාතික චිත්‍රපට සංස්ථාව එල්ල කරන ලදී. ඔහුගේ සිනමා ජීවිතයට එල්ල වූ බාධාකිරීම්, අවහිරතා බොහෝය. එහෙත් ජී. ඩී. එල්. පෙරේරා ඒ කිසිවකින් අධෛර්යයට පත් නොවීය.

1982 වසරේ දී ලන්ඩනයේ දී ප්‍රථම වරට ටෙලි නාටකයක් නිර්මාණය කළේය. ඒ ‘රට ගිය ඇත්තෝ’ නමිනි. ‘WINNERS AND LOOSERS’ නමින් ඔහු මෙ’රට ප්‍රථම ටෙලි සිනමා පටය නිර්මාණය කළේය. මේ පිළිබඳව ජයදේව උයන්ගොඩ ‘ලංකා ගාඩියන්’ පුවත් පතට විචාරයක් ලියා තිබිණි. “මේ ටෙලි චිත්‍රපටය ලාංකේය රූපවාහිනී නිෂ්පාදකවරුන්ට අත් පොතක් විය යුතු’යැයි එහි සඳහන් විය.

හේ 1996 වසරේ දී බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ (BBC) ශ්‍රවණ ශ්‍රාවක වන හුවමාරු වැඩපිළිවෙළේ මෙ’රට නියෝජිතයකු වශයෙන් කටයුතු කළේය. එහි සේවය කළ කාලයේ දී ඕඕඛ් ආයතනය වෙනුවෙන්  ‘PASSAGE TO ENGLAND’  යන ටෙලි චිත්‍රපටය තැනීය. ලින්ඩ්සේ ඇන්ඩර්සන්, ඩෙරික් මැල්කම් වැනි ප්‍රකට සිනමාවේදීන් ඔහුගේ ටෙලි සිතුවමට බෙහෙවින්ම අගය කළහ. 1999 වසරේ දී ජී. ඩී. එල්. පෙරේරා BBC ආයතනයෙන් ස්ථීර සේවයෙන් විශ්‍රාම ගත්තේය.

‘චක්‍රායුධ’ සිනමා පටය ඔහුගේ අවසාන අධ්‍යක්ෂණය සටහන් කළ නිර්මාණයයි.

මා අධ්‍යයනය කළ දෙයින් හා කලා පෙළ සංවිධානය හරහා ලබාගත් අත්දැකීම් මේ රටේ සිනමා හිතෛෂීන් සේවයක් ලබාගත්තේ නෑ. මේ ගැන ඉතා හොඳින් කල්පනා කර මම මහනුවර කරල්ලියද්ද නම් සුන්දර ග්‍රාමයේ අක්කර හතරක ඉඩමක් මිලට අරගත්තා. එහි ගොඩනැඟිලි දෙකක් ඉදිකළා. ආලෝක, ශබ්ද උපකරණ මිලදී රැගෙන අසරණ දරු දැරියන් වෙනුවෙන් සිනමා ආයතනයක් හැදුවා.”

හේ නව පරම්පරාව සම්බන්ධයෙන් සුබවාදීය.

“අමුත්තක් කරන්න බලන අලුත් අයට මම කැමැතියි. විචාරකයෝ නිසා කම්පාවට පත්වෙන්න එපා. සැඟවුණු හැකියාවන් ඇති දක්ෂ තරුණයන් අද බහුලයි. ඔවුන්ට මඟපෙන්වීමක් අවශ්‍ය වෙලා තිබෙනවා.”

ගෝනදූව හඳුන්ගේ දොන් ලීලචන්ද්‍ර පෙරේරා නම් පුංචි කොල්ලා ඇදුම රෝගයෙන් පෙලුණි. ඔහු ඉන් මහත් පීඩාවක් වින්ඳේය. එහෙත් දැන් හේ සැත්තෑපස් වැනි ජන්ම වසර සමරන්නෙකි. ඔහු පුංචි සන්දියේ පීඩාවිඳි ඇදුම රෝගය පිළිබඳ අසන්නට මගේ හිත කැමැත්තෙනි. එහෙත් ඒ ගැන විමසන්නට මෙය වේලාවක් නොවේ.

කිසිම දවසක නුදුටුවකු පිළිබඳ කවරෙකු හෝ ඔබෙන් විමසා සිටියේනම්, ඔබ පත්වන අපහසුතාව ගැන දැන් ඔබට ප්‍රකාශ කර සිටින්නට ඇත්තේ කුමන විදිහේ උත්තරයක්ද?

අනුසාර මාහිංගොඩ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා